Tuesday, January 1, 2013

සතුටු සිතින් වාසය කිරීමට නම්....

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සතුටු සිතින් වාසය කරන්නට. නමුත් ඒක අපි කැමති වුනාටම සිද්ධ වෙන්නෙත් නෑ. ඒ සඳහා අපි වෑයම් කරන්ටත් ඕන. වෑයම් කරන්නට නම් සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල අපි දැන ගන්ටත් ඕන.

එහෙම සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල දැනගන්නෙ නැතුව අපි වෑයම් කළොත්, අපිට අපි හිතන විධියට සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි කොහොමද සතුටින් ඉන්නෙ කියන කාරණාව අපි දැනගන්න ඕන.

බුදුරජාණන් වහන්සේ අපිට කියාදෙනවා සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට යම් කෙනෙක් දක්ෂ වෙනවා නම්, ඒ වගේම සංවේගය ඇතිකරන කාරණාවලදී සංවේගයට පත්වෙලා වීරිය උපදවාගෙන වාසය කරන්න පුළුවන් නම් ආන්න ඒ භික්ෂුවට පුළුවන් සතුටු සිතින් වාසය කරන්නට කියල . එහෙමනම් අපි සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය ඇතිකර ගන්ට දක්ෂ වෙන්ටත් ඕන, ඒ වගේම වීරිය උපදවාගෙන වාසය කරන්නටත් ඕන.

ඉතින් මේ කාරණා දෙක අපි , අපේ ජීවිතයට එකතු කරගත්තොත්, අපේ ජීවිතයට පමුණුවාගෙන අපි ඒ කාරණාව පුරුදු කළොත්, අපිට, සතුටෙන් වාසය කරන්ට පුළුවන් අය බවට පත්වෙන්න පුළුවන්කමක් තියෙනවා.

අපි ඒ කාරණා ජීවිතයට සම්බන්ධ කර නොගත්තොත්, ඒ කියන්නෙ සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට අපි දක්ෂ නොවුනොත්, ඒ වගේම වීරිය උපදවාගන්ට අපි දක්ෂ නොවුනොත් අපි සතුටෙන් වාසය කරනවාය කියන දේ සිද්ධ වෙන්නෙ නෑ. අපි යම් යම් ආකාරයෙන් සතුටු වෙයි. නමුත් ඒක නිවන් මඟ දියුණු කිරීම පිණිස උපකාර වෙන සතුටක් වන්නෙ නෑ.

නමුත් සංවේගය ඇති කරන කාරණා වලදී ඒවා දැනගෙන සංවේගය ඇති කරගන්න දක්ෂ නොවෙන කෙනා, වීරිය උපදවා ගන්ට දක්ෂ නොවන කෙනා සතුටු වෙයි; එයා සතුටු වෙන්නෙ පංච කාමයන් මුල් කරගෙනයි. එයා සංවේගය දනවන කාරණා වලදී කම්පා වෙනවා. පංච කාමයට යටවුණු කෙනාට සංවේගය දනවන කාරණා වලදී සංවේගය ඇති කරගන්න බෑ, එයා සංවේගය දනවන කාරණා වලදී බය ඇතිකර ගන්නවා, කම්පා වෙනවා, තැවෙනවා.

එනිසා එයාට නිවන් මඟ දියුණු කරගෙන සතුටු වෙන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. එයා සතුටු වෙන්නෙ කාමයන් වලින් නම්, එයා හොයන්නෙත් කාමයන්මයි. එයා සතුටු වෙන්නෙ කාමයන් නිසා නම් කාමයන්ම සොයමින් එයා වාසය කරන්න පුරුදු වෙනවා. එතකොට සංවේගය දනවන කාරණා වලට මුහුණ දෙන්න වනවිට එයා කම්පා වෙනවා.

ඉතින් අන්න ඒ තත්ත්වයට පත්වුනොත් අපිට මේ ලැබුණ ලාබය අපි දන්නෙම නැතුව අහිමි කරගන්න අය බවට පත්වෙනවා. ඒ වගේම අපට සතුටු සිතින් වාසය කරන්නට බැරිවෙලා යනවා, සතුට අපෙන් මොහොතින් මොහොත ඈත්වෙලා මහා දුක් ගොඩකට ගොදුරු වෙන අය බවට අපි පත්වෙලා යනවා.

ඒ නිසා අපි කවුරුත් කල්පනාවට ගන්න ඕන, අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් විධියට ජීවිතය දියුණු කරගන්න කැමති වෙනවා නම් අපි කළයුත්තෙ බුදුරජාණන් වහන්සේ වදාල දෙයම, ඒ අයුරින් ඒ දේම පුරුදු කරන්න මහන්සි වීමයි. ඒ නිසා මේ පණිවිඩය කවුරුත් හොඳට මතක තියාගෙන ඒ කාරණා දෙක ඇතිකරගැනීම පිණිස දක්ෂ වෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


No comments:

Post a Comment