Sunday, January 6, 2013

කම්පා නොවීමට නම්...!


  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා මෙහෙම හිතන්න කියල. ''මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල, නිතර බහුල වශයෙන් හිතන්න කියල. ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල.

ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල, අපට කියාදීල තියෙනවා. ඉතින් අපි ඒ ධර්මයන් හිතින් පුරුදු කරමින් වාසය කළොත් අපිට හිත හදාගන්න පුළුවන් වෙනවා ඒ දේවල් අපේ ජීවිතයට උද්ගත වෙනකොට.

දැන් අපි ලෙඩවෙන කෙනෙක් ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ කියල හිත පුරුදු කරනවා කියල හිතන්න. යම් දවසක අපි ලෙඩ වෙනවා. එතකොට අපි ඒ ලෙඩේ නිසා කම්පා වෙලා යයිද? කම්පා වෙන්නෙ නෑ. එයා සංවේගයට පත්වෙනවා මිසක කම්පාවෙලා යන්නෙ නෑ, තැවෙන්නෙ නෑ. ආන්න ඒ විධියට අපි හිත හදා ගන්න ඕන.

ඒ වගේම තමයි වයසට යනකොට, අපි එන්න එන්න මොහොතින් මොහොත වයස කරා නේද යන්නෙ? එන්න එන්න කෙස් ටික පැහිල යනවා. දත් ටික දිරල යනවා. මේවා සිද්ධ වෙනවා. මේවා වලකින්නෙ නෑ. මේවා මොහොතින් මොහොත සිද්ධ වෙන ඒවා. ඉතින් අපි දැන්මම අපේ හිත පුරුදු කරන්න ඕන ''මම වයසට යන කෙනෙක් ඒ වගේම වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියන කාරණාව හිතේ පුරුදු කරන්න ඕන.

එහෙම නැති උනොත් එහෙම, අපි මොහොතින් මොහොත වයසට යනකොට, අපේ ශරීරය දිරන්න පටන් අරගෙන ටික ටික දිරල යනකොට, අපි හිත හදාගෙන තිබුණෙ නැත්නම්, ඒ තත්‍වයට අපිට මුහුණ දෙන්න බැරි වෙලා යනවා. එදාට කම්පා වේවි. දුක් වේවි. පසුතැවීම ඇති වේවි. උහුල ගන්න බැරි වේවි. ඒ නිසා අපි අන්න ඒ තත්ත්වයට මුහුණ දෙන්න තමයි දැන්ම ඉඳන් සූදානම් වෙන්න ඕන.

ඒක පහු කරල පුළුවන්ද? දැන් ඒ විධියට හිත හදාගන්න පහුවෙලා පුළුවන්ද? පහු කරල බෑ. හෙට බැරියැ කියල ඉන්න පුළුවන්ද? බෑ ඒක අද අද මේ මොහොතේ ඉඳන් කරන්න ඕන.

ඒ නිසා ''මම වයසට යන කෙනෙක්. ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Tuesday, January 1, 2013

සතුටු සිතින් වාසය කිරීමට නම්....

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සතුටු සිතින් වාසය කරන්නට. නමුත් ඒක අපි කැමති වුනාටම සිද්ධ වෙන්නෙත් නෑ. ඒ සඳහා අපි වෑයම් කරන්ටත් ඕන. වෑයම් කරන්නට නම් සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල අපි දැන ගන්ටත් ඕන.

එහෙම සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල දැනගන්නෙ නැතුව අපි වෑයම් කළොත්, අපිට අපි හිතන විධියට සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි කොහොමද සතුටින් ඉන්නෙ කියන කාරණාව අපි දැනගන්න ඕන.

බුදුරජාණන් වහන්සේ අපිට කියාදෙනවා සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට යම් කෙනෙක් දක්ෂ වෙනවා නම්, ඒ වගේම සංවේගය ඇතිකරන කාරණාවලදී සංවේගයට පත්වෙලා වීරිය උපදවාගෙන වාසය කරන්න පුළුවන් නම් ආන්න ඒ භික්ෂුවට පුළුවන් සතුටු සිතින් වාසය කරන්නට කියල . එහෙමනම් අපි සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය ඇතිකර ගන්ට දක්ෂ වෙන්ටත් ඕන, ඒ වගේම වීරිය උපදවාගෙන වාසය කරන්නටත් ඕන.

ඉතින් මේ කාරණා දෙක අපි , අපේ ජීවිතයට එකතු කරගත්තොත්, අපේ ජීවිතයට පමුණුවාගෙන අපි ඒ කාරණාව පුරුදු කළොත්, අපිට, සතුටෙන් වාසය කරන්ට පුළුවන් අය බවට පත්වෙන්න පුළුවන්කමක් තියෙනවා.

අපි ඒ කාරණා ජීවිතයට සම්බන්ධ කර නොගත්තොත්, ඒ කියන්නෙ සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට අපි දක්ෂ නොවුනොත්, ඒ වගේම වීරිය උපදවාගන්ට අපි දක්ෂ නොවුනොත් අපි සතුටෙන් වාසය කරනවාය කියන දේ සිද්ධ වෙන්නෙ නෑ. අපි යම් යම් ආකාරයෙන් සතුටු වෙයි. නමුත් ඒක නිවන් මඟ දියුණු කිරීම පිණිස උපකාර වෙන සතුටක් වන්නෙ නෑ.

නමුත් සංවේගය ඇති කරන කාරණා වලදී ඒවා දැනගෙන සංවේගය ඇති කරගන්න දක්ෂ නොවෙන කෙනා, වීරිය උපදවා ගන්ට දක්ෂ නොවන කෙනා සතුටු වෙයි; එයා සතුටු වෙන්නෙ පංච කාමයන් මුල් කරගෙනයි. එයා සංවේගය දනවන කාරණා වලදී කම්පා වෙනවා. පංච කාමයට යටවුණු කෙනාට සංවේගය දනවන කාරණා වලදී සංවේගය ඇති කරගන්න බෑ, එයා සංවේගය දනවන කාරණා වලදී බය ඇතිකර ගන්නවා, කම්පා වෙනවා, තැවෙනවා.

එනිසා එයාට නිවන් මඟ දියුණු කරගෙන සතුටු වෙන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. එයා සතුටු වෙන්නෙ කාමයන් වලින් නම්, එයා හොයන්නෙත් කාමයන්මයි. එයා සතුටු වෙන්නෙ කාමයන් නිසා නම් කාමයන්ම සොයමින් එයා වාසය කරන්න පුරුදු වෙනවා. එතකොට සංවේගය දනවන කාරණා වලට මුහුණ දෙන්න වනවිට එයා කම්පා වෙනවා.

ඉතින් අන්න ඒ තත්ත්වයට පත්වුනොත් අපිට මේ ලැබුණ ලාබය අපි දන්නෙම නැතුව අහිමි කරගන්න අය බවට පත්වෙනවා. ඒ වගේම අපට සතුටු සිතින් වාසය කරන්නට බැරිවෙලා යනවා, සතුට අපෙන් මොහොතින් මොහොත ඈත්වෙලා මහා දුක් ගොඩකට ගොදුරු වෙන අය බවට අපි පත්වෙලා යනවා.

ඒ නිසා අපි කවුරුත් කල්පනාවට ගන්න ඕන, අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් විධියට ජීවිතය දියුණු කරගන්න කැමති වෙනවා නම් අපි කළයුත්තෙ බුදුරජාණන් වහන්සේ වදාල දෙයම, ඒ අයුරින් ඒ දේම පුරුදු කරන්න මහන්සි වීමයි. ඒ නිසා මේ පණිවිඩය කවුරුත් හොඳට මතක තියාගෙන ඒ කාරණා දෙක ඇතිකරගැනීම පිණිස දක්ෂ වෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


Wednesday, December 12, 2012

ජීවිතයට පිළිසරණ සලසා ගනිමු...

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. එහෙම නැත්නම් තරහ සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එහෙම නැත්නම් හිංසා සහගත සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එතකොට ඒ විදිහට කාමයන් ගැන හිත හිත හිටියොත් එයාට ඒ කාමයන්ගේ යථා ස්වභාවය තේරුම්ගන්ට බෑ. එයා ඒකට ආස්වාදයෙන් අහුවෙලා. ආස්වාදය විතරයි එයාට තේරෙන්නෙ.

ආස්වාදයට කොටුවෙලා. ඒකෙ ආදීනවය තේරෙන්නෙ නෑ. ඒකෙන් නිදහස් වෙන්ට බෑ. එතකොට එයාට අවබෝධයෙක් ඇතිවෙන්නෙ නෑ. කළකිරෙන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ.

ඒ කාමයන් කෙරෙහි ඇල්ම දුරුවෙන්නෙ නැතිකෙනා තුළ හිතේ සංසිදීමක් ඇතිවෙන්නෙ නෑ. හිත කලබල වෙනව. ඇවිස්සුනු සිතකින් තමයි වාසය කරන්ට වෙන්නේ.

ඇවිස්සුන හිතකින් වාසය කරන කෙනාට ආර්ය සත්‍යය ගැන අවබෝධයක් උපදවගන්ට බෑ. එයාට විශේෂ ඥානයන් උපදවගන්ට බෑ. නිවන අවබෝධ කරගන්ට බෑ.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ පාපී අකුසල විතර්ක එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිත හිතා ඉන්න එපා කියල.  භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා හිතනව නම් හිතන්න මේ තමයි දුක කියල දුක ගැන හිතන්ට කියනව. මේ තමයි දුකේ හටගැනීම කියල දුක්ඛ සමුදය ගැන හිතන්ට කියල කියල දෙනව. මේ තමයි දුකේ නැතිවීම කියල දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට කියනව. මේ තමයි දුක් නැතිකරන මග කියල දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය ගැන හිතන්ට කියල දෙනව.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ අපිට හිතන්ට එපා කියල යම් කරුණු ටිකක් කියල දෙනව. මෙන්න මේව හිතන්ට එපා. මෙන්න මේව හිතන්ට කියල අපිට නිරවුල්ව පැහැදිලිව ධර්මයන් කොට්ඨාස දෙකක් ගැන කියා දෙනව.

එතකොට යම් කෙනෙක් මෙන්න මේ ධර්මය ගැන පැහැදුනොත් විශ්වාස කළොත් මෙයයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය, මේ අවබෝධය ඒකාන්තයෙන් නිරවුල් ඒකාන්තයෙන් සත්‍යය වූ දෙයක්. මනා කොට කියා දෙන දෙයක් කියල.

මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ගැන පැහැදුනොත් අන්න ඒ පැහැදීම ඇතිකර ගත්ත කෙනා තුළ බලවත් විශ්වාසයක් උපදිනව තමාගේ ජීවිතයට පිළිසරණ ඇතිකර ගැනීම පිණිස.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Friday, February 11, 2011

පහාණ සංඥාව පුරුදුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි රාගය දුරුකිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ අසුභ භාවනාව යි. රාගය දුරුකිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව. නමුත් මේ කාරණාව වරදවා තේරුම්ගන්ට එපා. රාගය ආපු වෙලාවකදී ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ. 

බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව, එයාට රාගය ආපුවෙලාවකදි ඒ හටගත් රාගය, උපන් රාගය දුරුකරන්ට අසුභ සංඥාව සුදුසු නෑ. එයාට ඒ උපන් රාගය දුරුකරන්ට මොකක්ද? භාවිතා කළ යුත්තේ. පහාණ සංඥාව යි. උපන් රාගය දුරුකරන්ට භාවිතා කරන්නෙ අසුභය නෙවෙයි, පහාණ සංඥාව යි.
හැබැයි ධර්මය හොඳින් පුරුදුකරල අසුභ සංඥාව හොඳින් පිහිටුවගත්ත කෙනෙකුට ඒ උපන් රාගය බැහැරකරන්ට, අසුභ සංඥාව භාවිත කරන්ට පුළුවන්. නමුත් උපන් රාගය දුරුකිරීම පිණිස භාවිත කළයුතු සුදුසු ම ධර්මය තමයි පහාණ සංඥාව. 

මොකක්ද පහාණ සංඥාව කියල කියන්නෙ? රාගය හිතේ ඇති වුනාම එයා තේරුම්ගන්ට ඕන "දැන් මගේ හිතේ රාගය තියෙනවා" කියල. ඒ විදිහට සිහිනුවණ උපදවගෙන එයා සිහිකරන්ට ඕන මේ විදිහට. "දැන් මගේ හිතේ රාගය ඉපදිලා තියෙන්නෙ. මේ රාගය අකුසලයක්, දුක් විපාක සහිත දෙයක්, දුක් විපාක උපදවන දෙයක්. මේ රාගය මට හොඳ නෑ. අනුන්ටත් හොඳ නෑ. සියලු දෙනාටම හොඳ නෑ. මේ රාගය මගේ හිත එකඟ කරන්නෙ නෑ. මේ රාගය මගේ හිතේ සමාධිය උපදවන්නෙ නෑ. මේ රාගය මාව නිරයේ උපදවන්ට හේතුවන දෙයක්. මට නිවන පිණිස මේ රාගය උදව්වෙන්නෙ නෑ" කියල හිතන්ට ඕන. 

එතකොට ඒ රාග සිතුවිල්ලේ ආදීනව තමයි ඒ කල්පනා කරන්නෙ. එතකොට ආදීනව සිහිකරන්ට කරන්ට ඒ රාගයට තියෙන කැමැත්ත නැතිවෙනව. ඒක ප්‍රහාණය වෙලා යනව. ඒක පහාණ සංඥාව යි.
ඒ පහාණ සංඥාව අපිට පුරුදුකරන්ට අමාරු එකක්. මොකද රාගය බලවත් අකුසලයක්. ඒ බලවත් අකුසලය දුරුකිරීම පිණිස අපි තුළ හැකියාවක් උපදවාගන්ට ඕනැ. අන්න ඒ හැකියාව උපදවගැනීම පිණිස අපි තුළ උපදවගතයුතු ධර්මයන් කීපයක් තියෙනව. ඒ තමයි ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන සේඛ බල උපදවා ගන්ට ඕන. 

"ශ්‍රද්ධාව" කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය අදහාගැනීම,
"හිරි" කියල කියන්නෙ පවට ලැජ්ජාව,
"ඔත්තප්ප" කියල කියන්නෙ පවට භය,
"වීරිය" කියල කියන්නෙ අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගන්ටත් පටන්ගත් වීරියෙන් යුක්ත වීම.
"ප්‍රඥාව" කියල කියන්නෙ, දුක් දුරුකිරීම පිණිස, අවබෝධයෙන් කලකිරීම ඉපදෙන ආකාරයෙන්, හටගැනීමත් නැතිවීමත් තේරුම්ගන්නා නුවණ. 

එතකොට හිරි ඔත්තප්ප, නැත්නම් එයා තුළ අකුසල් දුරුකිරීමේ කැමැත්ත උපදින්නෙ නෑ. අකුසල් දුරුකිරීමේ කැමැත්ත ඉපදිලා නැතිකෙනා තුළ පහාන සංඥාව පිහිටුවගන්ට බෑ. එහෙනම් පහාන සංඥාව උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රද්ධා, හිරි - ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන සේඛ බල උපදවගත්ත කෙනා තුළ.
රාග සිත ඉපදිච්ච වෙලාවෙදි අසුභය වඩනකොට ඇයි රාගය ම වැඩිවෙන්නෙ? දැන් මේක තෝරබේරා ගන්ට ඕන නේද? රාගය දුරුවෙන්නෙ අසුභය පුරුදුකිරීමෙන්. නමුත් රාගය පැමිණි වෙලාවට අසුභය වඩනකොට ඒ රාගය වැඩිවෙනවා නම්, මොකක්ද? හේතුව. 

නැත්නම් කෙනෙක් මේ කිව්ව එක පිළිගන්නෙ නෑ. මේ රාගය එන්නෙ මොනවටද? මොනවා උදෙසාද? මේ රාගය එන්නෙ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර... මේව කෙරෙහි මේ රාගය උපදින්නෙ.


කෙස් වලට රාගය උපදිනව, ලොම් වලට රාගය උපදිනව, දත් ටික කෙරෙහි රාගය උපදිනව, සම් වලට රාගය උපදිනව, නියපොතු වලට රාගය උපදිනව. එතකොට රාගය උපදින්නෙ ඒව සිහිකරනකොට නේද? ඇස තියෙනව, ඇසට පේන රූපය තියෙනව, ප්‍රිය මනාප රූප බලල ඒ නිමිති හිතේ තියාගෙන, නිමිති සිහිකරනව කියල අපි මොනවද සිහිකරන්නෙ? මුහුණ සිහිකරනව කියල මොනවද සිහිකරන්නෙ? හම, හමේ පාට, ලපයක් තියෙනව නම් ඒ ලපේ, කෙස් ටික, කෙස්වල රොදේ... ඕව නේද? සිහිකරන්නෙ. ඒව සිහිකරනකොට නේද? රාගය උපදින්නෙ. එහෙනම් රාගය ඉපදුන කෙනෙක් අසුභ සංඥාවෙදි මොකක්ද වඩන්නෙ? ඒත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර... සිහිකරන්නෙ. 

එතකොට හොඳින් අසුභ සංඥාව පිහිටුවා නොගත්ත කෙනෙක් රාගය ආපුවෙලාවෙදි "කෙස්, ලොම්.." වශයෙන් සිහිකරනව. දැන් මොකද වෙන්නෙ? උපන් රාගය එතකොට නැතිවෙලා යන්නෙ නැතුව ආයෙ ඇවිස්සෙන්ට පුළුවන්. ඒ නිසා රාගය ආපුවෙලාවට පහාණ සංඥාව පුරුදුකරන්ට ඕන. අසුභය සිහිකරන්ට එපා. රාගය නැතුව තියෙන වෙලාවකදි තමයි අසුභය පුරුදුකරන්ට ඕන.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

බොහෝ ප්‍රතිලාභයන් අත්කරදෙන අසුභ භාවනාව

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අසුභ භාවනාව තිබෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ යි. මේ භාවනාව අපිට බොහෝ ම පිහිට පිණිස, පිළිසරණ පිණිස, සැපය පිණිස උපකාරවන භාවනාවක්. 

එතකොට මූලික වශයෙන් ඒ භාවනාව තුළ කොටස් දෙකක් තිබෙන බව තේරුම්ගන්ට ඕන.
එක කොටසකදි අපි තමන්ගේ ශරීරයේ කුණප කොටස් තිස්දෙක ගැන සිහිකරනව. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇට මිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර.. මේ විදිහට. 

ඊලඟට අපි තමන්ගෙ ශරීරයත්, අනුන්ගේ ශරීර ගැනත් අපි කල්පණා කරනව. ඒ ශරීර හටගන්නා ආකාරයත් නැතිවෙලා යන ආකාරයත් අපි මෙනෙහි කරනව. එතකොට ඒ පළවෙනි කොටසෙදි අපි සමථ භාවනාව පුරුදුවෙනව. දෙවෙනි කොටසෙදි පුරුදුවෙන්නේ විදර්ශනා භාවනාව යි. 

සමථ භාවනාව පුරුදුවීමෙන් අපේ හිතේ තිබෙන රාගය දුරුවෙන්ට පටන් ගන්නව. රාගය දුරුවීමෙන් සිත නිදහස් වෙනව. රාගය දුරු වීම නිසා සිතේ උපදින නිදහස්වීමට කියනව "චේතෝවිමුක්තිය" කියල. එතකොට අපිට "චේතෝවිමුක්තිය" උපදවගැනීම පිණිස ඒ ශරීරයේ කොටස් සිහිකරමින් කරන භාවනාව උපකාර වෙනව. 

ඊලඟට මේ භාවනාවේදී ශරීරය හටගන්නා ආකාරයත්, නැතිවෙලා යන ආකාරයත් ගැනත් මෙනෙහි කරනව. එතෙන්දි කෙරෙන්නෙ විදර්ශනා භාවනාව යි. ඒ විදර්ශනා භාවනාව පුරුදුකිරීමෙන් අපි තුළ අවිද්‍යාව දුරු වෙලා යනව. අවිද්‍යාව කියල කියන්නෙ ආර්ය සත්‍යය පිළිබඳ තිබෙන නොදන්නාකම. අවිද්‍යාව දුරුවීමෙන් විද්‍යාව පහළවෙනව. එතකොට අවිද්‍යාව දුරුවුනහම සිත අවිද්‍යාවෙන් නිදහස් වෙනව. එතකොට අවිද්‍යාව දුරුවීමෙන් සිත නිදහස්වීමට කියනව "ප්‍රඥා විමුක්තිය" කියල. 

එතකොට මේ භාවනාව මඟින් සමථය පුරුදුවෙනව, විදර්ශනාව පුරුදුවෙනව. සමථය පුරුදුවීමෙන් රාගය දුරුවෙන්ට උදව්වෙනව. රාගය සම්පූර්ණයෙන් යම් කලෙක දුරුවෙලා ගියාම සිත නිදහස්වෙනව. ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "චේතෝවිමුක්තිය" යි. විදර්ශනාව පුරුදුවීමෙන් මොකක්ද වෙන්නෙ? අවිද්‍යාව දුරුවෙන්ට පටන්ගන්නව. අවිද්‍යාව සම්පුර්ණයෙන් දුරුවෙලා ගියාම සිත එයින් නිදහස්වෙනව. එතකොට ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "ප්‍රඥා විමුක්තිය" යි. 

එතකොට මේ භාවනාව අපිට සමථය දියුණුකරගන්ටත් විදර්ශනාව දියුණුකරගන්ටත් උපකාරවෙනව වගේ ම චේතෝ විමුක්තිය ඇතිකරගන්ටත්, ප්‍රඥා විමුක්තිය ඇතිකරගන්ටත් උපකාර වෙනව. ඒ වගේම සතිපට්ඨානය සම්පුර්ණ කරගන්ට උදව්වෙනව. සමාධිය පරිපූර්ණ කරගන්ට මේ භාවනාව උදව්වෙනව. යම් කලෙක බොජ්ඣංග ධර්මයන් හතම උපදවගන්ට මේ භාවනාව උදව් වෙනව. එතකොට මෙබඳූ බොහෝ ප්‍රතිලාභ අත්කරගන්ට පුළුවන් භාවනාවක් තමයි අසුභ භාවනාව කියන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල මේ සා දීර්ඝ කාලයක් ගතවුණු යුගයක, ප්‍රඥාව හීන වෙලා යන යුගයක, අපට යමක් තෝර බේරගන්ට තියෙන හැකියාව දුර්වලවෙලා යන යුගයක, නිවන් මග හොඳින් ඉගෙන නොගත්තොත් මුලාවෙන ඉඩකඩද වැඩි, මුලාවෙන් නිදහස්වෙන ඉඩකඩද වැඩි? මුලාවෙන ඉඩකඩ වැඩියි. 

අපිට ලැබුන ලාභය හිමිවෙන ඉඩකඩද වැඩි, ලාභය අහිමිවෙන ඉඩකඩද වැඩි? ලාභය අහිමිවෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා තමාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, ලෝකයාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න. නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න කෙනා මේ ජීවිතේදී හෝ මතු ජීවිතයකදි හෝ ඒ මග පරිපූර්ණකර ගනීවි. 

හොඳට ඉගෙනගන්නව කියල කියන්නේ, තමාට අවබෝධකර ගැනීම පිණිස ශ්‍රද්ධාවෙන් ඉගෙනගැනීම. ඒකටයි අපි හොඳට ඉගෙන ගන්නවා කියල කිව්වෙ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, යම් කෙනෙක් මේ සංඛත වූ ධර්මයන් අතරින් අග්‍ර වූ නිවන් මග කෙරෙහි පහදිනවනම්, එයාට අග්‍ර වූ ප්‍රතිවිපාක ලැබෙනව කියල.
ලෝකයේ තියෙන යම්තාක් සංඛත වූ ධර්මයන් තිබෙනවානම්, ඒ සංඛත වූ ධර්මයන් අතර අග්‍ර වන්නේ නිවන් මග කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. අන්න ඒ අග්‍ර වූ නිවන් මගට යමෙක් පහදිනවනම්, එයාට අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඉතින් අන්න ඒ බුදු වදන අපි පිළිගන්න ඕනැ. පිළිඅරගෙන අප විසින් ඉගෙනගත යුත්තේ ඒ නිවන් මගමයි. නිවන් මග ඉගෙන ගත යුත්තේ මහත් වූ ශ්‍රද්ධාවෙන්. 

අන්න ඒ විදිහට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඉගෙන ගත්තොත් එයාට මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී හෝ අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඒ නිසා කළබලනොවී ධර්මය හොඳට ඉගෙනගන්න. ධර්මය ඉගෙනගන්න කෙනා සැපයට පත්වෙනවාම යි. ඒක වළක්වන්න බෑ. වළකින්නෙ නෑ. එනිසා කළබලනොවී හොඳට ධර්මය ඉගෙනගන්න. 

ඒ විදිහට හොඳට ධර්මය ඉගෙනගන්න කෙනා ඒ අග්‍ර වූ සැප අත්කරගන්ට භාග්‍යවන්තයෙක් වෙනව. විශේෂයෙන් ඒ නිවන් මග ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන ධර්මයන් ගැන අපිට හොඳ පැහැදීමක් තියෙන්ට ඕනෑ. ඒ නිවන් මගේ අනුපිළිවෙල ගැන කියා දුන්ධර්මයන් ගැන අපිට හොඳ වැටහීමක් තියෙන්ට ඕනෑ. 

ඒ නිවන් මග හොඳින් තෝරගෙන පුරුදුකර ගැනීම පිණිස පෙන්වාදුන් ඒ ධර්මය හොඳින් ඉගෙනගන්ට අපිට දැන් අවස්ථාව තියෙනව. ඒ අවස්ථාව බැහැරකරගන්ට අතපසුකරගන්ට එපා. ඒ නිවන් මාර්ගය ගැන අපි හොඳින් ඉගෙනගත්තොත් අපි කාටත් ඒ භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන්ට පුළුවන්කම තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, ධර්මයේ යමක් ද තියෙන්නේ, ඒ ආකාරයෙන්ම හිතන එකට කියනව "යෝනිසෝ මනසිකාරය" කියල. 

කළ්‍යාණ මිත්‍රයා යමක්ද කියන්නෙ, ඒක ඒ ආකාරයෙන්ම හිතනවට කියනව, යෝනිසෝ මනසිකාරය කියල. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවානම්, සද්ධර්මයේ ගුණ සිහිකරනවානම්, සඟ රුවනේ ගුණ සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.
ඊළඟට යම් කෙනෙක් මේ ඇස අනිත්‍යයි, අනිත්‍යය වූ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියල මේ විදිහට ආයතන හය ගැනම සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට. 

යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය ධර්මයේ තියෙන ආකාරයෙන් ම සිහිකරනවානම්, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා, නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා, ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා, ස්පර්ශය නිසා වි£ම ඇතිවෙනවා, වි£ම නිසා තණ්හාව ඇතිවෙනවා, තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා, උපාදාන නිසා භවය ඇතිවෙනව. 

භවය නිසා ඉපදීම ඇතිවෙනව, ඉපදීම නිසා ජරා මරණ දුක් දොම්නස් මේ ආදී සියලු දුක් හටගන්නව. මේ සියලු දුක් හටගන්නෙ මේ විදිහටයි, ලෝකය ඇතිවෙන්නෙ මෙහෙමයි කියල කල්පනා කරනවා නම් අන්න ඒක අයිති යෝනිසෝ මනසිකාරයට, ඒ වගේම ලෝකය නිරුද්ධවෙන ආකාරයට සිහිකරනවානම් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙනව ඒ විදිහට පටිච්ඡ සමුප්පාදය සිහිකරනවානම් එතනත් යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නෙ. 

එතකොට ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් සිහිකරනවානම් ඒක යෝනිසෝ මනසිකාරයට අයිතියි. විමංසාව කියන්නෙ යෝනිසෝ මනසිකාරයට අයිති දෙයක්. ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ධාතු විදිහට, ආයතන විදිහට, ස්කන්ධ විදිහට මේ ධර්මයන් විමසල බලන ආකාරය. අන්න ඒ විදිහට අපි විමස විමසා බලන්ට පුරුදුවෙන්නේ විමංසාව තුළ. 

එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයට අයිති එකක්. දැන් අපි ශරීරය ගැන බලන්නෙ කෙස් තියෙනව, ලොම් තියෙනව, නියපොතු තියෙනව, දත් තියෙනව මේ විදිහට ශරීරයෙ ස්වභාවය විමස විමසා බලනවා නේද? ඒ වගේ යෝනිසෝ මනසිකාරයට ම අයිති දෙයක් විමංසාව කියල කියන්නේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro