Friday, February 11, 2011

පහාණ සංඥාව පුරුදුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි රාගය දුරුකිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ අසුභ භාවනාව යි. රාගය දුරුකිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව. නමුත් මේ කාරණාව වරදවා තේරුම්ගන්ට එපා. රාගය ආපු වෙලාවකදී ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ. 

බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව, එයාට රාගය ආපුවෙලාවකදි ඒ හටගත් රාගය, උපන් රාගය දුරුකරන්ට අසුභ සංඥාව සුදුසු නෑ. එයාට ඒ උපන් රාගය දුරුකරන්ට මොකක්ද? භාවිතා කළ යුත්තේ. පහාණ සංඥාව යි. උපන් රාගය දුරුකරන්ට භාවිතා කරන්නෙ අසුභය නෙවෙයි, පහාණ සංඥාව යි.
හැබැයි ධර්මය හොඳින් පුරුදුකරල අසුභ සංඥාව හොඳින් පිහිටුවගත්ත කෙනෙකුට ඒ උපන් රාගය බැහැරකරන්ට, අසුභ සංඥාව භාවිත කරන්ට පුළුවන්. නමුත් උපන් රාගය දුරුකිරීම පිණිස භාවිත කළයුතු සුදුසු ම ධර්මය තමයි පහාණ සංඥාව. 

මොකක්ද පහාණ සංඥාව කියල කියන්නෙ? රාගය හිතේ ඇති වුනාම එයා තේරුම්ගන්ට ඕන "දැන් මගේ හිතේ රාගය තියෙනවා" කියල. ඒ විදිහට සිහිනුවණ උපදවගෙන එයා සිහිකරන්ට ඕන මේ විදිහට. "දැන් මගේ හිතේ රාගය ඉපදිලා තියෙන්නෙ. මේ රාගය අකුසලයක්, දුක් විපාක සහිත දෙයක්, දුක් විපාක උපදවන දෙයක්. මේ රාගය මට හොඳ නෑ. අනුන්ටත් හොඳ නෑ. සියලු දෙනාටම හොඳ නෑ. මේ රාගය මගේ හිත එකඟ කරන්නෙ නෑ. මේ රාගය මගේ හිතේ සමාධිය උපදවන්නෙ නෑ. මේ රාගය මාව නිරයේ උපදවන්ට හේතුවන දෙයක්. මට නිවන පිණිස මේ රාගය උදව්වෙන්නෙ නෑ" කියල හිතන්ට ඕන. 

එතකොට ඒ රාග සිතුවිල්ලේ ආදීනව තමයි ඒ කල්පනා කරන්නෙ. එතකොට ආදීනව සිහිකරන්ට කරන්ට ඒ රාගයට තියෙන කැමැත්ත නැතිවෙනව. ඒක ප්‍රහාණය වෙලා යනව. ඒක පහාණ සංඥාව යි.
ඒ පහාණ සංඥාව අපිට පුරුදුකරන්ට අමාරු එකක්. මොකද රාගය බලවත් අකුසලයක්. ඒ බලවත් අකුසලය දුරුකිරීම පිණිස අපි තුළ හැකියාවක් උපදවාගන්ට ඕනැ. අන්න ඒ හැකියාව උපදවගැනීම පිණිස අපි තුළ උපදවගතයුතු ධර්මයන් කීපයක් තියෙනව. ඒ තමයි ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන සේඛ බල උපදවා ගන්ට ඕන. 

"ශ්‍රද්ධාව" කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය අදහාගැනීම,
"හිරි" කියල කියන්නෙ පවට ලැජ්ජාව,
"ඔත්තප්ප" කියල කියන්නෙ පවට භය,
"වීරිය" කියල කියන්නෙ අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගන්ටත් පටන්ගත් වීරියෙන් යුක්ත වීම.
"ප්‍රඥාව" කියල කියන්නෙ, දුක් දුරුකිරීම පිණිස, අවබෝධයෙන් කලකිරීම ඉපදෙන ආකාරයෙන්, හටගැනීමත් නැතිවීමත් තේරුම්ගන්නා නුවණ. 

එතකොට හිරි ඔත්තප්ප, නැත්නම් එයා තුළ අකුසල් දුරුකිරීමේ කැමැත්ත උපදින්නෙ නෑ. අකුසල් දුරුකිරීමේ කැමැත්ත ඉපදිලා නැතිකෙනා තුළ පහාන සංඥාව පිහිටුවගන්ට බෑ. එහෙනම් පහාන සංඥාව උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රද්ධා, හිරි - ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන සේඛ බල උපදවගත්ත කෙනා තුළ.
රාග සිත ඉපදිච්ච වෙලාවෙදි අසුභය වඩනකොට ඇයි රාගය ම වැඩිවෙන්නෙ? දැන් මේක තෝරබේරා ගන්ට ඕන නේද? රාගය දුරුවෙන්නෙ අසුභය පුරුදුකිරීමෙන්. නමුත් රාගය පැමිණි වෙලාවට අසුභය වඩනකොට ඒ රාගය වැඩිවෙනවා නම්, මොකක්ද? හේතුව. 

නැත්නම් කෙනෙක් මේ කිව්ව එක පිළිගන්නෙ නෑ. මේ රාගය එන්නෙ මොනවටද? මොනවා උදෙසාද? මේ රාගය එන්නෙ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර... මේව කෙරෙහි මේ රාගය උපදින්නෙ.


කෙස් වලට රාගය උපදිනව, ලොම් වලට රාගය උපදිනව, දත් ටික කෙරෙහි රාගය උපදිනව, සම් වලට රාගය උපදිනව, නියපොතු වලට රාගය උපදිනව. එතකොට රාගය උපදින්නෙ ඒව සිහිකරනකොට නේද? ඇස තියෙනව, ඇසට පේන රූපය තියෙනව, ප්‍රිය මනාප රූප බලල ඒ නිමිති හිතේ තියාගෙන, නිමිති සිහිකරනව කියල අපි මොනවද සිහිකරන්නෙ? මුහුණ සිහිකරනව කියල මොනවද සිහිකරන්නෙ? හම, හමේ පාට, ලපයක් තියෙනව නම් ඒ ලපේ, කෙස් ටික, කෙස්වල රොදේ... ඕව නේද? සිහිකරන්නෙ. ඒව සිහිකරනකොට නේද? රාගය උපදින්නෙ. එහෙනම් රාගය ඉපදුන කෙනෙක් අසුභ සංඥාවෙදි මොකක්ද වඩන්නෙ? ඒත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර... සිහිකරන්නෙ. 

එතකොට හොඳින් අසුභ සංඥාව පිහිටුවා නොගත්ත කෙනෙක් රාගය ආපුවෙලාවෙදි "කෙස්, ලොම්.." වශයෙන් සිහිකරනව. දැන් මොකද වෙන්නෙ? උපන් රාගය එතකොට නැතිවෙලා යන්නෙ නැතුව ආයෙ ඇවිස්සෙන්ට පුළුවන්. ඒ නිසා රාගය ආපුවෙලාවට පහාණ සංඥාව පුරුදුකරන්ට ඕන. අසුභය සිහිකරන්ට එපා. රාගය නැතුව තියෙන වෙලාවකදි තමයි අසුභය පුරුදුකරන්ට ඕන.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

බොහෝ ප්‍රතිලාභයන් අත්කරදෙන අසුභ භාවනාව

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අසුභ භාවනාව තිබෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ යි. මේ භාවනාව අපිට බොහෝ ම පිහිට පිණිස, පිළිසරණ පිණිස, සැපය පිණිස උපකාරවන භාවනාවක්. 

එතකොට මූලික වශයෙන් ඒ භාවනාව තුළ කොටස් දෙකක් තිබෙන බව තේරුම්ගන්ට ඕන.
එක කොටසකදි අපි තමන්ගේ ශරීරයේ කුණප කොටස් තිස්දෙක ගැන සිහිකරනව. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇට මිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර.. මේ විදිහට. 

ඊලඟට අපි තමන්ගෙ ශරීරයත්, අනුන්ගේ ශරීර ගැනත් අපි කල්පණා කරනව. ඒ ශරීර හටගන්නා ආකාරයත් නැතිවෙලා යන ආකාරයත් අපි මෙනෙහි කරනව. එතකොට ඒ පළවෙනි කොටසෙදි අපි සමථ භාවනාව පුරුදුවෙනව. දෙවෙනි කොටසෙදි පුරුදුවෙන්නේ විදර්ශනා භාවනාව යි. 

සමථ භාවනාව පුරුදුවීමෙන් අපේ හිතේ තිබෙන රාගය දුරුවෙන්ට පටන් ගන්නව. රාගය දුරුවීමෙන් සිත නිදහස් වෙනව. රාගය දුරු වීම නිසා සිතේ උපදින නිදහස්වීමට කියනව "චේතෝවිමුක්තිය" කියල. එතකොට අපිට "චේතෝවිමුක්තිය" උපදවගැනීම පිණිස ඒ ශරීරයේ කොටස් සිහිකරමින් කරන භාවනාව උපකාර වෙනව. 

ඊලඟට මේ භාවනාවේදී ශරීරය හටගන්නා ආකාරයත්, නැතිවෙලා යන ආකාරයත් ගැනත් මෙනෙහි කරනව. එතෙන්දි කෙරෙන්නෙ විදර්ශනා භාවනාව යි. ඒ විදර්ශනා භාවනාව පුරුදුකිරීමෙන් අපි තුළ අවිද්‍යාව දුරු වෙලා යනව. අවිද්‍යාව කියල කියන්නෙ ආර්ය සත්‍යය පිළිබඳ තිබෙන නොදන්නාකම. අවිද්‍යාව දුරුවීමෙන් විද්‍යාව පහළවෙනව. එතකොට අවිද්‍යාව දුරුවුනහම සිත අවිද්‍යාවෙන් නිදහස් වෙනව. එතකොට අවිද්‍යාව දුරුවීමෙන් සිත නිදහස්වීමට කියනව "ප්‍රඥා විමුක්තිය" කියල. 

එතකොට මේ භාවනාව මඟින් සමථය පුරුදුවෙනව, විදර්ශනාව පුරුදුවෙනව. සමථය පුරුදුවීමෙන් රාගය දුරුවෙන්ට උදව්වෙනව. රාගය සම්පූර්ණයෙන් යම් කලෙක දුරුවෙලා ගියාම සිත නිදහස්වෙනව. ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "චේතෝවිමුක්තිය" යි. විදර්ශනාව පුරුදුවීමෙන් මොකක්ද වෙන්නෙ? අවිද්‍යාව දුරුවෙන්ට පටන්ගන්නව. අවිද්‍යාව සම්පුර්ණයෙන් දුරුවෙලා ගියාම සිත එයින් නිදහස්වෙනව. එතකොට ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "ප්‍රඥා විමුක්තිය" යි. 

එතකොට මේ භාවනාව අපිට සමථය දියුණුකරගන්ටත් විදර්ශනාව දියුණුකරගන්ටත් උපකාරවෙනව වගේ ම චේතෝ විමුක්තිය ඇතිකරගන්ටත්, ප්‍රඥා විමුක්තිය ඇතිකරගන්ටත් උපකාර වෙනව. ඒ වගේම සතිපට්ඨානය සම්පුර්ණ කරගන්ට උදව්වෙනව. සමාධිය පරිපූර්ණ කරගන්ට මේ භාවනාව උදව්වෙනව. යම් කලෙක බොජ්ඣංග ධර්මයන් හතම උපදවගන්ට මේ භාවනාව උදව් වෙනව. එතකොට මෙබඳූ බොහෝ ප්‍රතිලාභ අත්කරගන්ට පුළුවන් භාවනාවක් තමයි අසුභ භාවනාව කියන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල මේ සා දීර්ඝ කාලයක් ගතවුණු යුගයක, ප්‍රඥාව හීන වෙලා යන යුගයක, අපට යමක් තෝර බේරගන්ට තියෙන හැකියාව දුර්වලවෙලා යන යුගයක, නිවන් මග හොඳින් ඉගෙන නොගත්තොත් මුලාවෙන ඉඩකඩද වැඩි, මුලාවෙන් නිදහස්වෙන ඉඩකඩද වැඩි? මුලාවෙන ඉඩකඩ වැඩියි. 

අපිට ලැබුන ලාභය හිමිවෙන ඉඩකඩද වැඩි, ලාභය අහිමිවෙන ඉඩකඩද වැඩි? ලාභය අහිමිවෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා තමාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, ලෝකයාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න. නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න කෙනා මේ ජීවිතේදී හෝ මතු ජීවිතයකදි හෝ ඒ මග පරිපූර්ණකර ගනීවි. 

හොඳට ඉගෙනගන්නව කියල කියන්නේ, තමාට අවබෝධකර ගැනීම පිණිස ශ්‍රද්ධාවෙන් ඉගෙනගැනීම. ඒකටයි අපි හොඳට ඉගෙන ගන්නවා කියල කිව්වෙ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, යම් කෙනෙක් මේ සංඛත වූ ධර්මයන් අතරින් අග්‍ර වූ නිවන් මග කෙරෙහි පහදිනවනම්, එයාට අග්‍ර වූ ප්‍රතිවිපාක ලැබෙනව කියල.
ලෝකයේ තියෙන යම්තාක් සංඛත වූ ධර්මයන් තිබෙනවානම්, ඒ සංඛත වූ ධර්මයන් අතර අග්‍ර වන්නේ නිවන් මග කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. අන්න ඒ අග්‍ර වූ නිවන් මගට යමෙක් පහදිනවනම්, එයාට අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඉතින් අන්න ඒ බුදු වදන අපි පිළිගන්න ඕනැ. පිළිඅරගෙන අප විසින් ඉගෙනගත යුත්තේ ඒ නිවන් මගමයි. නිවන් මග ඉගෙන ගත යුත්තේ මහත් වූ ශ්‍රද්ධාවෙන්. 

අන්න ඒ විදිහට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඉගෙන ගත්තොත් එයාට මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී හෝ අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඒ නිසා කළබලනොවී ධර්මය හොඳට ඉගෙනගන්න. ධර්මය ඉගෙනගන්න කෙනා සැපයට පත්වෙනවාම යි. ඒක වළක්වන්න බෑ. වළකින්නෙ නෑ. එනිසා කළබලනොවී හොඳට ධර්මය ඉගෙනගන්න. 

ඒ විදිහට හොඳට ධර්මය ඉගෙනගන්න කෙනා ඒ අග්‍ර වූ සැප අත්කරගන්ට භාග්‍යවන්තයෙක් වෙනව. විශේෂයෙන් ඒ නිවන් මග ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන ධර්මයන් ගැන අපිට හොඳ පැහැදීමක් තියෙන්ට ඕනෑ. ඒ නිවන් මගේ අනුපිළිවෙල ගැන කියා දුන්ධර්මයන් ගැන අපිට හොඳ වැටහීමක් තියෙන්ට ඕනෑ. 

ඒ නිවන් මග හොඳින් තෝරගෙන පුරුදුකර ගැනීම පිණිස පෙන්වාදුන් ඒ ධර්මය හොඳින් ඉගෙනගන්ට අපිට දැන් අවස්ථාව තියෙනව. ඒ අවස්ථාව බැහැරකරගන්ට අතපසුකරගන්ට එපා. ඒ නිවන් මාර්ගය ගැන අපි හොඳින් ඉගෙනගත්තොත් අපි කාටත් ඒ භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන්ට පුළුවන්කම තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, ධර්මයේ යමක් ද තියෙන්නේ, ඒ ආකාරයෙන්ම හිතන එකට කියනව "යෝනිසෝ මනසිකාරය" කියල. 

කළ්‍යාණ මිත්‍රයා යමක්ද කියන්නෙ, ඒක ඒ ආකාරයෙන්ම හිතනවට කියනව, යෝනිසෝ මනසිකාරය කියල. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවානම්, සද්ධර්මයේ ගුණ සිහිකරනවානම්, සඟ රුවනේ ගුණ සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.
ඊළඟට යම් කෙනෙක් මේ ඇස අනිත්‍යයි, අනිත්‍යය වූ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියල මේ විදිහට ආයතන හය ගැනම සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට. 

යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය ධර්මයේ තියෙන ආකාරයෙන් ම සිහිකරනවානම්, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා, නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා, ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා, ස්පර්ශය නිසා වි£ම ඇතිවෙනවා, වි£ම නිසා තණ්හාව ඇතිවෙනවා, තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා, උපාදාන නිසා භවය ඇතිවෙනව. 

භවය නිසා ඉපදීම ඇතිවෙනව, ඉපදීම නිසා ජරා මරණ දුක් දොම්නස් මේ ආදී සියලු දුක් හටගන්නව. මේ සියලු දුක් හටගන්නෙ මේ විදිහටයි, ලෝකය ඇතිවෙන්නෙ මෙහෙමයි කියල කල්පනා කරනවා නම් අන්න ඒක අයිති යෝනිසෝ මනසිකාරයට, ඒ වගේම ලෝකය නිරුද්ධවෙන ආකාරයට සිහිකරනවානම් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙනව ඒ විදිහට පටිච්ඡ සමුප්පාදය සිහිකරනවානම් එතනත් යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නෙ. 

එතකොට ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් සිහිකරනවානම් ඒක යෝනිසෝ මනසිකාරයට අයිතියි. විමංසාව කියන්නෙ යෝනිසෝ මනසිකාරයට අයිති දෙයක්. ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ධාතු විදිහට, ආයතන විදිහට, ස්කන්ධ විදිහට මේ ධර්මයන් විමසල බලන ආකාරය. අන්න ඒ විදිහට අපි විමස විමසා බලන්ට පුරුදුවෙන්නේ විමංසාව තුළ. 

එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයට අයිති එකක්. දැන් අපි ශරීරය ගැන බලන්නෙ කෙස් තියෙනව, ලොම් තියෙනව, නියපොතු තියෙනව, දත් තියෙනව මේ විදිහට ශරීරයෙ ස්වභාවය විමස විමසා බලනවා නේද? ඒ වගේ යෝනිසෝ මනසිකාරයට ම අයිති දෙයක් විමංසාව කියල කියන්නේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

දුක දැකීම තුලින් ශ්‍රද්ධාව උපදවාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, බුදු රජාණන් වහන්සේ අපට දුක ගැන කියාදෙනව.
ඉපදීම දුකක්,
වයසටයාම දුකක්,
ලෙඩවීම දුකක්,
මරණයට පත්වීම දුකක්,
අප්‍රියන් හා එකතුවීම දුකක්,
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්,
කැමති දෑ නොලැබීම දුකක්, 

කෙටියෙන් කීවොත් පංච උපාදානස්කන්ධය ම දුකක්. 

මේ විදිහට අපි දුක්ඛ ආර්ය සත්‍යය ඉගෙනගෙන, මේ දුක්ඛ සත්‍යය, මේ දුක කියන දේ ආර්ය සත්‍යයක්ම යි කියල තේරුම්ගත්තොත්, අන්න ඒක දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි පැහැදීම උපදවාගැනීම යි. ඒ විදිහට පැහැදීම ඇතිකරගත්තොත්, අපි නොදත් දෙයක් දැනගත්තා නේද? අපි අපේ ජීවිතය තියෙන සැබෑ ස්වභාවය දන්නෙ නෑ. 

ඉපදීම දුකක් කියල අපි දන්නෙ නෑ. ලෙඩවීම දුකක් නමුත් අපි දන්නෙ නෑ. වයසටයාම දුකක් අපි දන්නෙ නෑ. මරණයට පත්වීම දුකක් අපි දන්නෙ නෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපි දන්නෙ නෑ. අප්‍රියන් හා එකතුවීම දුකක් අපි දන්නෙ නෑ. නොදන්නා නිසා අපි ඒ දුක විඳ විඳ ආයෙ ඉපදෙන්ට පැතුවද නැද්ද? ඉපදුණායින් පස්සෙ ආයෙත් ලෙඩවීම, වයසටයාම, මරණයට පත්වීම, ලැබෙනවද නැද්ද? මේ සා දීර්ඝ සංසාරයක් පුරාවටම මේ නොදන්නා කම නිසා ඉපදි ඉපදි, ලෙඩ වෙවී, මරණයට පත්වෙවී, ගුටි බැට කකා, නින්දා විඳ විඳ, අනුන්ගේ හාස්‍යයට ගොදුරුවෙවී, සාහසික අපරාධ වලට ගොදුරු වෙවී දුක් වින්ඳද නැද්ද? නිරයෙ ඉපදිලා දුක් වින්ඳ, ප්‍රේරේත ලෝකෙ දුක් වින්ද, ඒ මොකක් නිසාද? මේ ඉපදි ඉපදි, මැරි මැරී යන ගමනේ දුකක් තියෙනවා කියල නොදන්න නිසා. 

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව මෙතන දුකක් තියෙනව කියල අවබෝධ කරගන්න කියල. එතකොට මේ ධර්මය අහපු කෙනාට තේරෙනව, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක් කියල. මේ විදිහට තේරුම් අරගෙන මෙයා කල්පනා කරනවා, "ආයෙ ආයෙමත් ඉපදීම දුකක්" එහෙනම් ඒ විදිහට කල්පනාකරන කෙනා තමාගේ ජීවිතයේ සැඟවිලා තිබිච්ච අනතුර දැක්කද නැද්ද? දැක්ක.
අන්න එසේ දැකීම නිසා එයාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිවෙනව. ඇයි ඒ? එයා නොදුටු දෙයක් දැක්කා, නොඇසූ දෙයක් ඇසුවා. තමාගේ ජීවිතය තුළ තිබෙන අනතුර දැක්කා. ඒ අනතුර පෙන්වාදුන් නිසා ඒ අනතුර පෙන්වාදුන් කෙනා කෙරෙහි පැහැදීම හටගන්නව. ඒකයි දුක දැකීම නිසා ශ්‍රද්ධාව ඉපදෙනවා කියල කියන්නෙ. 

දැන් අපි පාරෙ යනකොට පාරෙ බොරුවලක් තියෙනව, අපි දන්නෙ නෑ. අපි දන්නෙනැතිව ගියොත් මොකද වෙන්නෙ? වැටෙනව. යම් කෙනෙක් ඉන්නව ඒ බොරුවල ගැන දන්නව. ඒ කෙනා දුවගෙන ඇවිල්ල අපිට කියනව, " යන්ට එපා, මෙතන බොරුවලක් තියෙනවා" කියල. දැන් අපිට ඒ විදිහට පෙන්වුවායින් පස්සෙ ඒ අනතුරින් අපි ගැලවෙනව නේද? ඒ කියන කතාව පිළිඅරගෙන, ඒ බොරු වල තියෙනවා කියල තේරුම්ගත්තොත් අපි අරක්ෂාවෙනව. 

එතකොට තමන්ට තේරෙනව "මම ආරක්ශා වුනා. මම අනතුරෙන් බේරුනා" කියල. එහෙම තේරෙනකොට අනතුරෙන් බේරෙන්න කියාදුන් කෙනා ගැන ගෞරවය හටගන්නවද නැද්ද? හටගන්නව. අන්න ඒකයි ශ්‍රද්ධාව කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ තමයි සතර අපාය ගැන, සංසාරය ගැන අපිට කියාදුන්නෙ.
ඒ වනතෙක් අපි දැනගෙන හිටියෙ නෑ අපේ ජීවිතයේ මෙවැනි අනතුරක් තියෙනවා කියල. මේක තේරුම්ගත්ත කෙනා පිළිගන්නව, එයාට නිතැතින් තේරෙනව "මම අනතුරින් බේරුනා. අනතුරෙන් බේරුනේ භාග්‍යවතුන් වහන්සේ මේක පෙන්වාදුන් නිසා" කියල. තේරුනගමන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එයාට පැහැදීම උපදිනව. ඒකයි දුක දකින කෙනාට ශ්‍රද්ධාව උපදිනවා කියල කියන්නෙ. ඒ නිසා තමයි දුක්ඛ ආර්ය සත්‍යය ගැන හොඳට සිහිකරන්න ඕනෑ වෙන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි අපි කාගෙත් කැමැත්ත තියෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකරන්ටයි. එහෙම කැමැත්තක් නැත්නම් අන්න ඒ කැමැත්ත උපදවාගන්න.
එහෙම කැමතිවන්නා වූ යම් කෙනෙක් ඉන්නවනම් අන්න එයාට ඒ කැමැත්ත ඉටුකරගැනීම පිණිස යමක් උපකාර වනවා නම්, ඒ සඳහා බලවත් සේ උපකාර වන වැදගත් ම දේ කුමක්ද? "ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට ඕනෑ" කියල යම් කෙනෙකුට කැමැත්තක් උපදින්ටත්, ඒ කැමැත්ත ඉටුකරගන්ටත් යමක් උපකාර වනවානම් ඒ උපකාර වන්නා වූ ප්‍රමුඛත ම දේ තමයි පින. 

යම් කෙනෙක් පින්කලානම්, පින් උපදවාගත්තානම්, එසේ ඉපදුණා වූ පිනක් අපිට තිබුණානම් අන්න එසේ ඉපදුණ පිනෙන් අපිට යමක් ලැබෙනවනම්, එසේ පිනකින් අපිට ලැබෙන වටිනා ම දේ මෙකක්ද? දැන් අපිට සල්ලි තිබ්බොත් සල්ලිවලට ගන්න පුළුවන් යම් යම් දේ තියෙනවනෙ. යමෙකුට සල්ලි තියෙනව නම්, එයා ඔන්නම් පාන් ගන්නව, තව කෙනෙක් රත්‍රං ගන්නව. ඒ වගේ අපිට පිනෙන් ලැබෙන වටිනාම දේ මොකක්ද? " කළ්‍යාණමිත්‍ර සම්පත". 

ඇයි අපි එහෙම කල්පනාකල යුත්තේ. පිනෙන් ලැබෙන විපාකය සැපය. එහෙනම් මේ ලෝකයේ යම් සැපක් තියෙනවනම්, ඒ අග්‍ර වූ සියලු සැප අපිට ලැබෙන්නෙ මොකක් මුල් කරගෙනද? කළ්‍යාණ මිත්‍ර ඇසුර මුල්කරගෙන. වෙනදේකින් නෙවෙයි. 

එහෙනම් ඒ අග්‍ර වූ සැප ලබා ගැනීම පිණස උපකාරවන්නේ කළ්‍යාණමිත්‍රයා නම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම පිනක විපාකයක් නෙවෙයිද? එහෙනම් අග්‍ර විපාක ලබාදුන්නේ කළ්‍යාණමිත්‍ර ඇසුර තුළනම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම තමයි පින විසින් අපිට උපදවල දුන්න බලවත් ම උපකාරය, ප්‍රතිලාභය. අපිට මේ කාරණා වලින් මොකක්ද ඉගෙනගන්න තියෙන්නේ? පළවෙනි කාරණය තමයි පින කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීම. ඇයි අපිට අග්‍ර සැපක් ලැබෙන්නෙ පිනෙන්. 

එහෙනම් පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කරා කවදා යන්ටද? පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කවදා අත්කරගන්ටද? පින විසිනුයි ඒක උපද්දල දෙන්නෙ.
අපි පින කෙරෙහි විශ්වාසය ඇතිකරගත යුතුයි. පින කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න කෙනා ඊළඟට මොකක්ද කරන්නේ? පිනෙන් ලැබෙන ඊළඟ බලවත් ම දේ මොකක්ද? "කළ්‍යාණමිත්‍ර ඇසුර". 

අපි පළමුවෙන්ම පින කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. ඊළඟට එයා කළ්‍යාණ මිත්‍ර ඇසුර කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. අන්න ඒ විශ්වාසයන් දෙක මත අපේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් ලැබෙනවාම යි. පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාට අපේ ආරක්ෂාව ගිලිහිලා යනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාටත් අපේ ආරක්ෂාව ගිලිහිලා යනව.
පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ ඒ හේතුවෙන් අපේ ආරක්ෂාව අපට ඇතිවෙනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ අපේ ආරක්ෂාව ඇතිවෙනව. 

ඒ නිසා අපිට ආරක්ෂාව පිණිස, මහත් වූ සැපය පිණිස පවතින්නේ පින. ඒ පින විසින් උපද්දල දෙන බලවත් ම ප්‍රතිලාභය තමයි කළ්‍යාණ මිත්‍ර ඇසුර. පින ගැනත්, පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය වන කළ්‍යාණ මිත්‍ර ඇසුර ගැනත් විශ්වාසය ඇතිකර ගැනීමට මේ සියලු දෙනාටම භාග්‍යය උදවේවාæ කියල අපි ආශිර්වාද කරනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සැප සතුට පිරුණු දිවියක්....

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි කවුරුත් ඉතාමත්ම සැපවත් වූ ජීවිතයක් ගතකරන්න කැමතියි.
සැපසේ වාසය කරන්න කැමති කෙනාට, ඒ සැප උපදින ආකාරය ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නෑ. ප්‍රාර්ථනාවකින් ලබාගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. සැප උපදින ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕන.
යම් කෙනෙකුට සැප ලැබෙන්ට නම්, එයාගෙ සිතේ පිරිසිදු භාවයක් උපදින්නට ඕනැ. සිතේ පිරිසිදුභාවයක් උපදින්නෙ නැත්නම්, එයාට දුක සේ වාසය කරන්ට සිද්ධ වෙනව. 

ඒක මේ වගේ, දැන් බලන්න ශරීරය අපිරිසිදු වුනාම සුවපහසුවක් දැනෙන්නෙ නෑ. දාඩිය ඇවිල්ල දූවිලි බැඳූනම, ශරීරය අපිරිසිදු වුනාම සුවපහසුවක් දැනෙන්නේ නෑ. දාඩිය ඇවිල්ල දූවිලි බැඳූනහම ශරීරය අපිරිසිදුයි. ඒ අපිරිසිදු ශරීරයෙන් වාසය කරනකොට ඉතාම අපහසුයි. දුක් සහිත ස්වභාවයක් තමයි තිබෙන්නේ. යම් කෙනෙක් ඒ ශරීරය හොඳට පිරිසිදු වතුරෙන් පිරිසිදු කරගත්තහම, යම් සුවපහසුවක් ඇතිවෙනව. 

අන්න ඒ වගේ තමයි සිත, නරක දෙවල් වලින් අපිරිසිදු වුනහම, ඒ අපිරිසිදු වූ සිතින් ඇතිවන්නේ අපහසුව ම තමයි. දුක් පීඩාම යි දැනෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේ අපිරිසිදු වූ සිත අපිරිසිදු වෙන්ට නොදී, පිරිසිදු භාවයට පත්කර ගත්තොත්, ඒ ආකාරයට පිරිසිදු වූ සිතින් ඉතාම සුවපහසුවක් ඇතිකරගන්ට පුළුවන්කම තිබෙනව. සිත පිරිසිදු කරගන්නෙ නැතිව සුවපහසුවක් ඇතිකරගන්ට පුළුවන්කම ලැබෙන්නෙ නෑ. 

ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ආකාරයට සිතේ අපිරිසිදු භාවය ඇතිවෙන ආකාරයත්, සිත පිරිසිදු වෙන ආකාරයත්, ඉගෙනගෙන, ඒ සිත අපිරිසිදු වෙන ආකාරයන් බැහැර කරමින්, සිත පිරිසිදු වෙන ආකාරය පුරුදුකර ගත්තොත්, අපි කාටත් පුළුවන්කම ලැබෙනව, සිතේ අපිරිසිදුභාවය බැහැර කරල, ඒ සිතේ අපිරිසිදුභාවය දුරු කරගෙන, පිරිසිදු වූ සිතක් උපදවගන්ට. 

පින්වතුනි, යම් කෙනෙක් කයින් වැරදි දේවල් කරනවා නම්, ඒක මුල් වෙලා එයාගේ සිත අපිරිසිදු වෙලා යනව. ඒ වගේම තමයි, වචනයෙන් නරක දේවල් කරනවා නම්, ඒක මුල්වෙලා එයාගෙ සිත අපිරිසිදු වෙන්ට පටන් ගන්නවා. ඒ වගේම තමයි මනසින් වැරදි දේවල් කළොත්, ඒක මුල්වෙළත් එයාගේ සිත අපිරිසිදු වෙන්ට පටන් ගන්නව. 

යම් කෙනෙක් කයෙන් හොඳ දේවල් කරනව නම්, නරක දේ අතහැරල බැහැර කරල, යහපත් දේ කරනව නම්, එයාගෙ සිත පිරිසිදු වෙන්ට පටන් ගන්නව. ඒ වගේම තමයි, වචනයෙන් නරක දේවල් බැහැර කරල, හොඳ දේවල් කළොත්, එයාගෙ සිත පිරිසිදු වෙන්ට පටන් ගන්නව. මනසින් කරන නරක දේවල් බැහැර කරල හොඳ දේවල් කළොත්, සිත පිරිසදු වෙන්ට පටන් ගන්නව. 

මේ විදිහට අපි මේ ධර්මය හොඳින් පුරුදු කර ගත්තොත්, අපිට පිරිසිදු සිතකින් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. එතකොට එයාට මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනාව උදාවෙනව. ඒ නිසා අපි කවුරුත් මේ ධර්මය හොඳින් ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන, කායික දුෂ්චරිතය බැහැර කරන්ට පුරුදු වෙන්ට ඕන, ඒ වගේම මානසික දුෂ්චරිතය බැහැර කරන්ට පුරුදුවෙන්ට ඕන. මේ විදිහට මේ දුෂ්චරිතය බැහැර කරල, සුචරිතය පුරුදු කරගන්ට අපි කැමති වෙන්ට ඕන. 

යම් කෙනෙක් සුචරිතය පුරුදුකර ගත්තොත් එයා නියත වශයෙන් ම සැපවත් වූ ජීවිතයක් උපදවගන්න කෙනෙක් බවට පත්වෙනව. සුචරිතය පුරුදු කරගත්ත කෙනා, මේ ජීවිතය ඉතාම සැපසේ වාසය කරනව. මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන කෙනාට මරණින් මත්තේ කය බිඳිල මළාට පස්සේ, ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට සුගති ලෝකවල ඉපදුනායින් පස්සේ, එයාට ඉතාමත් සැප සේ වාසය කරන්ට පුළුවන්කමක් ලැබෙනව. 

ඒ නිසා සැපට කැමති කෙනා, ඒ සැප උදාකරගන්න ප්‍රතිපදාව හඳූනගන්නට ඕන. ඒ ප්‍රතිපදාව ඉගෙනගන්ට ඕන. ඉගෙනගෙන ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්ට ඕන. ඒ නිසා හොඳින් මතක තබාගන්න, සැප කැමති කෙනාට අනුගමනය කළ යුතුව තිබෙන්නේ සුචරිතය පුරුදු කිරීමයි, දුෂ්චරිතය බැහැර කිරීමයි. 

ඒ නිසා සියලු දෙනාට ම සුචරිතය පුරුදු කරමින් දුෂ්චරිතය බැහැර කරමින් සැපවත් ජීවිතයක් ගතකිරීම පිණිස දුර්ලභ වූ භාග්‍ය උදාවේවා! කියල අපි සෙත් පතනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සත්පුරුෂබවම යි වටින්නේ

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



සත්පුරුෂයාගේ ස්වභාවය තමයි, ඉතාම පුංචි උපකාරය ආකාසය වගේ මහත් උපකාරයක් විදිහට එයා ගන්නව. ඉතාම ගෞරවයෙන් එයා සිහිකරනව. ගෞරවය හොයන කෙනා ආකාසෙ වගේ විශාල උපකාරයක් උනත් එයාට දූවිලි අංශුවක් විතරවත් වටින්නෙ නෑ. 

ඉතින් මේ චරිත ස්වභාවයන් තේරුම්ගන්න. තේරුම් අරන් ඒ අසත්පුරුෂ ස්වභාවයෙ තියෙන භයානක ස්වභාවය තේරුම්ගන්න. එයාට විශාල උපකාරයක් කළත් ඒක වටින්නෙ නෑ. නමුත් සත්පුරුෂයා ඉතාම පුංචි උපකාරය විශාල වටිනා දෙයක් විදිහට සිහිකරනව. බලන්න ඒ චරිත දෙකේ තියෙන හාත්පස වෙනස් ස්වභාවය. 

එහෙනම් අපි මේව ඉගෙනගෙන අපේ චරිතය යහපත් පැත්තට යොදා ගන්න අපි පුරුදුවෙන්ට ඕනැ. මේ ධර්මයන් දන් නැත්නම් අපි කොහෙට කැරකිලා යයිද කියල අපිට හොයාගන්ට බෑ. එනිසා අපිට අපේ ස්වභාවය තේරුම් අරගෙන, අපිට යහපත ඇතිකර ගැනීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයන් අපි උදෙසා ඉතිරි කලේ, කියා දුන්නේ. එනිසා සත්පුරුෂ භාවයට මහත් සේ කැමතිවෙන්න. 

අසත්පුරුෂ භාවය හීන දෙයක්, නිගා කලයුතු දෙයක්, කිසිවිටෙකත් කැමති නොවිය යුතු දෙයක්, සියලු දෙනාටම අහිත පිණිස විපත පිණිස පවතින දෙයක් විදිහට තේරුම් අරගෙන, ඒ අසත්පුරුෂස්වභාවයන් ඇතිවෙන්ට ඉඩදෙන්ට එපා. අසත්පුරුෂ ස්වභාවය ඇතිවෙන්ට බලපාන මූලික හේතුව මොකක්ද? ගෞරවය හොයාගෙන යෑම. නැති තත්වය හොයාගෙන යෑම. තියෙන තත්වය බලවත් කරගන්ට කල්පනා කිරීම. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට එයා කැමතියි. ඒ වගේ අසත්පුරුෂ චරිතයක් ඇතිවුනොත් ඒක මහා හානියක්මයි.
අසත්පුරුෂ භාවය ඇතිවෙලා වැඩිදියුණුවෙලා ගියොත් එහෙම, අසත්පුරුෂ භාවය ඉපදුනොත් ඉපදිලා ඒක බලවත් වුනොත් එයා ගොඩගන්ට අමාරුයි. එයා කොච්චර උපකාර කලත්, කොච්චර හොඳ දේ පෙන්වා දුන්නත් එයා යහපතට ගන්ට බෑ. ඒකයි මෙහෙම කතාවක් තියෙන්නෙ. කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්. 

"කිරි දෙවෙනි දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්" කියල කතාවක් තියෙන්නෙ. අඟුරු කෑල්ල කිරෙන් හේදුවත් ඒක සුදුවෙන්නෙ නෑ. එහෙනම් බලන්න මේ අසත්පුරුෂ බව කියන එක කොතරම් භයානක විපතක් අපිට කරනවද කියල. ලෝකයට කරනවද කියල. එනිසා ඒ අසත්පුරුෂ කම ගැන බිය උපදවගන්ට. තමාටත් අනුන්ටත් විපත පිණිස පවතින බලවත්ම දේ තමයි අසත්පුරුෂ බව. ඊටත් වඩා බලවත් දෙයක් ලෝකයේ නෑ.
ඇයි බලන්න කොතරම් ගුන කලත් දුදනෝ නොවෙති යහපත්. ඉතින් ඒක විපතක් නේද? අනතුරක් නේද? එනිසාම අසත්පුරුෂයන්ට උපකාර කරන්ට එපා කියල ලෝකයේ කතාවක් තියෙනව. "දියෙහි යන දන්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනෝ හට පිහිට නොවව් යන බස සැබෑ කලෙ මට" ඉස්සර කාලෙ කතාවක් සිහිකරන්නෙ. 

කතාවක් තියෙනවලු වතුරෙ ගහගෙන යන ලී කොටයක් තියෙනව. ආන්න ඒකට උදව්වක් කලත්, දුදනන්ට උදව් කරන්න එපා කියල. මොකද ඒක භයානකයි. සැඩ පහරෙ ගහගෙන යන කොටයක් තියෙනව. ඉතින් කෙනෙක් කල්පනා කරනව, අනේ මේ කොටේ වතුරෙ ගහගෙන යනව මං අරන් දාන්න ඕනැ කියල, ඒ වතුරෙ ගහගෙන යන කොටේ අරන් දානව. 

එහෙම උදව්වක් කලත් දුදනෙකුට උදව් කිරීම භයානකයි කියල කියනව. මොකද ඒ උදව් කිරීමේ භයානක කමද ඒ තියෙන්නේ. උදව්වෙ නෙවෙයි භයානක කම තියෙන්නෙ. දුදනගෙ ස්වභාවය. එනිසා අපි කල්පනා කළ යුතුයි, අපි දුදනො නොවිය යුතුයි කියල. ඇයි අපෙන් ලෝකයට බය හට නොගත යුත්තේ. නැත්නම් මේ ධර්මය වරදවල ගන්නව. 

මොකටද මේ පණිවුඩය දෙන්නෙ. දුර්ජන භාවය. අසත්පුරුෂ බව බිහිසුනු දෙයක්. ඒ දුරජන බව අසත්පුරුෂ බව නම් වූ බිහිසුනු දේ අපි ඇතිකර නොගත යුතුයි. ඇයි අපි ඇතිකර නොගත යුත්තේ? ලෝකයට යහපත පිණිස. ලෝකයටයි එතකොට හානි වෙන්නේ. එහෙම නැත්නම්, අපි උදව් කරන්ට හොඳ නෑ කියල හිස් මතයට කැරකිලා යනව. 

ලෝකෙන් උපකාරයක් අපිට ලැබෙනකොට, ඒ උපකාර කරන අයට යහපත සැලසෙන්ට ඕනැ. එහෙමනම් ඒ සඳහා කටයුතු කළ යුත්තේ අපි සත්පුරුෂයින් වීම. ආන්න ඒ විදිහේ තමාගේ ජීවිතය සකසා ගැනීම පිණිස තමයි මේ ධර්මය අපිට උපකාර වන්නේ. 

ඉතින් මේ කරුණු අපි හොඳින් ඉගෙන ගෙන, මේ අසත්පුරුෂ බව නම් වූ අතිෂයින් බිහිසුනු, අතිශයින් භයානක, ලෝකයටම විපත පිණිස පවතින දෙය කිසිකලෙකත් ලෝකයේ බිහි නොවේවා කියල සියුළු දෙනාම විසින්ම පැතිය යුතුයි. අසත්පුරුෂ බව කියන හීන දේ තේරුම් අරගෙන කිසිකලෙකත් ඒ අසත්පුරුෂ ගති වලට ඉඩ නොදී, ඒව බැහැරකරගෙන සත්පුරුෂ භාවය ඇතිකරගන්න කල්පනා කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සිහි නුවණ උපදවාගෙන වාසය කරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



දැන් බලන්න අපිට තිබෙන ලොකුම ගැටළුව තමයි බණ භාවනා කරන්්න වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි, ළමයි ළපටින්ගේ වැඩකටයුතු බහුලයි. ඊළඟට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඥාතීන්ගෙ කටයුතු බහුලයි. මේ ආදී කටයුතු වලින් මේ අයගේ ජීවිත පිරිල. එනිසා මේ අයට තිබෙන ලොකුම ගැටළුව තමයි භවනා කිරීමට වෙලාව නැතිකම. අන්න ඒ ගැටළුව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නෙ. ගැටළුවක් නැතිව ගැටළුවක් තියෙනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳූමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටළුවක් තියෙනව නම්, එයට විසඳූමක් තියෙනව. 

නමුත් ගැටළුවක් නැතිව තියෙද්දී, ගැටළුවක් තියෙනව කියල අපි සංකල්පයක් ඇතිකර ගත්තොත්, අදහසකට පැමිණුනොත් ඒකට විසඳූමක් නෑ. එනිසා අපි ආරම්භයේදී ම මුල පිරිසිදු කරගන්න ඕනැ. අපි ආරම්භයේදී ම මේ මුල පිරිසිදු කරගත්තෙ නැත්නම්, හැමදා ම හිතනව මට ප්‍රශ්නයක් තියෙනව. මට ගැටළුවක් තියෙනව කියල. දැන් බලන්න, වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනව මගේ කකුල් දෙක ගැටගහල තියෙන්නෙ කියල. යයිද? ගැටගහල තිබ්බනම් ලිහාගන්න පුළුවන්. දැන් ගැටගහල නැතුව තිබෙද්දී එයා හිතනව ගැටගහල. 

කවදාවත් ලෙහාගන්න බෑ. අන්න ඒ වගේ අපට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක්, ඒකෙන් ගැලවෙන්ට බෑ. එයා කවදාවත් නැගිටල දැන් අපිට වෙලාව නැත්තෙ කොහොම එකකටද? වාඩිවෙලා භාවනා කරන්න. දැන් එතකොට මේ වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටිනතාක් තමයි මේ අර්බුදය අපිට එන්නෙ නේද? භාවනාව කියන්නෙ වාඩිවෙලා පමණක් කරන එකක් කියල කල්පනා කිරීමෙන් තමයි මේ අදහස එන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපට කොහොමද කියා දෙන්නෙ. ඇවිදින කෙනෙක් හො වේවා, හිටගෙන ඉන්න කෙනෙක් වේවා, නිදාගෙන ඉන්න කෙනෙක් වේවා, වාඩිවෙලා ඉන්න කෙනෙක් වේවා පවට බයක් ඇති, පටන් ගත් වීරියෙන් යුක්ත, කෙළෙස් තවන වීරියෙන් යුක්ත නම්, නිවනට යොමු වූ සිතින් යුක්ත වූ කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම තිබෙනවා.


එයාට ඒ ඉන්න ඉරියව්ව වැදගත්කමක් නෑ. එයා තුළ හටගන්න අකුසලය ගැන එයා කුමන ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නෙ. "අනේ මට වෙලාවක් නෑ" කියන අදහස තුළ තමයි අපි ගොඩාක් වෙලාවට වාසය කරන්නෙ. බලන්න අපිට වෙලාව නෑ කියල හිතුවට, අපි ඇවිඳිමින් ඉන්න එක, ඉඳගෙන ඉන්න එක, නිදාගෙන ඉන්න එක, හිටගෙන ඉන්න එක, මේ ඉරියව් හතර අපි පවත්වනවද? නැද්ද? පවත්වනව. මේ ඉරියව් හතරෙදී ම අපට කොතරම් වැඩ තිබුනත්, කොතරම් රාජකාරි තිබුනත්, කොතරම් ගේ දොරේ වැඩකටයුතු තිබුනා වුනත් අපිට වැඩ වැඩියි කියල, අපට රාජකාරි බහුලයි කියල මේ අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? කවදාවත් ඒක කරල නෑ නේද? මට වැඩ වැඩියි වැඩ ඉවර වෙනකල් මේ විතර්ක ටික මම පැත්තකින් තියෙනව. 

අපිට එහෙම වෙලා නෑ නේද? රාජකාරි බහුලව කෙරෙද්දී වුනත්, ගෙදර දොරේ කටයුතු කරද්දී වුනත්, ළමා ළපටින්ගෙ කටයුතු කරද්දී වුනත්, සමාජ කටයුතු කරද්දී වුනත්, මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේර ගත යුතු විදිහ. එහෙනම් අපි කටයුතු කරද්දී ම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දී ම මේ විතර්ක බැහැර කරගැනීමේ රටාවත් අපට පුරුදුකරගන්නත් පුළුවන්. අන්න ඒකයි මම කිව්වෙ, අපි තියුණු නුවණක් ඇතිකර ගත්තොත්, එයා ඉවසීමෙන් යුක්තව මේ ක්‍රම වේදය අධ්‍යයනය කරනව. මොකක්ද කළයුත්තේ? කොහොමද අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ? ආන්න ඒ විදිහට මේ මාර්ගය තෝරගත්ත කෙනා, ඉතා ම සතුටට පත්වෙනව. 

එයා සොයමින් සිටිය දේ මුණගැහුන. ඉතින් හිටගෙන ඉන්න කොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, මේ කෙළෙස් යුද්ධයෙන් දිනන්න කැමතිකෙනා, ඒ කෙළෙස් අඳූනගැනීම පිණිස කල්පනා කළයුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළයුතුයි. අන්න එතකොට එයාට තේරෙනව හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදින කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, ඒ කෙළෙස් එයාට අඳූනගන්න පුළුවන්කම එනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සැප උපදින පින් කරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



හැකි හැම වෙලාකදි ම පින් සිතුවිලි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. එතකොට අපි ඒ විදිහට හොඳ හිතක් උපදවගෙන වාසයකරනවනම්, යහපත් විදිහේ සිතකින් යුක්තව වාසය කරනවනම්, අපි ඒ වෙලාවේදී කරන කියන හැමදේකින් ම පින උපදිනව. ඒ වගේ ම ඒ හැම වෙලාවකදී ම කරන කියන දේ තුළින් උපදින පින මහත්ඵලයි. බලවත් පිනක් උපදිනව. එහෙම නැත්නම් අපි පින් සිතුවිල්ලක් උපදවගන් නැතුව පිරිසිදු සිතක් උපදව ගන් නැතුව යහපත් සිතක් උපදවගන් නැතුව අපි කරන කියන දේවල් බලවත් පිනක් බවට පත්වෙන්නෙ නෑ. 

සමහරවිට පිනක් උපදියි, ඒක බලවත් නෑ. පරිපූර්ණ නෑ. අංග සම්පූර්ණ පිනක් වෙන්නෙ නෑ. සමහරවිට පිනක් උපදින්නෙ ම නැතිවෙන්න පුළුවන්. එනිසා හැකි හැම වෙලාවකදී ම පින් සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. කුසල සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. හොඳ සිතුවිලි වලින් හොඳ යහපත් සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් බාහිරට පෙනෙයි අපි යහපත් දෙයක් කරනව වගේ. නමුත් අභ්‍යන්තරයේ යහපත් දෙයක් අපට රැ ස්වෙන්නෙ නැත්නම් අපේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත අඳූර කරා ළංවෙනව. 

එනිසා අපට බාහිරින් ලැබෙන ප්‍රශංසා ගැන කල්පනා කරන්න එපා. එහෙම දෙයක් නැතුවට කමක් නෑ. අභ්‍යන්තර ජීවිතය තමන්ගේ සිතේ ස්වභාවය ගැන තේරුම් අරගෙන, ඒ සිත පිරිසිදු ස්වභාවයකින් තියාගන්න කටයුතු කරන්න. යහපත් සිතුවිලි වලින් වාසය කරන්න පුරුදුවෙන්න. එතකොට අපි කරන දේ තුළින් බලවත් විදිහේ පින් අපට රැස්වෙනව. අංග සම්පූර්ණ පින් අපට රැස්වෙනව. යහපත් සිතකින් වාසය කරන කෙනාට ලැබෙන යහපත ඒක තමයි. එයාට දවසින් දවස සැප ඇතිවෙනව. එයාගෙ ජීවිතයේ අලෝකය උදාවෙනව. එහෙම නැතිවුනොත් එහෙම, දැන් අපිට යම් සැපක් උදාවෙලා තියෙනවා, ඒ ඔක්කොම කලින් කරල තියෙන පිනකින් ලැබෙන්නෙ. 

එතකොට අපිට මේ සුවපහසුව විඳිමින් වාසය කරනකොට ගෙවිල යන්නෙ මොනවද? කලින් රැස්වෙච්ච පින ගෙවිල යනව. එතකොට අපි දැන් රැස්කරගත්තෙ නැත්නම්, කලින් කරපු පින ගෙවිල යනව. එතකොට මොකද වෙන්නෙ. කරගත්ත පින ඉවරවුණාට පස්සෙ දිළිඳූයි. ඊට පස්සෙ සැප ලැබෙනවද? ඊට පස්සෙ මේ සැප ලැබෙන ස්වභාවය නැති වෙලා යනව. ඇයි කරපු පින ඉවරයි. ආපහු පින් රැස්වෙන විදිහේ ප්‍රතිපදාවක වාසය කළේ නෑ. පින රැස්වෙන ප්‍රතිපදාව තමයි පින් සිතකින් කටයුතු කරන්න පුරුදුවීම. 

යහපත් සිතුවිල්ලෙන් යුක්තව වාසය කරන්න පුරුදුවීම. අපි කලින් කල පින ගෙවෙන විට ලැබෙන සුවපහසුව, ලැබෙන විපාකය විඳින්ට ඕන ඒකට මත්වෙලා නොවෙයි. ඒකෙන් මත්වුනොත්, සිහිය උපදවගත්තෙ නැත්නම්, අපි සිහි නුවණ පාවිච්චි නොකොළොත් අයෙ පින් කරගන්න උත්සාහ කරන්නෙ නෑ. එතකොට කල පින ගෙවිල යනව ඉක්මනින්. ඒවගේ ම වේගෙන් පින් රැස්කර ගැනීමේ අවස්ථාවකුත් දැන් තියෙනව. අන්න ඒක හඳූනගන්න බැරුවයනවා. ඒ කළ පිනේ විපාකය විඳිනකොට සිහි මුළාකර ගත්තොත්, ඒ පිනේ විපාකයට මත්වෙලා ගියොත් එහෙම, ගොඩාක් පින් කරගන්න තියෙන අවස්ථාව අඳූරගන්න බැරුව යනව. 

ඒ නිසා කලින් කළ පිනේ විපාක විඳිනකොට ඒකට මත්වෙන්න එපා. අපිට පින්කරන්න අවස්ථාවක් ලැබිල තියෙන්නෙ කියල තේරුම්ගන්න. ඒ අවස්ථාවේ පින්කරගත්තෙ නැත්නම් අපිට තියෙන පින ගෙවිල ගිහිල්ල ඊටපස්සෙ අපිට සැප නැතිවෙලා යනව. අන්න ඒක තේරුම්අරන් පින් රැස්කරගන්න ඕනෑ කියන කල්පනාව උපදවාගන්න. එහෙනම් අපි හොඳ සිතුවිලි පවත්වමින් ඉන්ට පුරුදුවුනොත්, අපි කරන කියන හැම දේකින් ම අපිට පින් රැස්වෙනව. අන්න ඒක තේරුම්අරගන්න. ඒක තේරුම්අරගෙන යහපත් සිතුවිලි තේරුම් අරගෙන ඉන්ට පුරුදුවෙන්න. මෙත් සිතින් වාසය කරන්න. කරුණා සහගත සිතුවිලි වලින් වාසය කරන්න පුරුදුවෙන්න. 

නිහතමානී සිතුවිලි වලින් යුක්තව වාසය කරන්න. එතකොට අපි කරන කියන දේ තුළින් අපට පින් රැස්වෙනව. යම් පිනක් රැස්වුනොත් ඒක මහත්ඵල පිනක් බවට පත්වෙනව. අන්න ඒ විදිහට පින් රැස්කරගත්තොත් යම් කෙනෙක්, එයාගේ ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත සැප කරා ම යන ජිවිතයක් බවට පත්වෙනව. සැප කරා ම එයාගේ ජීවිතය දියුණුවෙලා යනව. එහෙම නැත්නම් අපි අකුසල සිතකින්, නරක සිතකින් යුක්තව කටයුතු කළොත්, බාහිරට ඉතින් බැබළීමක් පෙනෙයි ටික කලක්, කළ පිනේ විපාක ලැබෙනවනෙ. 

ඒ පින ගෙවිල ගියාට පස්සෙ ඒ බැබළීම නැතිවෙලා යනව. ඊට පස්සෙ මහා දුක් ගොඩකට මැදිවෙන්ට එයාට සිදුවෙනව. ඒ නිසා හොඳ ට කල්පනාකරල, හොඳින් තේරුම් අරගෙන නරක සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. එනිසා අපි මේ සියලු දෙනාට ම ආශිර්වාද කරන්න කැමතියි සැප උපදින පින් කරගන්ට සියලු දෙනාට ම කැමැත්ත ඉපදේවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සොඳූරු දිවියකට සත්පුරුෂ ඇසුර

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, යම් කෙනෙක් කැමතිවෙනවනම් තමන්ගෙ ජීවිතය සුන්දර දෙයක් බවට පත්කරගන්ට, ඒ කියන්නෙ ඉතාම සැපවත් ජීවිතයක්, සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට, අන්න එයා කැමතිවෙනව සත්පුරුෂ ඇසුරට. සත්පුරුෂ ඇසුරට පත්වෙන කෙනාට ආරක්ෂාවක් තියෙනව. අනාරක්ෂාවක් ඇතිවෙන්නෙ නෑ. එනිසා ඒ සත්පුරුෂ ඇසුරේ වටිනාකම මෙච්චරයි කියල ප්‍රමාණ කරන්ට බෑ, අගය මෙච්චරයි කියල ප්‍රමාණ කරන්ට බෑ. සත්පුරුෂ ඇසුර එතරම් ම වටිනා දෙයක්. ඒ නිසා අපි ඒ සත්පුරුෂ ඇසුරට කැමතිවෙන්ට ඕනැ.


තමාගේ ජීවිතයට සැප කැමතිකෙනා, ඒ ජීවිතය ආරක්ෂාකරගන්ට ඕනැ. තමාගේ ජීවිතයට සැප කැමති කෙනා, සුන්දර ජීවිතයක් ඇතිකරගන්ට කැමති කෙනා, ජීවිතේ ආරක්ෂ කරගන්ට ඕනැ. ජීවිතේ ආරක්ෂා කරගැනීම පිණිස සත්පුරුෂ ඇසුරට එයා පත්වෙන්ට ඕනැ. සත්පුරුෂ ඇසුරට පත්වෙන්ටනම් එයා මොකක්ද කරන්ට ඕනැ. තමන් සත්පුරුෂයෙක්බවට පත්වෙන්ට ඕනැ. තමන් සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට පත්වෙන්ට බෑ. ඒනිසා අපි අපේ ජීවිතයට සැප ඇතිකරගන්ට කැමතිනම්, ජීවිතේ ආරක්ෂාකරගන්ට කැමතිනම්, සත්පුරුෂයින්ගේ ඇසුරට කැමතිවෙන්ට ඕනැ. 

සත්පුරුෂ ඇසුරට කැමතිනම් සත්පුරුෂයෙක් නොවුනොත් සත්පුරුෂ ඇසුර එයා ඇතිකරගන්නෙ නෑ. උරුමකරගන්නෙ නෑ. තමා සත්පුරුෂයෙක් නොවුනොත් ලැබුන සත්පුරුෂ ඇසුර එයා බැහැරකර දානව. වැඩි කාලයක් යන්ට කලින් ඒක අතහැර දානව. ඒක එයාට වදයක් බවට පත්වෙනව, මිහිරි නෑ. අසත්පුරුෂයාට සත්පුරුෂ ඇසුර මිහිරි දෙයක් වෙන්නෙ නෑ. එයා සත්පුරුෂ ඇසුර වර්ණනා කරන්නෙ නෑ. එයාට ඒක කරදරයක්. ඒ නිසා අපි ලැබුන සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට සමීපකරගන්ට නම් අපි සත්පුරෂයින් බවට පත්වෙන්ට ඕනැ.


තමන් සත්පුරුෂබවට පත්වෙන්ට ඕනැ. තමන් කොහොමද අපි සත්පුරුෂයින් බවට පත්වෙන්නෙ? අපි සත්පුරුෂ ගුණ ඉගෙනගන්ට ඕනැ. සත්පුරුෂ ගුණ ඉගෙනගෙන, ඒ සත්පුරුෂ ගුණ අපි අපේ ජීවිතයට පුරුදුකරගන්ට ඕනැ. අසත්පුරුෂ ගුණ ඉගෙනගෙන, අසත්පුරුෂ ගුණ බැහැරකරන්ට ඕනැ. අන්න එතකොට අපිට සත්පුරුෂභාවය ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව. අසත්පුරුෂයාගේ ගතියක් තමයි, අන් අයගේ අඩුපාඩු කියන එක. ඇහුවත් නැතත් අන් අයගේ අඩුවම යි කියන්නෙ. වැරදිම යි කියන්නෙ. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. 

ඒ වගේ ම අනිත් අයගේ හොඳ කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හංග හංගා කියන්නෙ. යාන්තම් කියන්නෙ. ඒකත් අසත්පුරුෂයාගේ ගතියක්. ඊළඟට ඒ අසත්පුරුෂා තමන්ගේ යම් හොඳක් තියෙනවනම් ඇහුවත් නැතත් තමන්ගේ හොඳ කියනව. ඇහුවොත් එහෙම තමන්ගේ හොඳ විස්තර කර කර කියනව. ඒක අසත්පුරුෂ ගතියක්. ඊළඟට අසත්පුරුෂයා තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම්, වැරැද්දක් තියෙනව නම් ඒක කියන්නෙ නෑ, හංග ගන්නව. ඇහුවොත් එහෙම හංගගෙන තමා කියන්නෙ. අන්න ඒව අසත්පුරුෂ ගති. අසත්පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ. අපි ඒව ඉගෙනගන්න ඕනැ. ඒව ධර්මයේ කියාදෙනව. 

අන්න ඒ ධර්මයන් ඉගෙන ගෙන එබඳූ චරිත ලක්ෂන අපි ලඟ තිබෙනවනම් අපි ඒව බැහැරකරන්ට ඕනැ. ඒවගේම සත්පුරුෂයාගේ චරිත ලක්ෂණ තියෙනව. සත්පුරුෂයාගේ ලක්ෂණ තමයි අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. යම් කෙනෙක් ඇහුවොත් එහෙම අනුන්ගේ අඩුපාඩු, මොනව හරි වැරැද්දක්, එතකොට සම්පූර්ණයෙන් කියන්නෙ නෑ. සඟවලා තමා කියන්නෙ. ඊළඟට ඒ සත්පුරුෂයාගේ චරිත ලක්ෂණයක් තමයි අනිත් අයගේ හොඳ කියනව, ගුණ කියනව. ඇහුවත් නැතත් අනුන්ගේ ගුණ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර විස්තර කර කර කියනව. 

හොඳ ට මතකතියාගන්න මේ කාරණා. මේව සරල දේවල් විදිහට ගන්න එපා. අපි සමහරවිට අහල ඇති, කියවලත් ඇති. නමුත් අපේ ජීවිතේ සත්පුරුෂභාවය ඇතිකරගන්ට බැරිවුනේ, මේව නොවටිනා දේ විදිහට කල්පනාකල නිසා. මේ තමයි ජීවිතේ දියුණුකරගන්ට තිබෙන පදනම. ඒ නිසා මේක අතිශය වැදගත් උතුම් කාරණයක් විදිහට සළකල පිළිගන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ගුණ දකිනා සිත සතුටින් පිබිදෙයි

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ර්ම මාරගය පැමිණුනොත් තමයි ඒ මාර්ගය දියුණුකරගෙන යන්ට තියෙන්නෙ. ධර්ම මාර්ගයට අපිට පැමිණෙන්ට බැරිවයනව හිත අපිරිසිඳූ වුනොත්, හිතේ කෙලෙසීම බලවත්නම් ධර්ම මාර්ගයට එන්ට බෑ. ඉතින් ඒ විදිහට හිත කෙලෙසෙන්ට බලපාන බලවත් දෙයක් තමයි අගුණ කල්පනා කිරීම, අගුණ ගැන කතා කිරීම. අන් අයගේ අගුණ කල්පනා කිරීම, අන් අයගේ අගුණ කතා කිරීමෙන් හිත බලවත් විදිහට කෙලෙසෙනව. ඒ විදිහට හිත කෙලෙසුනොත් එහෙම අපිට ධර්ම මාර්ගයට එන්ට බැරිවයනව. ධර්මයට එන්ට බැරිවගියොත් මේ ලැබිච්ච ලාභය අපිට අහිමිවෙන්ට වැඩි කලක් යන්නෙ  දියුණුකරගන්ටනම්, අපි ධර්ම මාර්ගයට පැමිණෙන්ට ඕනැ. 

ධර්ම මාර්ගයට ඒ නිසා ඒ ගුණ කල්පනා කිරීම හොඳින් පුරුදුකරගන්න. අපිට ඇත්තට ම බැරිවෙන්නෙත් මේකමයි. ගුණ කල්පනාකිරීම කරන්ට බැරිවෙන්නෙ ඇයි? අපි ගුණ කල්පනා කරන්ට පුරුදුවුනොත් සසර ගමන බිෙඳන්ට ඒක හේතුවෙනව. සසර ගමනින් නිදහස්වීමනෙ අමාරු දේ. එහෙනම් ඒ ගුණ කල්පනා කිරීම අමාරු දෙයක්. එහෙනම් ඒ අමාරු දේ කරන්ට පුරුදුවෙන්න. ගොඩක් අයගේ මහා ගුණ කන්දක් තිබෙනව. ඒ ගුණ කන්ද තිබෙද්දී ම අපිට ඒක සිහිවෙන්නෙ නෑ. අපි නැති ගුණයක් හොයනව. අහවල් දේ නෑ. තියෙන එක කල්පනා කරන්ට හිතෙන්නෙ නෑ. "


මේව තියෙනව තමයි නමුත් මේක කෝ?" කියල නැති එක හොයනව. අපි තියෙන්නා වූ යම් ගුණයක් තියෙනවනම් ඒක කල්පනා කලයුතුයි. කිසිම ගුණයක් නැත්නම් අපි මොකද කරන්නෙ? අනුකම්පාව උපදවගන්ට ඕනැ. එතකොට අපේ හිත කෙලෙසෙන්නෙ නෑ. ඒ වගේම මතක තියාගන්ට, පිරිස අතර හෝ ආයතනයේ හෝ සිදුවුණ යම් අහිතවත්, අමනාපකම් හටගැනීම පිණිස සිදුවූ යම් සිද්ධි තියෙනවනම්, අපහසුතා ඇතිවීම පිණිස ඇතිවුන යම් සිද්ධි තියෙනව නම්, ඒවා දිගින් දිගට කතාකරන්ට යන්ට එපා. අතීත සිද්ධි තියෙනව නම්, ඒවා කතාකරන්ට යන්ට එපා. සමහරවිට කෙනෙකුට මතක්වෙන්ට පුළුවන්, නමුත් ඒව කතාකරන්ට එපා. 

ඒවා කතාකිරීම හරියට පරණ වැසිකිළි වලක් අදින්න වගේ. ඒ නිසා ඒ අහිතවත් බව පිණිස පවතින පරණ සිද්ධි කිසිදෙයක් කතාකරන්ට එපා. ඒව එහෙම්ම අමතකකරල දාන්ට. මතකෙට ආවොත් එහෙම ඒක අතහැරල දාන්ට. ඒක යහපත පිණිස පවතින්නෙ නෑ. ඒ වගේ දේ කතාකරනට එපා. ඊළඟ දේ තමයි තව කෙනෙක්ගෙ යහපත්බව ප්‍රකට කිරීම පිණිස, එහෙනම් නැත්නම් තව කෙනෙක් හොඳයි කියල පෙන්වාදීම පිණිස වෙනත් කෙනෙකුගෙ අඩුපාඩු පෙන්වන්ට එපා. අම්ම හොඳයි කියන්ට තාත්තගෙ අඩුපාඩු පෙන්වන්ට එපා. අම්ම හොඳයි නම් කෙහොමද කියන්ට ඕනැ. 

දැන් සාමාන්‍යය ලෝකෙ ස්වභාවයක් අම්මගෙ හොඳ පෙන්වන්න තාත්තගෙ අඩුපාඩු පෙන්වනව. ඒක ක්‍රමයක්. ඒක තමයි ප්‍රචලිතව තියෙන ක්‍රමය. ඒක දේශපාලනයෙ තියෙන එකක්. අපේ පක්ෂය හොඳයි කියන්න දේෂපාලකයන් ගන්න ප්‍රධානම ක්‍රමවේදය මොකක්ද? අනිත් සියලු පක්ෂවල කිසිම හොඳ ක් කියන්නෙ නෑ. ඒක දේෂපාලනයෙ තියෙන එකක්. ඒ ක්‍රමයට අපි කටයුතු නොකල යුතුයි. එහෙම කළොත් මොකද වෙන්නෙ? කුසල් වැඩෙන්නෙ නෑ. ඒක මේ වගේ. අපි හිතමු යම් කෙනෙකුට සුවඳ විලවුන් විකුණන්ට ඕනැ. එයා එක අතකින් සුවඳ විලවුන් ගන්නව. අනිත් අතින් අසූචි කෑල්ලක් ගන්නව. අරගෙන කියනව මේ බලන්න මේක අසූචි, මේ ගඳයි කියල, ඊට පස්සෙ සුවඳ විලවුන් ගැන කියනව. 

ජනප්‍රිය වෙයිද එයා? එතෙන්ට එකතුවෙයිද කට්ටිය? සුවඳ විලවුන් අලෙවිකරගන්ට ඕනැනම් එයා මොකද කරන්ට තියෙන්නෙ? සුවඳ විලවුන් ටික පෙන්නුව නම් හරි. පැහැදිලිද? එහෙනම් සුවඳ විලවුන් කෙරෙහි හිත පහදවන්න නම් සුවඳ විලවුන් ටික පමණක් ප්‍රදර්ශනය කරන්ට. ඒක පමණක් පෙන්වන්ට ඕනැ. ඒ නිසා හොඳ ට මතකතියාගන්ට යහපත් දේ සමාදන් කිරීමේදී යහපත් දේ පමණක් පෙන්වන්ට. තව අයපත් දෙයක් එක්ක සසඳ සසඳා පෙන්වීම හැමෝටම කරන්ට බෑ. එහෙම ක්‍රමයකුත් තියෙනව. 

දැන් බුදුරජාණන් වහන්සේ සමහර තැන් වලදි ඒක සසඳල පෙන්වන අවස්ථා තියෙනව. හොඳම දේ තමයි වටිනා දෙයක් ඉස්මතු කරද් දී එය ම ඉස්මතු කිරීම. ගුණයම ඉස්මතු කරල පෙන්වීම. එතකොට හිත පහදිනව, පහන්වෙනව. ඒ නිසා මේ අය කවදාවත් අඩුපාඩු හිතමින් ඉන්ට, අඩුපාඩු කතාකරමින් ඉන්ට පුරුදුවෙන්ට එපා. ඒක කාටත් අහිත පිණිස පවතින දෙයක්ම යි. 

හොඳට බලන්න අඩුපාඩු ගැන හිත හිතා හිටපු වෙලාවකදි හිත අපහසුවට පත්වුනාද? නැද්ද? අඩුපාඩු ගැන කතාකරන්ට ගියා ම හිත අපහසුවෙලා අහිතවත්කම් අමනාපකම් හටගත්තද නැද්ද? ඒක හොඳට බලන්න. හොඳට බලල ඒකම පාඩමක් කරගන්න. ඒක පාඩමක් කරගත්තොත් එපමණකින්ම එයාට ඒ දුර්වලතාවයෙන් නිදහස්වෙන්ට පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන්න

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


හැකි සෑම වෙලාවකදි ම පින් සිතුවිළි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. නරක සිතුවිලි වලට ඉඩදෙන්න එපා.


ඊරිසියාව, කුහකකම, එකට එක කරන ගතිය, රාග සිතුවිලි, තරහ සිතුවිලි, ඇද කුද හොයන ගති. සිතේ සිතුවිලි විදිහටයි මේව එන්නෙ. තමන් හුවාදක්වන ස්වභාවය, අනුන් හෙලාදක්වන ස්වභාවය සිතේ සිතුවිලි ස්වභාවයට තමයි මේව එන්නෙ.


ඉතින් ඒව අකුසල සිතුවිලි කියල හඳූනගෙන, අන්න ඒවට ඉඩදෙන්ට එපා. ඒවට ඉඩ නොදී අපි ඒ වෙනුවට මෙත් සිත පවත්වන්න, කරුණාව පවත්වන්න, මුදිතාව පවත්වන්න, උපේක්ෂාව උපදවාගන්න, එකිනෙකාට උපකාර කිරීමේ කැමැත්ත උපදවාගන්න, ඒ විදිහේ පින් සිතුවිලි උපදවා ගන්න උත්සාහ කළ යුතුයි.

පින් සිතුවිලිවලින් යුක්ත ව වාසය කරනකොට අපිට නිතර ම පින් රැස්වෙනව. හැම වෙලාවෙ ම පින් රැස්වෙනව. ඊළඟට සමඟියෙන් යුක්තව කටයුතු කරන්න කැමතිවෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා "පිරිසක් සමඟ සමඟියෙන් වාසය කරන්න". අන්න එහෙම කැමතිවීමෙන් ම එයාට පින් රැස්වෙනව කියල, සමඟියට කැමතියි නම්, සමඟියෙන් වාසය කරනවා නම්, ඒ අය මුදිතා චේතෝ විමුක්තියෙන් වාසය කරන්නෙ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. 

ඉතින් මුදිතා චේතෝ විමුක්තියෙන් යුක්තව වාසය කරනකොට, ඒ අයගෙ ජීවිතයට බොහෝ පින් රැස්වෙනව කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව.


ඒ විදිහට වාසය කරනකොට එයාගේ සිතේ ප්‍රමුදිත බව ඇතිවෙනව. තවදුරටත් ඒ විදිහට වාසය කරනකොට එයාට ප්‍රීතිය ඇතිවෙනව. ප්‍රීති සිතින් යුක්තව වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඇතිවෙනව. එයා සැපසේ වාසය කරන කෙනෙක් බවට පත්වෙනව. එසේ සැපසේ වාසය කරන කෙනාගේ සිතේ සමාධිය උපදිනව. සමාධියක් සහිතව වාසය කරන කෙනෙකුට යම් කලකදී පරිපූර්ණ සැප අත්කරගැනීමේ භාග්‍ය උදාවෙනව.


මහත් සැප අත් කරගන්න මූලිකවුණේ මොකක්ද? පින් උපදවා ගැනීම. පින් උපදවා ගැනීමෙන් තමයි මෙලොව සැප, පරලොව සැප, සියලු දුක් දුරුවී ගිය ඒ නිවන් සැප මේ සියලු සැප උදාවෙන්නෙ.

ඒ නිසා සැපට කැමති අය විදිහට පින් රැස්කරගන්න කැමතිවෙන්න. පින් රැස්වෙන්නෙ, පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන කෙනාට යි, යහපත් සිතුවිලි උපදවාගෙන වාසයකරන කෙනාටයි. නරක සිතුවිලි උපදවාගෙන මොන දේ කළත් අපිට ඒකෙන් බලවත් පින් රැස්වීමක් වෙන්නෙ නෑ. එයාට පව් තමා රැස්වෙන්නෙ. අකුසල් රැස්වෙන්නෙ. එයාට දුක් විපාක විඳින්ට සිද්ධවෙනව. ඒ නිසා අපි කවුරුත් දුකට අකමැති වෙන්ට ඕනැ. සැපට කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට දුකට අකමැති වෙලා, සැපට කැමති වෙන කෙනෙක් විදිහට හොඳ සිතුවිලි උපදවාගෙන වාසය කරන්න.


ඉතින් මේ විදිහට කිවුවහ ම හිතෙන්න පුළුවන්, ඉතින් අපිට මේ රාගික සිතුවිලි එනවනෙ. තරහ සිතුවිලි එනවනෙ. ඊරිසියාව එනවනෙ. මොකද කරන්නෙ කියල. ඒ සිතුවිලි වලට අකමැති සිත උපදවාගෙන වාසය කරන්න. ඒක කුසල් සිතක්. ඒක පින් සිතක්. දැන් රාගය තියෙන කෙනාට රාගික සිතුවිලි එනව. එතකොට ඒ රාග සහිත සිතින් වාසය කළොත්, එයාට පින් රැස්වෙනවද? නෑ.


එයා මොනදේ කළත් එයාට මහත්ඵල පින් රැස්වෙන්නෙ නෑ. අර රාග සහිත සිතට යටවෙලා ම වාසය කළොත් පව් රැස්වෙනව. අකුසල් රැස්වෙන්නෙ. පිනක් රැස්වුණත් ඒ පින මහත්ඵල වෙන්නෙ නෑ, රාගයෙන් යටවෙලා නම්. එහෙනම් අපි කොහොමද රාග සිත තියෙද්දි වුණත් පින් සිත උපදවා ගන්නෙ. ඒ රාග සිතට අකමැති සිතක් උපදවාගන්ට ඕනැ. අකුසල් සිතුවිලි එනකෙනා ඒ අකුසල් වලට අකමැති සිත උපදවා ගත්තොත්, ඒ අකුසල් ප්‍රහාණය කරන්න කැමැත්ත උපදවාගත්තොත්, අන්න එයා තුළ කුසල් සහගත සිතුවිලි පින් සිතුවිලි ඉපදිලා. එයා වාසය කරන්නෙ පින් සිතින්.


එතකොට එයා කරන කියන දේ මහත්ඵල පින් රැස්වෙන්න හේතුවෙනව. එනිසා දැන් කෙළෙස් සහිත කෙනාට, කෙළෙස් සහිත සිතුවිලි එනව. රාගය සහිත කෙනාට, රාගය සිහිත සිතුවිලි එනව. ඒක ස්වභාවයක්. අපි ඒ අකුසල් තිබෙද්දී වුණත්, කුසල පැත්තට හිත නවාගන්නෙ කොහොමද? ඒ අකුසලයට අකමැති සිත උපදවා ගැනීමෙන්. ඒ අකුසල් දුරුකරන්න කැමැත්ත උපදවාගැනීමෙන්. ඒ ඉපදෙන පින් සිත බලවත් එකක්, අතිශයින් බලවත් පින් සිතක්.


එනිසා අකුසල් දුරුකිරීමට කැමති සිත් උපදවාගන්න. නිතර සිහිකරන්න, "මගේ සිත බොහෝ කලක් තිස්සේ මේ රාග, ද්වේෂ, මෝහ වලින් කිළිටි වෙලා තියෙන සිතක්. මේ රාග, ද්වේෂ, මෝහ නිසා සිත කිළිටිවෙනව, දුක් උපදිනව. ඒ නිසා මම රාග, ද්වේෂ, මෝහ දුරුකරපු සිතින් වාසය කරන්ට ඕනෑ" කියන මේ සිත උපදවාගන්න. අන්න ඒ සිත බලවත්ව පුරුදුකරගන්න කෙනාට බලවත් සැප උපදවාගන්ට පුළුවන් පින් රැස්වෙනව. එනිසා දැන් දැන් ඉඳල ම සිහිකරන්න පුරුදුවෙන්න, සිත හොඳින් පිහිටුවාගන්ට, කෙලෙස් දුරුකරන්ට කැමති සිතක් උපදවගන්ට. 

අපි මේ සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි සැප අතර අග්‍ර වූ සැප උපදවාගැනීමට සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

අනාගතය සැපවත් කරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, අපි කව්රුත් ආයුෂයට කැමතියි. ඒ කියන්නෙ බොහෝ කලක් ජීවත්වෙන්ට කැමතියි. ඒ වගේම ලස්සන ශරීරයක් ලබන්ට කැමතියි. ඒ කියන්නෙ වර්ණයට කැමතියි. සැපයට කැමතියි, බලයට කැමතියි. නමුත්, අපි මේවට කැමති වුනාට, කැමති වූ පමණින්ම, මේ දේවල් ලැබෙන අකාරය, ලබාගන්න ආකාරය දන්නෙ නැත්නම්, මෙවැනි සැපක් ලබාගන්ට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.


දවසක් භාග්‍යවතුන් වහන්සේ සුප්පාවාසා කියන උපාසිකාවගේ නිවසට වැඩමකරල, දන්පැන් වළඳළ, ඒ උපාසිකාවට මේ විදිහට කියා දෙනව, "පින්වත් සුප්පාවාසා, ඔබ දානය පූජාකරනකොට එමඟින් ආයුෂය පූජාකළා. ඒ වගේම වර්ණය ලබාදුන්නා. සැපය ලබාදුන්නා. බලය ලබාදුන්නා. ඔබ යමක්ද ලබාදුන්නේ, ආන්න ඒ දේ ඔබට අපස්සට ලබාගන්ට පුළුවන්කම තිබෙනව. ලැබෙනව." මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. 


බලන්න එතකොට හොඳට කල්පනා කරල, අපි හිතන්නෙ යමෙකුට දන්පැන් දෙනකොට, අපි බත් වෑංජන පූජා කළා කියල. නමුත් ඇත්තෙන්ම කල්පනා කරල බලන්න, අපි යමෙකුට දන්පැන් පූජාකරනකොට අපි විසින් මොනවද දෙන්නෙ කියල.


අපි යමෙකුට දන්පැන් දෙනකොට ඇත්තෙන්ම අපි එයාට ආයුෂය දුන්නා වෙනව, ඒ වගේම තමයි වර්ණය දුන්නා වෙනව, ඒ වගේම තමයි සැපය දුන්නා වෙනව. ඒ වගේම තමයි බලය දුන්නා වෙනව. ඒ කියන්නෙ අපි යමෙකුට ආහාර දෙනවානම්, කන බොන දේවල් දෙනවානම්, එමඟින් අපි එයාට ආයුෂ, වර්ණ, සැප බල කියන මේ හතර ආකාරයක දේවල් පරිත්‍යග කළා, ලබාදුන්නා, වෙනව.


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, යම් කෙනෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව, දන් පැන් පිළියෙල කරල, ඒ දන්පැන් සිල්වතුන්ට පූජාකරනවා නම්, ඒ ලබාදුන්න දේ එයාට ඊළඟ ජීවිතයේදී ඒ ආකාරයෙන් ලැබෙනවා කියල. 


යමෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විදිහට පින් දහම් කර ගත්තහම, එයා කය බිඳිල මළාට පස්සෙ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත්, එයාට සැපවත් ජීවිතයක් ලැබෙනව. එතකොට එයාට ආයුෂය ලැබෙනව, වර්ණය ලැබෙනව, සැපය ලැබෙනව, බලය ලැබෙනව. 


ඒ වගේම තමයි කය බිඳිල මළාට පස්සෙ එයා දිව්‍ය ලෝකයක ඉපදුනොත්, ඒ ජීවිතයේදීත් එයාට ඒ දිව්‍ය ආයුෂය ලැබෙනව, දිව්‍ය වර්ණය, ලැබෙනව, දිව්‍ය සැපය ලැබෙනව, දිව්‍ය බලය ලැබෙනව, මේ විදිහට අයුෂ, වර්ණ, සැප, බල කියන දේවල් ලැබෙන්නේ, එයා දන් පැන් දුන්න එකේ විපාකයක් විදිහටයි.

යමෙක් දන් පැන් දුන්නොත්, ඒකට විපාකයක් විදිහට තමන් දුන්න දේවල් එයාට ලැබෙනව.

එනිසා අපි කවුරුත් අයුෂයට කැමතියි නම්, වර්ණයට කැමතියි නම්, සැපයට කැමතියි නම්, බලයට කැමතියි නම්, අන්න ඒවා ලබාගන්න විදිහ, ඉපදෙන විදිහ ගැන ඉගෙන ගන්ට ඕනැ. ඒව ඉගෙනගෙන අපි ජීවිතයට පුරුදුකරගන්නට ඕනැ. 


එනිසා ඒ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වාදී තියෙන විදිහට, දන් පැන් දෙන්ට අපි කව්රුත් පුරුදුවෙන්ට ඕනැ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව දන් පැන් දෙනවා නම්, අන්න ඒ විදිහට දන් පැන් දෙන කෙනාට බොහෝ පින් රැස්වෙනව. ඒ පිනෙන් එයා කය බිඳී මළාට පස්සේ සැපවත් වූ ජීවිතයක, සැපවත් වූ ලෝකයක එයාට උපදින්න පුළුවන්කම ලැබෙනව. සැපවත් වූ ලෝකයක ඉපදුන කෙනාට එයා දුන්න දේ එයාට ලැබෙනව.


එනිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්තොත්, ඒ ධර්මයට අනුව මේ ජීවිතය සැපවත් කර ගන්නටත්, මතු ජීවිතය සැපවත් කරගන්ටත්, අපිට පුළුවන්කම ලැබෙනව.

මේ විදිහට ධර්මය නොදන්නවා නම්, ධර්මයෙන් තොරව අපි කටයුතු කරනවා නම්, අපි සැප කැමතිව වෙනත් ධර්මානුකූල නොවන දේවල් කරනවා නම්, අපි හිතන සැපය, ප්‍රාර්ථනා කරන සැපය, එමඟින් ලබාගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. 


නමුත්, යම් කෙනෙක් ධර්මය ඉගෙනගෙන, ධර්මයට අනුව කටයුතු කරනවා නම්, එයාට ඒ සැප ප්‍රාර්ථනා කරන්ට අවශ්‍යවන්නේ නෑ. ප්‍රාර්ථනා නොකළත් ධර්මානුකූලව කටයුතු කරන කෙනාට සැප ලැබෙනව. ඒක ධර්මතාවයක්. 


නමුත් ප්‍රාර්ථනා කළත් එයා ධර්මානුකූලව කටයුතු කරන් නැත්නම්, එයාට සැප ලැබෙන්නේ නෑ. ඒකත් ධර්මතාවයක්.


ඒ නිසා මේ ජීවිතයේ ඉතාම සැප සේ වාසය කරන්ට කැමතිකෙනාත්, මතු ජීවිතයේ සැපසේ වාසය කරන්න කැමතිකෙනාත්, ධර්මය ඉගෙනගෙන ධර්මයට අනුවම කටයුතු කරන්ට කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට ධර්මානුකූලව ජීවත්වනකෙනාට සැප සහිත ජීවිතයක් උපදවගන්ට පුළුවන්කම ලැබෙනව.

සියලු දෙනාටම ධර්මානුකූලව ජීවත්වෙමින් සැපවත් ජීවිතයක් ගතකරන්ට වාසනාව උදාවේවා!

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

අටලෝ දහමට කම්පා නොවෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



තමන් ධර්මය තුළ පිහිටමින් අටලෝ දහමට කම්පා නොවෙන හිතක් හදාගැනීමට මහන්සිවෙන්න ඕනැ. අටලෝ දහම ඉදිරියේ ඉතා ම දුක සේ දුක් සහිතව වාසයකිරීමක් තමයි අපිට තිබුනේ. ඒ නිසා ඒවායින් නිදහස්වෙලා සුවපහසු හිතක් හදාගන්න කල්පනාකරන්න. 


ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකට කැමතියි ඒකට හිත යට වෙනවා. ඒ වගේ වෙලාවට සිහිකරන්න, "මේ ප්‍රශංසාවෙන් මට දුකෙන් නිදහස්වෙන්ට බෑ නේද කියල, වයසට යන ජීවිතයට ප්‍රශංසා ලැබිල, ප්‍රශංසාවෙන් ඒ වයසට යෑමෙන් නිදහස්වෙන්ට බෑ නේද" කියල හිතන්න. "වයසට යන ජීවිතයකට මොන ප්‍රශංසාවක්ද, කියල කල්පනා කරන්න. ලෙඩ වෙලා දුකට පත්වෙන ජීවිතයකයට මොන ප්‍රශංසාවක්ද? කියල සිහිකරන්ට. "මරණයට පත්වෙන ජීවිතයට මොන ප්‍රශංසාවක්ද" කියල සිහිකරන්න. 


ප්‍රශංසාව ලැබෙනකොට, ඒ ප්‍රශංසාව නිසා අපි දුකෙන් නිදහස්වෙනවනම් ඒ ප්‍රශංසාව වටින එකක්. නමුත් ජාති, ජරා, මරණ දුකෙන් නිදහස්වෙන්ට අපිට ඒ ප්‍රශංසාවෙන් උපකාර නොවෙනවානම්, ඒ ප්‍රශංසාව අපිට වටිනා දෙයක් නෙවෙයි, නොවටිනා දෙයක්. අන්න ඒ විදිහට ඒ ලාභ, ප්‍රශංසා ආදී දේ ගැන සිහිකරන්න. ඒවට යටවෙන්ට එපා, ඒව පතන්න එපා. ඒව පැතුව කියල අපිට ඒව නිසා දුකින් නිදහස්වෙන්ට ලැබෙන්නෙ නෑ. ආයෙ ආයෙ දුකට යනව. 


එතකොට නින්දාවක් ලැබෙනකොට, දුක්පීඩා ලැබෙනකොට, අලාභ ලැබෙනකොට ඒ ලෝකයේ ස්වභාවය කියල තේරුම්ගන්ට. මෙවැනි ලෝකයකින් නිදහස්වීම මයි වටින්නේ කියල තේරුම්ගන්න. එතකොට අපිට හිත අකුසලයට වැටෙන්ට නොදී ආරක්ෂාකරගන්ට පුළුවන්කම තිබෙනව.


ඒ විදිහට ඒ ධර්මයන් හොඳින් පුරුදු කරගත්තොත් ඔබ කාටත් මේ ජීවිතය වාසනාවන්ත දෙයක් බවට පත්කරගන්ට පුළුවන්. 


ඉතින් ගෙවල්වල වාසය කරන අතර ම, එදිනෙදා කටයුතුකරන අතර ම ඔබට මූණදෙන්ට වෙන්නේ, ලෝක ධර්මවලට තමයි. එතකොට තේරුම්ගන්න, මේක තමයි භාග්‍යවතුන් වහන්සේ කියාදුන්නේ කියල. එතකොට යම් කෙනෙකුට තමන්ගේ නිවසේ වේවා, ඒ රාජකාරි කරන තැනක වේවා ඒ ලෝක ධර්මයන් හටගන්නකොට තේරෙනවනම් මේ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ නේද සිද්ධවෙන්නෙ කියල, එයා ඒ වෙලාවේ සිහිකරන්නෙ කා ගැනද? අන්න එයා භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිකරනව. එයා බුදුරජාණන් වහන්සේව සිහිකරන කෙනෙක්. බලන්න ධර්මය පිළිගත්ත කෙනාගේ ස්වභාවය. ධර්මය පිළිගත්ත කෙනා ධර්මය කරාම යන්නෙ අන්න ඒ විදිහටයි.


ඒ ධර්මය තමන්ගෙ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා තේරෙනකොට එයාට සිහිවෙන්නේ භාග්‍යවතුන් වහන්සේවයි.


එයා කල්පනාකරනව භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම ඇත්තක් තමයි කියාදුන්නෙ. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සත්‍යය දෙයක් තමයි ප්‍රකාශකලේ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සිදුවෙන දෙයක්ම යි ප්‍රකාශකලේ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම මා කෙරේ අනුකම්පාවෙන්, මට යහපතක්මයි කියාදුන්නේ" කියල. අන්න ඒ විදිහට ධර්මය තේරුම්අරගෙන, ධර්මයට අනුව වාසයකරන කෙනා මේ විදිහට සිහිකරනවා. එයාට ධර්මය තේරෙනව එතකොට. 

තමන් ධර්මය පිළිගත්ත නම්, ඒ ධර්මයට අනුව කටයුතු කරන්ට කල්පනාකරන කෙනාට, තමාගේ ජීවිතයට ඒ ඒ දේ ඒ ඒ වෙලාවෙදි උද්ගත වෙනකොට, ධර්මයට අනුව සිහිවෙනව, මේ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ නේද සිද්ධවෙන්නෙ කියල. අන්න එයා තෙරුවන් කෙරෙහි පැහැදීම බලවත්කරගෙන ධර්මයකරා ම යන කෙනෙක් බවට පත්වෙනව.


ඒ නිසා මේ පින්වතුන්ට නිවසේ ඉඳගෙන ම ධර්මය පුරුදුකරන්ට පුළුවන්දෙයක් කියල තේරුම් අරගෙන, තම තමාගේ නිවසේ වාසය කරන අතරම, ඒ රාජකාරි ආදී දේ කරන අතර ම, මේ ධර්මය පුරුදුකරන්ට පටන්ගන්න. එතකොට මේ අයට කලක් යද්දී ඉතා ම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුළුවන්කමක් තියෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ඉවසීමෙන් පුරුදුකරගත යුතු භාවනා

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, කරන භාවනා මනසිකාරය වේගයෙන් වේගයෙන් පවත්වන්ට එපා. ගොඩාක් හිමිහිට පවත්වන්නත් එපා. යම් රිද්මයකට පවත්වගන්න. එතකොට ඒ ඔස්සේ තමයි හිත පුරුදුවෙන්නෙ. 


යම් කෙනෙක් වේගයෙන් වචන පාවිච්චිකරනව නම්, ඒ හිත පුරුදුවෙනකොට එයාට යම් අපහසුකම් ඇතිවෙන්ට පුළුවන්. ඒ නිසා සාමාන්‍ය වේගයකින් පුරුදුකරන්න. ඒ වගේ තමන්ට හුරු පුරුදු වේගයකින් රිද්මයකින් පුරුදුකරගන්ට.


සමහර අය කාලය ගැන කල්පනා කරල වේගයෙන් හිතනව. සමහර අය "වෙන හිතුවිලි වලට ඉඩදෙන්ට හොඳ නෑ" කියල හිතල වේගයෙන් හිතනව. සමහර අය, "මම මේක ඉක්මනින් පුරුදුකරන්ට ඕනැ" කියල හිතල වේගයෙන් කරනව. සමහර අය විවිධ කරුණු නිසා, "හිතට බලපෑම් කරන්ට ඕනෑ" කියල හිතල, වේගයෙන් පුරුදුකරනව. අන්න ඒක හොඳ නෑ. ඒක හිත දුබලවෙන්ට දුර්වලවෙන්ට හේතුවෙන්ට පුළුවන්.


අපි ආරම්භයේදී මේ පුරුදුකරගන්න දේ ඉතා පරිස්සමින් පුරුදුකරගත්තොත් මේ හිත බලවත් දෙයක් බවට පත්කරගන්ට පුළුවන්. හිත දුබල වුනොත් ආරම්භයේදී ම බලවතෙක්වෙන්ට බෑ. ඒ නිසා බණ භවනා කරනකොට පිළිවෙලකට, ක්‍රමානුකූලව පුරුදුවෙන්ට ඕනැ. 


අපිට අනාගතේදී අවස්ථාවක් තියෙන්ට පුළුවන් බණ භවනා දියුණුකරගන්ට නේද? එහෙම අවස්ථාවක් තිබුණොත් එම අවස්ථාව අහිමිවෙනව ආරම්භය දුර්වල වුනොත්. මොකද අපි ධර්මය ඉගෙනගෙන ටික ටික මේ බණ භවනා පුරුදුවෙන්ට ඕනැ. එතකොට අපිට අවුරුදු ගණනාවකින් හරි බණ භවනාවක් කරගන්ට පුළුවන් කෙනෙක් බවට පත්වීමේ හැකියාව තියෙනව.


සමහර අය කල්පනාකරනව, "මම දවසෙන් දෙකෙන් මේක පුරුදුකරගන්ට ඕනැ" කියල හිතල ඉක්මන්වෙනව. අන්න එයා තමයි, අර විදිහට කළබල කරගෙන නැති ගැටලු හදාගන්නේ. එතකොට හිත පුරුදුකරගන්ට බෑ එතකොට ගැටළු ඇතිවෙනව. ඊට පස්සෙ එයාට බණ භවනාවක් කරන්ටතියා ධර්මය අහන්ටවත් බැරිව යනව. ඊට පස්සෙ එයාගෙ හිත සුවපහසුවෙන් නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා බණ භවනා පුරුදුකරනකොට, ටික ටික පරිස්සමින් පුරුදුකරගන්න, කලබල නොවී. එතකොට අපිට හුරුපුරුදු දෙයක් බවට පත්වෙනව.


විශේෂයෙන්ම හදිස්සිවීම ඉතා ම අනතුරුදායකයි. බණ භවනා කිරීමට විතරක් නෙවෙයි, කොයි දේටත් හදිසිවීම හොඳ නෑ. ඒ නිසා බණ භවනා පුරුදුවීමෙදී කළබලය කියන එක අතහරින්න. කළබලනොවී බොහෝම පරිස්සමින්, ඉතාම සිහිකල්පනාවෙන්, ඉවසීමෙන්, ප්‍රවේශමෙන් පුරුදුකරගන්ට ඕනැ. පුංචි දරුවෙක් හදන්න වගේ. 


කිරි දරුවෙක් හදාගන්නවා වගේ තමයි හිත හදාගන්න ඕනැ. කිරි දරුවා පුංචි කාලෙ පුලුන් කොට්ටෙ තියල නේද අල්ලන්නෙ. අතින් අල්ලන්නෙත් නෑ. මොකද එච්චර සියුම්. ඉතින් ඒ ළමය ලොකු මහත් කරගන්ට ඕනෑ කියල අපේ හදිස්සියට සිද්ධවෙනවද? පොඩි ළමයෙක් ඉපදෙනව, අපිට හිතෙනව, "මම මේ ළමය ඉක්මණින් ලොකුකරගන්ට ඕනැ" කියල, ආස හිතෙනව. හිතෙනව නේද අම්මලට? ඒ ස්වභාවයක්. එහෙම හිතුන කියල කරන්ට බෑ. එයාට කලයුතු දේ තියෙනව. කරන්ට තියෙන්නේ ආරක්ෂා කරගන්ට ඕනැ. පෝෂණය කරන්ට ඕනැ, එච්චරයි. ඊට වඩා දෙයක් එයාට කරන්ට බෑ. සිදුවෙන වේගයෙන් වැඩෙනව. එයාට කරන්ට තියෙන්නෙ ආරක්ෂාකිරීමත්, පෝෂණයකිරීමත්. 


පැතුවට කමක් නෑ ඊට වඩා දෙයක් කරන්ට ගියොත් වෙන්නෙ තමාට ඒ දේ අහිමිවෙලායනව. දැන් ඉක්මණින් මහත් කරගන්ට කියල වැඩිපුර කෑම දුන්නොත් මොකද වෙන්නෙ. අදාල නැති කෑම දුන්නොත් හානි වෙනව නේද? හානිවෙනව. එනිසා අපි ආරක්ෂා කරගන්ට ඕනැ, සුදුසු විදිහට පෝෂණය කරන්ට ඕනැ. අන්න ඒ වගේ තමයි හිතත්. හිත දියුණු කරනකොට හිත ආරක්ෂා කරගන්ට ඕනැ. සුදුසු විදිහට පෝෂණය කරන්ට ඕනැ. එතකොට ඒ හිතේ ස්වභාවයට අනුව වැඩෙන්ට පටන්ගන්නව. 


අපිට ඕනැ විදිහට හිත වඩන්ට බෑ. අපි විසින් කලයුත්තේ හිත ආරක්ෂා කරගැනීමත් පෝෂණය කිරීමත්. අන්න ඒ කාරණා මතක තියාගන්ට. හොඳයි එහෙනම් අපි කාටත් සෙත්පතනව, වාසනාවන්ත ජීවිතයක් උපදවගන්ට භාග්‍යය ලැබේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ඉවසීම පුරුදුකරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට කියාදෙනව, අව්ව වැස්ස ඉවසන්ට කියල, සීතල ඉවසන්ට කියල, උණුසුම ඉවසන්නට කියල, මැසි මදුරු උවදුරු ඉවසන්ට කියල, කනට ඇහෙන අමිහිරි වචන ඉවසන්ට කියනව, බඩගින්න පිපාසය ඉවසන්ට කියනව. 


ඒව ඉවසුවේ නැත්නම් නොඉවසා හිටියොත් එහෙම දුක් පීඩා ඇතිකරන ආශ්‍රව හටගන්නව.

දැන් බලන්න ඔන්න වහිනකොට, අයියෝ වහිනව මොන කරදරයක්ද කියල කල්පනා කරනව. එතකොට හිතේ අකමැත්ත නේද උපදින්නෙ? ගැටීම නේද? වැස්ස ඇවිල්ල පායාවි, ඒක ස්වභාවයක්. අපි ඒ ස්වභාවය ගැන නොතකා අපි හිතේ අකුසලයක් උපද්දගෙන.


ඉවසනව කියල කියන්නේ, ඒ අකුසලයට ඉපදෙන්ටනොදී ඉඳීම. වැස්සේ තෙමෙන එක නෙවෙයි. නැත්නම් මේ ගොල්ලො අද ඉඳල, "වැස්ස අපිට ඉවසන්ටයි තියෙන්නෙ. එහෙනම් අපි තෙමෙමු" කියල තෙමෙයි.

අම්මලා කියයි, "ළමයිනේ බඩගින්න ඉවසන්නයි කියල තියෙන්නෙ, මම උයන්නෙ නෑ. ඔය ගොල්ලො ඉවසන්න" කියල. ඒක නෙවෙයි මේ. ඒක මොකක්ද? එහෙම කරන ලෝකයක් තියෙනව නේද? තියෙනවද? නැද්ද? ඒක නිසයි මේ කියන්නෙ ඒක නෙවෙයි කියල.


අපිට වරදින්ට පුළුවන් නේද? වරදින්ට පුළුවන්ද බැරිද? වරදින්ට පුළුවන් තැන මම මේ ඉස්මතු කරල පෙන්වන්නෙ. ලිස්සන තැන ලිස්සන සුළුයි කියල බෝඩ් ගහන්නෙ, අන්න ඒ වගේ. මෙතන වරදින්න පුළුවන්, වරද්දගන්න එපා. 


එහෙම අය ඉන්නව. කණපිට ඇඳගන්න අය ඉන්නව. හොඳපිට අනිත් පැත්ත දාල අනිත් පැත්ත ඇඳගෙන ඉන්න අය ඉන්නව. එතකොට බැබලෙන්නෙ නෑනෙ නේද? ඒ නිසා තේරුම්ගන්න, සාමාන්‍ය අශ්‍රැතවත් පෘතජ්ජන කෙනාගේ ස්වභාවය තමයි ඉවසන්ට ඕනැ තැන ඉවසන්නෙ නෑ. එයා ගැටීම හදාගන්නව.

අව්ව එනකොට "මොන කරදරයක් ද මේ අව්ව, රස්නෙයි" කියල එයා හිත අමනාපය හදාගන්නව, අකමැත්ත උපදවගන්නව. එතකොට එයා ම දන්නෙ නෑ ගැටීම හදාගෙන. නමුත් ඒ වෙලාවෙදි අපි ඒකට නොගැටී හිත පුරුදුකරගන්ට ඕනැ. ඉවසල ඒක මගහැරල යන්ට ඕනැ.


ඒ වගේ මැසි මදුරු උවදුරු, බඩගින්න පිපාසය, ඒ තැන්වලදී ඉවසනව කියල කියන්නේ, ඒ හිතේ එන අකුසලයට ඉඩදෙන්නෙ නැතුව ඉන්න පුරුදුවීම. බඩගින්නෙ ඉඳීම නෙවෙයි.


අපි සුදුසුවෙලාවට ඒ දේවල් කරගන්ට ඕනැ. නමුත් අපිට සමහර වෙලාවෙදි ඉවසන්ට වෙනව. ඉවසන්ට ඕනැ සිදුවීම් උපද්දවගන්ට එපා. "දැන් මම ඉවසීම පුරුදුකරගන්ට ඕනැ" කියල අව්වෙ ගිහින් තපින්ට එපා. ඉවසීම පුරදුකරගන්ට ඕනැ කියල බඩගින්නෙ ඉන්ට එපා. නමුත් බඩගින්නක් ආපුවෙලාවකදි අපි ඒකට අකමැත්ත හදාගන්න, ගැටෙන හිත හදාගන්න එපා. 


ඉවසීමෙන් ඒක බැහැරකරගන්න. අකුසලය බැහැරකරගන්න. අන්න ඒ විදිහටයි ඒ ඉවසීම ගැන අපි තේරුම්ගත යුත්තේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සැබෑම සෙනෙහස දක්වමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැඹුරු වූ සිතින් වාසයකරන්ට ඕනැ කියල කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කලා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පරම සත්‍යය අවබෝධකලා. 


උන්වහන්සේට සැඟවුණු රහසක් තිබුනෙ නෑ. මේ ලෝකයේ කිසිවෙකුට වෙනස්කරන්ට බැරි ඒ තියුණු ප්‍රඥාව උන්වහන්සේ උපදවාගත්ත. උන්වහන්සේ දෙවියන් මිනිසුන්ගේ යහපත උදෙසා සිංහ රාජයෙක් වගේ, සිංහ නාදය පැවැත්තුවා.


උන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨික කඩමාලු ඉරා දැමුවා. උන්වහන්සේ කිසිවෙකුටත් වෙනස් කරන්ට බැරි ඒ පරම සත්‍යය විවෘතකලා. උන්වහන්සේ කිසිවෙකුට බයවුනේ නෑ. උන්වහන්සේ කිසිවෙකුට අනර්ථය කලේ නෑ. උන්වහන්සේට බයක් සැකක් තිබුණෙ නෑ. උන්වහන්සේ අවබෝධ නොකල දෙයක් තිබුනෙ නෑ. 


මේ දේ අවබෝධ කලයුතුයි කියල, තව දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නෑ. උන්වහන්සේ ප්‍රකාශ නොකල දෙයක් තිබුනෙ නෑ. උන්වහන්සේ විවෘත නොකල දෙයක් තිබුනෙ නෑ. උන්වහන්සේ ඒ සියලු සැප උදෙසා, දෙවියන් මිනිසුන්ගේ යහපත උදෙසා අවබෝධ කලයුතු සැප උපදවගත හැකි සියලු දේ අපි උදෙසා කියාදුන්නා.

ඒ බුද්ධ රාජ්‍යය ආරක්ෂා කලා. බොහෝ කලක් ගෞතම බුද්ධ ශාසනය පවතින ආකාරයට ශාසනය ඉථාපිත කලා.


උන්වහන්සේගේ ශ්‍රාවකයින් ඒ ශාසනය මෙතෙක් සුරක්ෂිතව පවත්වගෙන ආව. නමුත් හීන අදහස් තියෙන යමෙක් හිටියනම් ඒ ශාසනය වැනසුවා. ඒ නිසා අපි කිසිකළෙකත් ඒ භාග්‍යවතුන් වහන්සේ අතිශය කැපකිරීමකින් ගොඩනැගූ ඒ බුද්ධ රාජ්‍යය කෙලෙසෙන දෙයක් නොකල යුතුයි. 


අපි ජීවිතය පරිත්‍යාගයෙන් ඒ සම්බුදු සසුන සුරකින්න කල්පනා කලයුතුයි. ලාමක හැඟීමකට කිසිසේත් යටවෙන්ට එපා. ඔබට තිබිය යුතුයි ඔබගේ ජීවිතය ගැනම වගකීමක්. ඔබගේ ජීවිතය දියුණුකරගන්ට තියුණු කැමැත්තක් තිබිය යුතුයි. ඔබ කෙරෙහී ම ඔබට තිබිය යුතුයි ආදරයක්. 


ලෝකයා කෙරෙහිත් ඔබට තිබිය යුතුයි අනුකම්පාවක්. දෙවියන් මිනිසුන් කෙරෙහි ඔබ තුළ සැබෑම
අනුකම්පාවක් තිබිය යුතුයි, ලාමක අනුකම්පාව කියන ඒ මිත්‍යාවට ගොදුරුවෙන්ට එපා. ලාමක මිත්‍යා සෙනෙහසට, මිත්‍යා ආදරයට රැවටෙන්ට එපා. ඔබ සැබෑම අනුකම්පාවක්, සැබෑම ආදරය හඳූනගත යුතුයි.

ඒකයි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශකලේ, "පින්වත් ආනන්ද ඔබ යම් රජෙකුට, ඇමතියෙකුට, ලේ ඥාතියෙකට ආදරෙයිනම්, කරුණාව දක්වනවා නම්, එයා අහයි කියල හිතනවා නම් කරුනු තුනක් මත සමාදන් කරවන්න" කිව්ව.


"බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවල දෙන්න කිව්ව.
ධර්ම රත්නය කෙරෙහි ප්‍රසාදය උපදවලදෙන්ට කිව්ව,
සංඝ රත්නය කෙරෙහි ප්‍රසාදය උපදවලදෙන්න කිව්ව."


අන්න ඒ විදිහට ඒ තෙරුවන් කෙරෙහි යමෙක් තුළ පැහැදීම උපදවල දුන්නනම්, අන්න එයා මේ පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතූන් වෙනස්වෙලා ගියත්, ඒ තෙරුවන් කෙරෙහි පැහැදුන කෙනා වෙනස්වෙන්නෙ නෑ කිව්ව. 


ඒ තෙරුවන් කෙරෙහි පැහැදුන කෙනා සතර අපායෙන් නිදහස් කියන දෙයින් වෙනස්වෙන්නෙ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කලා, එහෙනම් අපි යමෙකුට ආදරය කරනවනම් යමෙකුට කරුණාව දක්වනවනම් අපි විසින් කල යුතු දේ තමයි එයාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ පිහිටවීම.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

කුමක්ද අපේ වගකීම?

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔබ අපි මේවන විට පැමිණ තිබෙන්නේ අතිශයින් තීරණාත්මක වූ කාලයකට. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වසර දෙදහස් හයසීයක් සපිරෙමින් තිබෙන ඉතා ම සුන්දර වූ කාලයක් එළඹෙමින් තිබෙන අවදියක තමයි අපි වාසය කරන්නේ. 

ඒ වගේ ම අපි දීර්ඝ සාංසාරයක් ගෙවාගෙන ටික කලකට මේ ලෝකයට ඇවිල්ල තිබෙන්නෙ. එතකොට මේ තීරණාත්මක කාලයක්. මේ වෙනකොට බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙන්න ආසන්නයි. දීර්ඝ සංසාර ගමනක් ගෙවාගෙන, තාවකාලිකව මනුෂ්‍යය ලෝකයට ඇවිල්ල ඉන්නෙ. 

එතකොට ඒ දුර්ලභ අවස්ථා දෙකක් අපිට මුණගැහිල තිබෙනව. තීරණාත්මකයි නේද?
බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පවතින්නෙ නෑ ලෝකෙ. භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වසර දෙදහස් හයසීයක් ඉක්මයන්ට ඔන්න මෙන්න. අපේ ආයුෂයත් එක්ක බලපුවා ම භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහලවෙලා දීර්ඝ කාලයක් ගෙවිල අවසානයි. අපි සසර සැරිසරමින් ආපු කාලය කොතෙක්ද කියල කියන්ට බෑ. ඉතාම ටික කලකට අපි මනුෂ්‍යය ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.


ඒ පුංචි කාලෙදී, මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්ට ආසන්න කාලයක අපි මේ ලෝකයට ඇවිල්ල ඉන්නෙ. ඒකයි මේක තීරණාත්මක කාලයකට සම කලේ. 

ඒ අනාගත ලෝකය උදෙසා ඔබ විසින් ඉටු වියයුතු වගකීම ඔබ තේරුම්ගත යුතුයි. අපේ වගකීම විය යුත්තේ ලෝකයේ පරම දුර්ලභ දෙයක් තිබෙනවනම් එය සුරැකීම. අප වාසයකරන යුගයේදී යම් වටිනා දෙයක් තිබෙනව නම් එය නැසෙන්ට නොදී රැකගැනීම ඒ යුගයේ වාසයකරන නැණවතුන්ගේ වගකීම කියලයි අපි කල්පනා කරන්නෙ. 

යම් යුගයක වටිනා දෙයක් තියෙනවනම්, එය සුරැකිව තමාගේ යහපත පිණිස පරිහරණය කිරීමත්, අනාගත වර්ගයාගේ යහපත උදෙසා ඒ වටිනා දේ සුරක්ෂිතකර ගැනීමත්, ඒ යුගයේ වාසයකරන නැණවතුන්ගේ ගුණවතුන්ගේ කාරණයක්. එතකොට ඔබ හමුවේ තිබෙන වගකීමත් එයම යි. ඊට වඩා දෙයක් ඔබට පැවරෙන්නෙ නෑ. එබඳූ වගකීමකට ඔබ කැමතිද? ඔබගේ යහපත පිණිස ඔබ වාසය කරන යුගයේ තිබෙන දුර්ලභ ම දේ පරිහරණය කරන්ටත්, ඒ දුර්ලභ ම දේ අනාගත වර්ගයා උදෙසා සුරැකිව රැකගන්නත් ඔබ කැමතිද? එය වගකීමක් නේද? අපි විසින් ඉටුකලයුතු වගකීමක් නේද? 

අන්න එබඳූ වගකීමක් සහිත ජීවිතයක් අසුන්දරයිද, සුන්දරයිද? සුන්දරයි. එයාට සතුටු සිතින් වාසයකරන්ට පුළුවන්. වගකීමක් සහිත චරිතය, වගකීමක් සහිත කෙනා සතුටු සිතින් වාසය කරන්නෙ. එයා දන්නව "මා හිස් පුද්ගලයෙක් නොවේය" කියල. තමා ගැනම තමා සතුටුවෙනව. ඒ වගකීමක් සහිත කෙනාට තිබෙන භාග්‍යයක්.
වගකීමක් උසුලන කෙනාට තිබෙන භාග්‍යය තමයි, "තමා ලෝකයට යහපත කරන කෙනෙක්, හිස් කෙනෙක් නෙවෙයි" කියල තමා ගැන තමාට ම වැටහීමක් තිබෙනව. එතකොට තමා ගැන තමාට ම තිබෙන වැටහීම නිසා තමා තුළ සතුටක් උපදිනව. 

ඒ සතුට තව කෙනෙකුට නසන්ට බෑ. තමා තුළම ඉපදිච්ච සතුටක්, එබඳූ සතුටකින් වාසයකරන්ට ඔබ කැමතිද? ඔබට එබඳූ සතුටකින් වාසයකරන්ට හැකිවේවා කියල අපි සෙත්පතනව. 

ඒ නිසා අපි කල්පනාකල යුත්තේ සැබවින් ම මේ ලෝකයට යහපත ඉටුකරන්ට පුළුවන් අය බවට පත්වෙන්ටයි. ලෝකයට යහපත ඉටුකරන්ටනම් අපි යහපත් අය බවට පත්විය යුතුයි නේද? අපි යහපත් අය බවට පත්නොවී ලෝකයට ඉටුකරන යහපත කවරක්ද? අපි යහපත් නොවී ලෝකයට කවර යහපතක් ඉටුකරන්ටද, පෙන්වා දෙන්ටද? නේද? ඒ නිසා අපි යහපත් අය බවට පත්වෙන්ට ඕනැ. 

ගෞතම බුදුරජාණන් වහන්සේ මේ උතුම් දුර්ලභ වූ ඒ සම්බුද්ධත්ව ජයන්තිය සමරන්ට පෙළගැසෙන අපි විසින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා කල යුතු, කල හැකි පරම පූජනීය උපහාරය වන්නේ එයයි. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

සසර බිය දකිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ශ්‍රද්ධාවන්ත පින්වතුනි, 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගැනීම නිසා අපි කාටත්, පුළුවන්කම ලැබුනා දැනගන්න අපි දීර්ඝ සසර ගමනක පැමිණිබව. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමකින් තොරව, ඔබ අපි කාටත් දීර්ඝ සසර ගමනක් පැමිණියා කියල දැනගන්ට ලැබෙන්නෙ නෑ. 

ඒ වගේ ම ඒ දීර්ඝ සසර පුරාවට ම ප්‍රමාණ කරන්ටබැරි තරම් දුක් විඳින්ට සිදුවුනා කියන කරුණත් අපිට ඉගෙනගන්ට ලැබිල තිබෙනව. සසර ගමන යන කෙනෙකුට ඒ සසර ගමන පුරාවට ම විඳින්ට වෙන්නෙ පුංචි සැපක්. සසරේ බොහෝ කලක් ප්‍රමාණ රහිත වූ දුක් විඳින්ට සිදුවෙනවා ඒ සසර ගමන යන කෙනාට.
ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ විශාල කාලයක්, වැඩි වාර ගණනක් දීර්ඝ කාලයක් පෙරේත ලෝකෙ, නිරයේ, තිරිසන් ලෝකේ මේ කියන දුගති ලෝකවල ඉපදෙන්ට සිදුවෙන්නෙ මේ සසර ගමන පිළිබඳව අපිට දැනගන්ට, ඉගෙනගන්ට ලැබුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගැනීම නිසා. 

යමෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන මේ සසර ස්වභාවය, ලෝකයේ ස්වභාවය, අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකර නොගත්තොත්, එයාට සිද්ධවෙන්නේ ඒ ආපු ගමන ආව වගේ ම ගමනක් ආයෙමත් යන්ට. 

යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිඅරගෙන මේ සසර ගමන ගැන වැටහීමක් ඇතිකර  ගත්තොත්, එයාට නියත වශයෙන් අවස්ථාව ඉපදෙනවා, ඒ ආපු දුක් සහිත ගමන අවසන්කරල සසර දුකින් සම්පූර්ණයෙන් නිදහස්වෙන්ට. 

ඒ භාගයවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, අපිට කියාදෙනව මැරෙන මිනිස්සුන්ගෙන් ඒ වගේම චුතවෙන දෙවියන්ගෙන් විශාල පිරිසක් සතර අපායෙ ඉපදෙනවා කියල. ඉතා ම සුලු පිරිසක් තමයි සුගතියට එන්නෙ. ඒ වගේ ම දුගතියෙ ඉන්න සත්වයින් චුතවෙලා නැවතත් සුගතියකට එන්නෙත් ඉතා ම සුලු පිරිසක්, විශාල පිරිසක් දුගති ලෝකවල ම නැවත ඉපදෙනව. 

ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ධර්මය හොඳින් ඉගෙනගත්ත කෙනෙකුට ඒ සසර ගමනේ දුගතිවල ඉපදෙමින් යන ගමනේ ස්වභාවය ගැන වැටහීමක් ඇතිකරගන්ට පුළුවන්කම තිබෙනව.
ඇයි ඒ වගේ තත්වයකට මේ සත්වයා ඇදගෙන වැටෙන්නෙ. දුගතියක ඉපදෙන ස්වභාවයකට ඇයි මේ සත්වයා ඇදගෙන වැටෙන්නේ? ඒකට හේතුව තමයි, හිත කෙළෙසනව, කිළිටිවෙනව. හිත කිළිටිවුනායින් පස්සෙ කිළිටි වු හිතකින් සැපවත් ලෝකයක උපදින්ට ලැබෙන්නෙ නෑ. ඇයි සිත කිළිටිවෙන්නේ? ආර්ය සත්‍යය අවබෝධ නොකරන නිසා. 

ආර්ය සත්‍යය අවබෝධ කලානම් එයාගෙ සිත කිළිටිවෙන්නෙ නෑ. සම්පූර්ණයෙන් එයාගෙ හිත කිළිටි භාවයෙන් නිදහස්වෙනව. ඒ විදිහට කිලිටි භාවය දුරුකරගන්ට පුළුවන්කම තිබෙනවා. එතකොට ආර්ය සත්‍යය අවබෝධ නොකරනතාක් අපිට සතර අපායෙන් නිදහස්වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.
එතකොට අපිට ආර්ය සත්‍යය අවබෝධකරගැනීම පිණිස අවස්ථාවක් ලැබෙන්නෙත් ඉතා ම කලාතුරකින්. බහුල වශයෙන් ඒ අවස්ථාව අපිට ඉපදෙන්නෙ නෑ. ඉතා ම කලාතුරකින් කෙනෙකුට තමයි, ආර්ය සත්‍යය අවබෝධකරගැනීමේ වාසනාව තිබෙන්නෙ. ඒ බව අපි යම් පමණකින් දන්නව. 

නමුත් ඒ දැණුම ප්‍රමාණවත් නොවුනොත්, ආර්ය සත්‍යය අවබෝධ කරගන්න අවස්තාව ලැබෙන්නෙ කලාතුරකින් කියල යමෙකුට හොඳින් තේරුම් නොගත්තොත්, එයා ආර්ය සත්‍යය අවබෝධ කරයිද? ආර්ය සත්‍යය අවබෝධ කරන්නෙ නෑ. 

එහෙනම් ආර්ය සත්‍යය අවබෝධකරගන්ට නම් එයාට තේරෙන්ට ඕනැ, ඒ ආර්ය සත්‍යය අවබෝධකරගන්ට තිබෙන අවස්ථාව දුර්ලභයි, ඒ අවස්ථාව ගිලිහිලා ගියොත් අපිට මහා දුක් ගොඩක් ආයෙ විඳින්ට සිද්ධවෙනව, කාටවත් බේරගන්ට ලැබෙන්නෙ නෑ. ඒ විදිහට තේරුම්ගන්න කෙනා ආර්ය සත්‍යය අවබෝධකරගන්ට මහන්සිවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 

උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ප්‍රමාදය බැහැරකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

මරණය ඉදිරියේ බියවෙන්නෙ නැත්නම්, ලෙඩ දුක් ඉදිරියේ බියවෙන්නෙ නැත්නම්, කම්පා වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට මේ ලෝකයම නින්දාකලත් ඒ නින්දා ලබනවද? ඒ ජීවිතයට නින්දාව කියන එක අයිති නෑ. එහෙනම් එබඳූ ජීවිතයක් උපදවාගන්නයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබෙන්නෙ. 

භාග්‍යවතුන් වහන්සේ අපිව උනන්දුකලේ එබඳූ ජීවිතයක් ඇතිකරගන්ටයි. එහෙනම් අපි කල්පනාකරන්ට ඕනැ, තෙරුවන් සරණ අපිට වුවමනා කරන්නෙ එයටයි. එහෙනම් අපි ප්‍රමාදයට පත්වුණොත් ලෙඩ දුක් ඉදිරියේ අපිට කම්පානොවී ඉන්ට ලැබෙයිද? වයසටයාම ඉදිරියේ අපිට කම්පානොවී ඉන්ට පුළුවන්ද? මරණය ඉදිරියේ අපිට කම්පා නොවී ඉන්ට පුළුවන් වෙයිද? බෑ. එහෙනම් අප්‍රමාදීබවට අපි පැමිණිය යුතුයි. 

මේ මොහොතේ පටන් අප්‍රමාදී බවට අපි පැමිණිය යුතුයි. එසේ පැමිණීම පිණිස තමයි මේ දහම් අවවාදය ඔබට ලැබෙන්නෙ. එහෙම නැත්නම් අපි, "තව කල් තියෙනවනෙ, දැන් ඉතින් ඇඟේ පතේ හයිය තියෙනවනෙ, දැන්ම කරදර වෙන්නෙ ඕනෙ නෑ පස්සෙ බැරියැ. කොලු කාලෙ විනෝදෙන් ඉඳල, පස්සෙ කාලේ බණ භාවනා හුරුවෙන්ට බැරියැ" කියල ප්‍රමාදයට වැටෙනව. 

ප්‍රමාදයට වැටෙන්ට බලපාන හේතුව මොකක්ද? ඒක දැනගත්තොත් අපි ප්‍රමාදයට වැටෙන්නෙ නෑ නේද? තමාගේ ජීවිතයට මූණදෙන්ට තියෙන දුක ගැන අවබෝධයක් නෑ. 

"වයසට යෑම මගෙ ජීවිතයට අයිති දෙයක්, ඒක දුක් සහිත දෙයක්, අතිශය කර්කෂක දුක් සහිත දෙයක්" කියල අවබෝධයක් නෑ, ප්‍රමාද වෙනව. 

ජරාවට පත්වීම ඉතා ම දුක් සහිත දෙයක් කියල අපිට වැටහීමක් නැත්නම් ප්‍රමාදවෙනව.
ඒක සිහිකරන්න. ලෙඩවීම, මරණයට පත්වීම දුක් සහිතයි, දුකට අයිති දෙයක්, කර්කෂ දුක් සහිත දෙයක් කියල අපිට වැටහීමක් නැත්නම් එපමණකින්ම එයා ප්‍රමාදයි. 

ප්‍රමාදවෙන්න වෙන හේතුවක් නෑ. ප්‍රමාදයට පත්වීම පිණිස තිබෙන්නේ එකම එක හේතුවයි. මොකක්ද ඒ හේතුව? දුක ගැන වැටහීමක් නැතිවීමමයි. 

දුක ගැන වැටහීමක් තිබෙන කිසියම් ම කිසි කෙනෙක් ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. දුක ගැන වැටහීමක් නැතුව වෙනත් ඕනැම දෙයක් ගැන වැටහීමක් තිබ්බ කියල එයා ප්‍රමාදය අතහරින්නෙ නෑ. එයා ප්‍රමාදය තුළම යි.
එහෙනම් ප්‍රමාදයට පත්වීමෙන් බේරිලා, අප්‍රමාදයට එන්නනම් තිබියයුතු එක ම දේ තමයි, දුක ගැන වැටහීමක් තිබීම. ආර්ය සත්‍යය ගැන වැටහීමක් අපිට තියෙන්ට ඕනැ. අන්න එයා අප්‍රමාදී බවට සැණකින් එනව. 

එහෙනම් ආර්ය සත්‍යය ගැන වැටහීම හොඳින් පවත්වන්ට පවත්වන්ට එයා අප්‍රමාදය තුළම ඉන්න කෙනෙක් බවට පත්වෙනවා. එයා ප්‍රමාදය බැහැරකරගෙන වාසය කරන කෙනෙක්. ඉතින් අපි අන්න ඒ විදිහට පුරුදුකරගත්තොත් අපේ ශ්‍රාවකත්වය දියුණුවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ප්‍රශංසාවට හිමිකම් කියන ජීවිතයක් ඇතිකරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

අපිට අනාගතයේදී දුක් පීඩා ඉපදෙයි. "දැන් අපිට දුක් පීඩා තියෙනවා. අනාගතේ ඊටත් වඩා දුක් පීඩා ඉපදෙනවා" කියල යම් කෙනෙකුට තේරුනේ නැත්නම්, පිළිගන්නෙ නැත්නම්, එහෙම කල්පනා වෙන්නෙ නැත්නම්, එයා ඒ දුක් පීඩා බැහැරකරගෙන සුවපත්බවක් උපදවගන්ට වුවමනා ධර්මය පුරුදුකරගයිද? පුරුදුකරගන්නෙ නෑ නේද? 

හෙට බඩගිනිවෙනවා කියල කල්පනා වෙන්නෙ නැත්නම්, එයා හෙට දවසට වුවමනා දේ රැ ස්කරගන්නවද? නෑ. එතකොට හෙට බඩගිනි වුනහම මොකද කරන්නෙ? එතකොට එයා ඒ දුක් පීඩා විඳිමින් තවත් දුකින් දුකට එයා පත්වෙනව. 

එහෙනම් අපි ධර්මය තුළින් ඉගෙනගත යුතු දේ තමයි, "අපේ ජීවිතේ දුක් පීඩා සහිත එකක්. අද යම් දුකක් ද විඳින්නේ, ඒ දුකට වඩා දුක් අනාගතේ අපිට විඳින්ට සිද්ධවෙනවා" කියන කාරණය. අපිට අපේ ජීවිතේ තිබෙන සැබෑ ස්වභාවය, ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන වැටහීමක් තිබිය යුතුයි. 

ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන වැටහීමක් නැතිවුණොත් මොකද වෙන්නෙ? දැන් කල්පනා කරන්න වර්තමනයේ ඒ විදිහට අපිට දුක් ස්වභාවයන් තියෙනවද නැද්ද? තියෙනව. අනාගතේ දුක් ස්වභාවයන් තියේවිද නැද්ද? අනාගතේ ඉපදෙන ඒ දුක් ස්වභාවයන් මීට වඩා බලවත් ඒවද? දුබල දුක්ද? ඊට වඩා බලවත් දුක් පීඩා වලට මූණදෙන්ට සිද්ධවෙනවා. ඒක අපි දැන්ම තේරුම්ගත යුතුයි. 

එතකොට ඒ විදිහේ දුක ගැන තේරුම්ගන්න කෙනා, දුක ගැන වැටහීමක් තියෙන කෙනා, ඒ දුක තුළ වාසයකරන්ට කැමතිද? ඒ දුක තුළ වාසය කරන්ට කැමති නෑ. එයා ඒ දුක බැහැරකරගෙන සුවපත් සිතින් වාසය කරන්ට කැමතිකෙනෙක් වෙනව. මොනවද අනාගතයේදි අපිට විඳින්ට තිබෙන දුක් පීඩා? ලෙඩවීම අපිට අනාගතේ තියෙනවද නැද්ද? ඉතා ම කර්කශ දුක් පීඩා ඇති කරන ලෙඩ දුක් වලට මූණදෙන්ට සිද්ධවෙනවා. ඒක සිහිකරන්ට ඕනැ. 

ඒ වගේම ජරාවට පත්වීම අනාගතයේදී සිද්ධවෙනවා. ඒක මොහොතින් මොහොත, මොහොතින් මොහොත සිද්ධවෙන එකක්. කෙස් පැහිල යන එක, දත් දිරල කැඩිල යන එක, හම රැළිගැහිල, වයස ගෙවිල, ආයුෂ ගෙවිල යන එක, මරණයට ලංවෙන එක මොහොතින් මොහොත සිද්ධවෙනව. ඒක ඉතා ම කරකශ දුක් සහිත දෙයක්. 

ඊළඟට මරණයට පත්වීම. නුදුරු අනාගතේ අපිට තියෙනවද නැද්ද? තියෙනව. ඒක ඉතා ම බිහිසුණු දෙයක්, දුක් සහිත දෙයක්, බියජනක දෙයක්. ඒකෙන් පැනලයන්ට කාටවත් බෑ. ඒක සිහිකරන්න, "මට මරණයට මුහුණ දෙන්ට සිද්ධවෙනවා" කියල. කිසි කෙනෙකුට අපිව ඒකෙන් ගලවගන්න බෑ. 

ප්‍රියයන්ගෙන් වෙන්වීම අනාගතේ අපිට තියෙනවද නැද්ද? අම්ම තාත්තගෙන් අපිට වෙන්වෙන්ට සිද්ධවෙනවා, බිරිඳට ස්වාමියගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා, ස්වාමියට බිරිඳගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. දෙමාපියන්ට දරුවන්ගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. යාළු මිත්‍රයින්ට වෙන්වෙන්ට සිද්ධවෙනවා. අපි ප්‍රියකරන ගේ දොර, ඉඩ කඩම්, හරක බාණ, වතු පිටි, රන් මිල මුදල්, භව භෝග සම්පත්, තනතුරු තානාන්තර, සිතුම් පැතුම් මේ සියල්ලගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. 

අප්‍රිය අමනාප දේ සමඟ අපිට එක්වෙන්ට සිද්ධවෙනවා. අපි කැමති දේ අපිට නොලැබෙනව, ලැබෙන්නෙ නෑ. මේ දුක් වලට අපිට මූණ දෙන්ට සිද්ධවෙනවද නැද්ද? සිද්ධවෙනවා. අන්න ඒ විදිහට දුක් අපි කරා එනකොට ඒ දුකට අපි යටවෙනවද? එහෙම නැත්නම් ඒ දුක බැහැරකරගෙන ප්‍රමුදිතව වාසය කරනවද කියන කාරණය අපි කල්පනාකල යුතුයි. 

දුක අපි කරා එනකොට, ඒ දුකට යටවෙලා, ඇඬූ කඳූලෙන් ශෝකකර කර, ප්‍රාර්ථනාකර කර වාසය කරන එකද සැප, ඒ දුක බැහැරකරල, ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කිරීමද සැප? ඒක දුක බැහැරකරල ප්‍රමුදිතව වාසය කිරීමයි සැප. එයයි වටින්නෙ. එයයි ප්‍රශංසා කල යුත්තේ. 

දුක් පීඩා විඳගෙන බලාපොරොත්තු සහිත ජීවිතයක් ගතකිරීම, ප්‍රශංසා නොලැබිය යුතු, ප්‍රශංසා නොකරන, ගරහාවට පාත්‍රවන්නක්, මොකක්ද ඒ ජීවිතය? කෙස් ටික පැහෙනකොට, ශෝකයෙන් අඬනවනම්, ඒ ජීවිතය ගරහාවට පාත්‍රවිය යුතු එකක්. ගැරහීම් වලට ලක්වෙනව. 

දත් ටික දිරල කැඩෙනකොට, අඬනවනම්, ශෝක කරනවනම්, ඒ ජීවිතේ ගරහාවට පාත්‍රවන ජීවිතයක්, ප්‍රසංසාවට පාත්‍රවෙන්නෙ නෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී ශෝක කරනව නම්, ඒ ජීවිතේ ප්‍රශංසාවට පත්වන්නේ නෑ. 

ලෙඩ දුක් වෙනකොට බියේ සෝකයෙන් කම්පාවෙලා, කලන්තෙ දාල, දුකසේ වාසය කරනව නම්, ඒ ජීවිතය ප්‍රශංසා නොකල යුතු එකක්. ගරහාවට පාත්‍රවන එකක්. 

මරණයට පත්වෙන්ට සූදානම්වෙද්දී, මරණය ඉදිරියේ බියවෙනවනම්, තැතිගන්නවනම්, ශෝක කරනවනම්, ප්‍රාර්ථනා සිහිකර කර කඳූළු හලනව නම්, ඒ ජීවිතේ ප්‍රශංසාවට ලක්වෙන එකක්ද? ප්‍රශංසාවට ලක් නොවන ජීවිතයක්. ඒ ජීවිතේ ගැරහීමට ලක්වියයුතු ගැරහීමට පාත්‍රවන ජීවිතයක්. 

හොඳට සිහිකරන්න අපි මේ ජීවිතේ පුරා ප්‍රශංසා ලබනව ලෝකයෙන්. නමුත් ලෙඩක් වුනහම කම්පාවෙනව. ප්‍රිය අයගෙන් වෙන්වෙන්ට සිදුවුනහම කම්පාවෙනව, සිහිනැතිවෙනව. මරණාසන්න වුනහම තැතිගන්නව, දාඩිය දාල මරණය ඉදිරියේ බියේ වාසයකරනව. 

ඉතින් ඒ වගේ ස්වභාවයකට අපි පත්වෙනවනම් අපි මේ ජීවිතයේ බාහිරින් ලබන ප්‍රශංසාවෙ අර්ථය මොකක්ද? හිස් දෙයක්. ඒ නිසා අපි මේ අර්ථ රහිත ප්‍රශංසාව බැහැරකරල, අර්ථවත් වූ ප්‍රශංසාවට අපි කැමතිවෙන්න ඕනැ. 

මොකක්ද ඒ අර්ථවත් වූ ප්‍රශංසාව? මරණය ඉදිරියේ, ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ, තැති නොගන්නා ජීවිතය. අඬන්නෙ නැතිව, බියනොවී ප්‍රමුදිතව වාසයකරන්ට පුළුවන් ජීවිතය තමයි, ප්‍රශංසාවට හිමිකම් තිබෙන ජීවිතය, ගැරහීමට ලක්නොවන ජීවිතය. අන්න එබඳූ ජීවිතයක් උපදවගන්ටයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ. ඔබ කැමතිවිය යුත්තේ අන්න එබඳූ ජීවිතයක් ඇතිකරගන්ටයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

දුක් පීඩා වලින් නිදහස් වූ ජීවිතයක් උපදවගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතා හොඳින් ඉගෙනගෙන, ඒ ධර්මය පුරුදුකරගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. 

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය වුවමනා කරන්නේ දුක් පීඩා රහිත ජීවිතයක් උපදවගන්න, වෙන දේකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර දේකින් දුක් පීඩා වලින් නිදහස් වූ ජීවිතයක් නෙවෙයි. උපදවගන්න උපකාර ලැබෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ධර්මය, ඒ පෙන්වාදෙන ආකාරයට අපි පුරුදුකරගත්තොත් තමයි, දුක් පීඩා රහිත ජීවිතයක් අපිට උපදවගන්න පුළුවන්කම තිබෙන්නෙ.
මේ ධර්මය පුරුදුවීමකින් තොරව, පුහුණු වීමකින් තොරව, අපිට ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්ට බෑ. ඒ නිසා අපි ධර්මය හොඳට පුරුදුකරගන්ටයි කල්පනා කලයුත්තේ. අමාරු කාරණයත් අන්න ඒකමයි. ධර්මය පුරුදුකිරීම තමයි අමාරු දේ. 

ධර්මය පුරුදුකිරීම පිණිස ධර්මය හොඳට අහන්ට ඕනැ. එතකොට ධර්මය අහන එකත් ධර්මය පුරුදුකරගැනීමට වුවමනා දෙයක්. ධර්මය ඇසීමත් අමාරු දෙයක්. 

භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, "නිසි කලට කරුණු හතරක් පුරුදුකරනවා නම් එයා නොබෝ කලකින් ඒ අරහත් මගට පැමිණෙනවා" කියල. මොනවද ඒ කාරණා හතර? සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම, සුදුසු කලට ධර්ම සාකච්ඡා පැවැත්වීම, සුදුසු කලට සමථය පුරදුකිරීම, සුදුසු කලට විදර්ශනාව පුරුදුකිරීම.
මේ කරුණු හතර නිසි කලට යමෙක් කරනව නම්, එයා නොබෝ කලකින් අරහත්වයට පත්වෙනව. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. මේ කරුණු හතර පහසු නොවන බව ඒකෙන් අපි තේරුම්ගත යුතුයි.
අරහත්වයට පත්වෙනවා කියන දෙය මේ ලෝකෙ තියෙන අතිශය දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කර කටයුත්ත කරුණු හතරක් පුරුදුකිරීමෙන් උපදවගන්න පුළුවන් නම්, ඒ කරුණු හතර අතිශය අමාරු කටයුතු හතරක් විය යුතුයි. මොනවද ඒ කරුණු හතර. සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, සමථය පුරදුකිරීම, විදර්ශනාව පුරුදුකිරීම. 

එහෙනම් අපි ඒ කරුණු හතර පුරුදු කරගැනීමට කල්පනා කල යුතුයි. ඒ කරුණු හතර ම අසීරු කරුණු බව අපි හොඳින් තේරුම්ගත යුතුයි. ඒ එක කරුණක්වත් ලේසි කරුණු නෙවෙයි. ධර්ම ශ්‍රවණය කියන අංගය සම්පූර්ණ කරගන්න බෑ, හොඳට පුරුදු නොවී. 

නිවන් මග උපදවගන්ටත් ඒ මග දියුණු කරගන්ටත් පරිපූර්ණ කරගන්ටත් ධර්ම ශ්‍රවණය කියන අංගය අපිට වුවමනයි. ඒ නිසා හොඳට ධර්මය අහන්ට අපි ඉගෙන ගන්න ඕනැ. ඒ විදිහට ධර්මය ඇහුවොත් අපට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගන්ට පුළුවන්කම තිබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ඉරියව් කෙරෙහි සිහිය පිහිටුවාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වත්නි, 

ඉරියව් හතරක් තිබෙනව. වාඩිවෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිද ඇවිද ඉන්නකොට. 

හොඳට බලන්න අපි කොයි ඉරියව්වෙ හිටියත් හිත කොහෙද තියෙන්නෙ කියල. අපි ඇවිදගෙන ගියත් හිත කොහෙ හරි දුවනව ඇතිනේද? ඉඳගෙන හිටියත් හිත දුවනව ඇති. ඉස්සෙල්ල එහෙම තේරුම්ගන්න. නිදාගෙන හිටියත් හිත කොහේ හරි ගිහින්. මොනව හරි දෙයක් කල්පනා කර කර ඉන්නව. එතකොට මොනවද අපි ඒ කල්පනා කරන්නෙ? අකුසල ස්වභාවයක් ඇත්තෙ. 

කැමති දේ ඔස්සේ හිත දුවනව, අකමැති දේ ගැන කල්පනා කර කර ඉන්නව. ගොඩක් වෙලාවට කාමච්ඡන්දය හරි ව්‍යාපාදය හරි ඒ වගේ දෙයක් ඔස්සේ හිත දුවනව. එතකොට තේරුම්ගන්න මේක අකුසලයක්, ඒකෙන් නිදහස් කරගන්ට කරන උපක්‍රමයක් තමයි ඉන්න ඉරියව්වට හිත පිහිටුවගන්නව. 

එතකොට එහෙ මෙහෙ දුවන්න නොදී පාලනය කර ගැනීමක් තමයි කරන්නෙ. ඒක උපක්‍රමයක්. එතකොට අපි ඒ ඉන්න ඉරියව්ව හිතින් තේරුම්ගන්නව. එහෙ මෙහෙ දුවන සතා ලනුවකින් ගැට ගහනවා වගේ. සිත නීවර්ණ ඔස්සේ එහෙ මෙහෙ දුව දුව ඉන්නකොට හිතට වෙහෙසයි. නමුත් අපි දැන් නීවර්ණ ඔස්සේ හිත දුවන්න නොදී, ඒ කාමයන් ඔස්සේ හිත දුවන්න නොදී, ඉන්න ඉරියවක් ඇත්නම්, ඒ ඉරියව්ව හිතින් තේරුම්ගනිමින් ඉන්නව. 

එතකොට නීවර්ණ බලවත්වෙන්නෙ නෑ. කලක් යනකොට නීවර්ණ දුබල වෙන්න පටන්ගන්නව. නීවරණ දුබලවෙනකොට නීවරණ නිසා හටගත්ත පීඩා නැතිවෙනව. එතකොට සිතට පහසුවක් තියෙනව. ඊටපස්සෙ කලින් අපි හිත පිහිටෙව්වෙ කොතනද, එතන ඉන්න කැමතියි. ඒක මේ වගේ. සතෙක් ඉබාගාතෙ යනව. අපි මේ සතාට හිමිහිට කෑම ටිකක් දෙනව. දැන් බලෙන් අල්ලන්න ගියානම් අල්ලන්න බෑ. කෑමට පුරුදුවුනායින් පස්සෙ එයා එතන ඉන්නව. 

අන්න ඒ වගේ අපි සිත උපක්‍රමයෙන් එහෙ මෙහෙ දුවනව තේරුම්ගන්නව, බලෙන් ගන්නෙ නෑ. බලෙන් ගන්න ගියොත් හිත අල්ලගන්න බෑ. උපක්‍රමක් කරනව. මොකක්ද උපක්‍රමය? ඉන්න ඉරියව්ව තේරුම්ගනිමින් ඉන්නව. හිත දන්නෙත් නෑ මොකක්ද කරන්නෙ කියල. ඒක උපක්‍රමයක්. ඒ විදිහට අපි ඉන්න ඉරියව්ව තේරුම්ගනිමින් ඉන්නකොට, අර කලින් නීවර්ණ ඔස්සෙ දුව දුවා තිබුණු හිත කාමයන් ඔස්සේ දුව දුවා හිටපු හිත අපි දැන් උපක්‍රමයෙන්, ඉන්න ඉරියව්වට පුරුදුකරනව. කාමයන් ඔස්සේ දුවන්න දුවන්න හිත පීඩා වින්ඳනෙ. 

දැන් අපි ඉන්න ඉරියව්වට හිත පිහිටුවාගෙන, ටික ටික පුරුදුකරනකොට අර කාමයන් ඔස්සේ දුවමින් වෙහෙසුන, පීඩා වින්ඳ හිතට ඒ පීඩාව දැන් අඩුවෙන්න පටන්ගන්නව. දැන් සුවයි. ඊට පස්සෙ සුවය ලැබෙන තැන එයා ඉන්නව. දැන් එයාට පහසුවෙන් අර ඉරයව්වල හිත පිහිටුවාගෙන ඉන්ට පුළුවන්. එහෙම ඉඳීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි නීවරණ වලට ආහාර නැතුව යනව. නීවරණ දුබල වෙනව, හිත සුවපත්බවට පත්වෙනව. නීවර්ණ දුරුවීමෙන් හිත ප්‍රමුදිත බව ඇතිවෙනව. 

ඉතින් මේක එකපාරට වෙන්නෙ නෑ. එකපාරට කඹේකින් ගැටගහනව වගේ ගැටගහන්න බෑ. උපක්‍රමයෙන් පරිස්සමෙන් කලයුතු එකක්. ටික ටික පරිස්සමෙන් පරිස්සමෙන් කලයුතු එකක්. හේතුව මේ හිත අදෘෂ්ශයි, අල්ලන්න බෑ, හිත ගැන අපි දන්නෙ නෑ. මේ දන්න කය වුනත් අපිට පුළුවන්ද අපිට ඕනැ විදිහට එකපාරට නමන්ට? බෑ නේද? එහෙනම් නොදන්න, නොතේරෙන, අදෘශ්‍ය හිත එකපාරට නමන්න ගියොත් අපිට විසඳූම් හොයාගන්න බැරි අබල දුබලවීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම පරිස්සමින් ටික ටික පුරුදුකරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

ගෞරවයෙන් පුරුදු කළ යුතු සමාධිය

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වත්නි,

සමාධිය කියන්නෙත් අනිත්‍ය දෙයක්. ඒක නැතිවෙලා යනව. පුහුණු වීමේදී සමාධිය යම් කලෙක ස්ථිරව තිබෙන ස්වභාවයකට පත්වෙනව, නමුත් කය බිඳෙන තෙක් විතරයි ඒ සමාධියත්. ඒ නිසා ආරම්භයේදී ඇතිවෙන පුංචි සමාධිය නැතිවෙලා යනව. ඉතින් ඒ ගැන කනගාටුවක් ඇතිකරගන්ට එපා. කනගාටුවක් ඇතිකරගත්තොත් ඒ කනගාටුවෙන් ඉන්න කෙනාට සමාධියක් ආයෙ උපදින්නෙ නෑ. 

සමාධිය කියල කියන්නේ සැපය මුල්වෙලා උපදින එකක්. සැපසේ ඉන්න කෙනාටයි සමාධිය උපදින්නෙ. සැපසේ නැත්නම්, දුකසේ ඉන්න කෙනාට සමාධිය උපදින්නෙ නෑ. ඒ සැපය උපදින්නේ කායික සැහැල්ලුව මුල්වෙලා. කායික සැහැල්ලුව නැත්නම් සැපය උපදින්නෙ නෑ. 

කායික සැහැල්ලුව උපදින්නේ ප්‍රීතිය මුල්වෙලා. ප්‍රීතිය නැත්නම් කායික සැහැල්ලුව උපදින්නෙ නෑ. ප්‍රීතිය ඇතිවෙන්නෙ ප්‍රමුදිත භාවය මුල්වෙලා. ප්‍රමුදිත භාවය නැත්නම් ප්‍රීතිය උපදින්නෙ නෑ. 

එතකොට බලන්ට කනස්සල්ලෙන් ඉන්නකොට සමාධියක් උපදිනවද කියල. කනස්සල අපිට ඇතිවෙලා තියෙන්නේ සමාධියට ආස කරල නේද? ඒක මගේ දෙයක් කියල අල්ලගෙන. තමාට ඕනැ විදිහට ඒක පවත්වගන්ට පුළුවන් කියන අදහසින් හිතල, ඒ දේ නැතිවුනොත් අපිට කණගාටුව ඇතිවෙනව. ඒක නැතිවෙලා යන එකත් ස්වභාවයක්. 

කල්පනාකල යුත්තේ සමාධි මාත්‍රයක් හරි මට ඇතිවුනානෙ කියලයි. එහෙනම් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන මේ සීල, සමාධි, ප්‍රඥා පුරුදුකරන්ට ඕනැ කියල කල්පනා කරන්ට ඕනැ. එහෙම සිහිකරන කෙනා ආයෙ මුල ඉඳල භාවනාව පටන්ගන්නව. 

නිවන් මඟ කොච්චර හරිද? මම එහෙනම් තවත් හොඳට පිළිවෙලකට සකසල අපි ගමනක් යනකොට පෙරනිමිති යාන්තම් පේනව. කනස්සල්ලක්ද ඇතිකර ගන්නෙ? ආයෙ වෙහෙස නිවාගෙන නිවී සැනසසිල්ලෙ යනවද? කලින් දාඩිය පෙරාගෙන, කඩිමුඩියෙ ගිය ගමනේ පෙර නිමිති පේනව. පෙරනිමිති දැක්කට පස්සෙ දාඩිය නිවාගෙන සතුටින් ගමන පටන්ගන්නව නේද? 

අන්න ඒ වගේ සමාධි මාත්‍රයක් හරි ඇතිවුන කෙනා සතුටු වෙන්ට ඕනැ, "අනේ මට මේ සමාධි මාත්‍රයක් හරි ඇතිකරගන්ට පුළුවන් වුනානේද? ඉතින් මේ නිවන් මඟ කොයි තරම් සත්‍යයක්ද? ඇත්තක්ද? භාග්‍යවතුන් වහන්සේ ඒකානතයෙන්ම ඇත්තක් ද? කියල දීල තියෙන්නෙ" කියල. 

"මම පිළිවෙලකට කරගන්ට ඕනැ" කියල. ආයෙ මුලට ඇවිල්ල සමාධිය කෙරෙහි ගෞරවය, සීලය කෙරෙහි ගෞරවය, ශාස්තෘ ගෞරවය උපදවාගෙන, ඉවසීමෙන්, සතුටෙන් කලබල නොවී ආයෙ බණ භාවනා පටන්ගන්නව. එතකොට එයාට සමාධිය උපදවාගන්ට පුළුවන්වෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 
උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro