Friday, March 8, 2013

අවබෝධ කළයුතු දුක

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

 


යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. ප්‍රිය ස්වභාවය ඇතිකරන දේවල් ගැන ආස්වාදයට අනුව හිත හිතා ඉන්නව. අන්න ඒ විදිහට ආස්වාදයට අනුව හිත හිත ඉන්ට ඉන්ට එයාගේ සිතේ ආසාව ඉපදෙනව. ආසාව ඉපදුනහම ඒවට බැඳිල යනව. බැඳිල ගියාට පස්සෙ දුකට පත්වෙනව, දුක ඉපදෙනව. එතකොට බලන්න මේ අකුසල විතර්ක හිත හිතා ඉන්ට ඉන්ට දුකටම ඇදල දානව. අන්න එයා නිවන් මගෙන් ඈත්වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහනසේ කියා දෙන්නේ, "ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒ විහින්සා විතර්ක හිත හිතා ඉන්ට එපා. මුළුමනින්ම අපේ ජීවිත විනාසවෙලා යනව" කියල . 

නමුත්, යම් කෙනෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් හිතන්න පුරුදු වුනොත් අන්න එයාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගන්ට පුළුවන්කම තිබෙනව. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම දුකයි කියල, වයසට යාම දුකයි කියල අපිට පෙන්වා දෙනව, මරණයට පත්වීම දුකයි කියල අපිට පෙනවා දෙනව, ලෙඩවීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, අප්‍රියන් හා එකතුවීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියල අපිට පෙන්වා දෙනව. අපිට අවබෝධ කරගන්ට තිබෙන්නේ මේ ධර්මය. අතිශය දුෂ්කර වන්නේත් මේ ධර්මය අවබෝධ කිරීමමයි. 

දැන් බලන්න අපි සසරේ අනන්ත වාර ගණනක් ඉපදුනා. එසේ ඉපදෙද්දීත් අපිට බැරිවුනේ ඒ ඉපදීම දුකයි කියල අවබෝධ කරන්ට. ඉපදුන දා පටන් අපි මොහොතින් මොහොත මොහොතින් මොහොත වයසට ගියා. මේ ජීවිතයේදීත් අපි මොහොතින් මොහොත වයසට ගියා. වයසට යද්දීත් ඒ වයසට යාම දුකයි කියල අවබෝධ කරගන්ට අපිට බෑ. අපිට ඒ ආර්ය සත්‍යය තේරුම් ගන්ට නොහැකිවීම නිසාම, නැවත නැවතත් අන්ධකාරයටම වැටෙනව. අපිට ලෙඩවුනා, අනන්ත වාර ගනනක් ලෙඩවුනා. මේ මොහොතේදීත් නොයෙකුත් ලෙඩ මේ ශරීර වලට ඇති. නමුත් ඒ ලෙඩවීම තියෙද්දීත්, ඒ ලෙඩවීම දුකයි කියල අවබෝධ කරගන්ට බෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවෙනව. අප්‍රියන් හා එකතුවෙනව. ඒක දුකයි කියල තේරෙන්නෙ නෑ. බලන්න දුකට වැටෙද්දීත් මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නෑ. 

නමුත් අපි ආර්ය සත්‍යය දන්නෙ නැද්ද? දුක්ඛ ආර්ය සත්‍යය අපි ඉගෙනගෙන නැද්ද? අපි කථාකරන්නෙ නැද්ද? කථාකරනව. ඉගෙන ගෙන තිබෙනව. අනිත් අය එක්ක කථාකරනව. නමුත් අපිට තිබෙන අඩුව මොකක්ද? අපිට නැත්තෙ අවබෝධය. දැන් බලන්න කෙස් ගහක් පැහෙද්දී, ඒ ගැන දුක උපදිද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිද්ධවෙන්නෙ මොකක්ද? හඬා වැළපෙන එක.
රෝග පීඩාවක් වළදෙද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිදුවෙන්නෙ මොකක්ද? හඬාවැළපෙන එක. කම්පා වෙන එක. බලන්න අපිට දුකේ වැටෙද්දීත්, මෙයයි දුක කියල තේරෙන්නෙ නැත්නම් ආර්ය සත්‍යය ගැන අවබෝධයක් අපිට නෑ. 

දැන් අපි ඉපදුනා ඒ ඉපදීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම්, ඒ ඉපදීමෙන් නිදහස්වීමක් නෑ. අපි වයසට යනව. ඒ වයසට යාම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් වයසට යාමෙන් නිදහස් වෙන්ට අපිට බෑ.
අපිට ලෙඩ රෝග ඇතිවෙනව. ඒ ලෙඩරෝග ඇතිවීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් අපිට රෝග පීඩා වැළදීම කියන දුකින් නිදහස්වෙන්ට බෑ. එතකොට අපිට සිද්ධවෙන්නෙ ඒ දුකට වැටි වැටී ඒ දුක තුලම වාසය කිරීමක් මිසක නිදහස්වීමක් නෑ. 

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ දුක තුළ වාසය කිරීම නෙමෙයි. මේ දුකින් නිදහස්වීමයි. නිදහස්වෙන්ට නම් කළ යුත්තේ දුක තුල වාසය කිරීම නෙවෙයි, මෙයයි දුක කියල අවබෝධ කිරීමයි. වයසට යනකොට මෙයයි දුක කියල යමෙකුට අවබෝධ වෙනව නම්. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දුක කියල කියල දුන්නේ කියල අපිට අවබෝධ කරගන්ට පුළුවන් නම් අපි ඒකට අකමැති වෙනව. එහෙනම් අපි අන්න ඒ විදිහට ඒ දුක්ඛ ආර්ය සත්‍යය ගැන අබබෝධය ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Monday, February 4, 2013

අකුසල විතර්ක බැහැර කරමු

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


භාග්‍යවතුන් වහන්සේ මේ දේ කරන්ට එපා කියල කියද්දීත් අපි ඒ දේ කරනව නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගෙන නෑ. මේ දේ කරන්ට කියල කියද්දීත් අපිට ඒ දේ නොකරනවා නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිඅරගෙන නෑ.

අපි භාග්‍යවතුන් වහන්සේ එපා කිවූ දේ කරමින් කරන්ට කිවූ දේ නොකර අනේ මට මේ ධර්මය අවබෝධ කරගන්ට බෑ කිය කියා හිටියොත් අපි භාග්‍යවතුන් වහනසේට ප්‍රශංසා කරන්නෙ නෑ. අපි කොයි තරම් වන්දනා කළත් ඒ වන්දනාව සැබෑ වන්දනාවක් බවට පත්වෙන්නෙ නෑ.
සැබෑ වන්දනාව තමයි භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ නොකර සිටීම. භාග්‍යවතුන් වහන්සේ කරන්ට කියා කිවූ දේ කිරීම. අන්න ඒ දේ කරන්ට අද ඉදන් පුරුදුවෙන්ට.

එතකොට ඔබ අද ඉඳන් භාග්‍යවතුන් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කරන කෙනෙක් බවට පත්වෙනව. ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෛතී‍්‍ර සහගත ප්‍රතිපත්තියට පැමිණුන කෙනා බවට පත්වෙනව. ඔබට භාග්‍යවතුන් වහනසේගේ ලයේ උපන් දරුවන් බවට පත්වෙන්ට පුළුවන් වෙනව. 

අපිට සැබෑම ගෞරවයක් භාග්‍යවතුන් වහන්සේ ගැන උපදවගන්ට පුළුවන් නම් අපි ඒ මොහොතේ පටන් භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ දිවි හිමියෙන් නොකර ඉන්ට පෙළඹෙනව. භාග්‍යවතුන් වහන්සේ අපිට කරන්ට කිවූ දේ නිරතුරු කරන්ට අපි පෙළඹෙනව. අන්න එයා ඒ මොහොතේ පටන් නිවන් මගට පැමිණුන කෙනා බවට පත්වෙනව.
ඒ නිසා හොදට තේරුම් අරගෙන ඉස්ථිර අදහසකට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ නොකර ඉන්ට මේ මොහොතේ පටන් පුරුදුවෙන්න.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කරන්ට එපා කියල කිව්වෙ කුමක්ද? අපිට හිතන්ට එපා කියල කිව්වෙ කුමක්ද?
පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දුන්න. 

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, "පින්වත් මහණෙනි, කෙනෙකු අන්ධ කරන නුවණැස නැතිකරන ප්‍රඥාව නැති කරන යම් කෙනෙක් දුකට පත්කරන දුකටම ඇදල දාන නිවන් මගෙන් ඈතට ඇදල දාන කරුණු තුනක් තියෙනවා කියල. සිතුවිලි විතර්ක තුනක් තියෙනවා කියල.
එකක් තමයි කාම විතර්ක, අනිත් එක ව්‍යාපාද විතර්ක, අනික විහින්සා විතර්ක. 

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නේ මේ විතර්ක ගැන කොයි විදිහටද? කෙනෙකු අන්ධ කරනව. අන්ධ කරනවා කියල කියන්නෙ? යමක ඇත්ත ඇතිසැටියෙන් දකින්ට තියෙන හැකියාව නැතිකරල දානව. අන්ධ කෙනා යමක් අඳුර ගන්නව. නමුත් එයාට අඳූරගන්ට බැරි මොකක්ද? ඒ දේ ඇත්ත ඇතිසැටියෙන් අඳූරන්ට බෑ. අඳූරගන්නෙ වැරදි විදිහටයි. ඒකටයි අන්ධ කියලකියන්නෙ. එතකොට මේ අකුසල විතර්ක වල ස්වභාවය තමයි මනුෂ්‍යා අන්ධ කරනව. එතකොට එයා යහපත කියල අයහපත තොරගන්නව.

කාමයන් ගැන හිත හිත ඉන්න කෙනා හොඳ කියල නරක කරන්නෙ. ඇයි එයාට ඇත්ත ඇතිසැටියෙන් පේන්නෙ නෑ. අන්ධයි කියන්නෙ අන්න ඒකයි. 

ඊලඟට එයාගෙ නුවණැස නැති කරනව. නුවණින් හිතන්ට පුළුවන් ස්වභාවය නැති කරල දානව. දැන් මේ තමයි දුක කියල හිතන්ට පුළුවන් ස්වභාවයක් තියෙනව නම් ඒක නැති කරල දානව. නුවණ කියල කියන්නෙ දුක ගැන තේරුම්ගන්ට තියෙන හැකියාව. නුවණින් කල්පනා කරන්ට පුළුවන් හැකියාව. ඒක නැති කරනවා කාමයන් ගැන හිත හිතා ඉන්න කොට. අතිශය භයානක ස්වභාවයක් මේක.

ඊලගට මේ අකුසල විතර්ක හිත හිතා ඉඳීමෙන් ප්‍රඥාව නැති කරල දානව. ප්‍රඥාව කියල කියන්නෙ ආර්ය සත්‍යය පිළිබඳ තිබෙන අවබෝධය. දුක ගැන තියෙන වැටහීම. දුක්ඛ සමුදය ගැන තියෙන වැටහීම. දුක්ඛ නිරෝධය ගැන තියෙන වැටහීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන තියෙන වැටහීම. 

ඉතින් යම් කෙනෙකුට ආර්ය සත්‍යය ගැන සුලු හෝ වැටහීමක් තියෙනවා නම් ඒ වැටහීම පවා නැතිකරල දානව මේ අකුසල විතර්ක හිත හිත ඉන්නව නම්. එයා අඥාන කෙනෙක් බවට පත්කරනව. ඊලගට එයා දුකටම ඇදල දානව. 

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නේ ඒ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහින්සා විතර්ක හිත හිත ඉන්ට එපා කියල.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

2013 පෙබරවාරි මස 03 වන දින පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී අති පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාව...



භාගත කර ගැනීමට මෙහි ක්ලික් කරන්න.
You can download the mp3 file from here.

Sunday, January 6, 2013

කම්පා නොවීමට නම්...!


  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා මෙහෙම හිතන්න කියල. ''මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල, නිතර බහුල වශයෙන් හිතන්න කියල. ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල.

ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල, අපට කියාදීල තියෙනවා. ඉතින් අපි ඒ ධර්මයන් හිතින් පුරුදු කරමින් වාසය කළොත් අපිට හිත හදාගන්න පුළුවන් වෙනවා ඒ දේවල් අපේ ජීවිතයට උද්ගත වෙනකොට.

දැන් අපි ලෙඩවෙන කෙනෙක් ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ කියල හිත පුරුදු කරනවා කියල හිතන්න. යම් දවසක අපි ලෙඩ වෙනවා. එතකොට අපි ඒ ලෙඩේ නිසා කම්පා වෙලා යයිද? කම්පා වෙන්නෙ නෑ. එයා සංවේගයට පත්වෙනවා මිසක කම්පාවෙලා යන්නෙ නෑ, තැවෙන්නෙ නෑ. ආන්න ඒ විධියට අපි හිත හදා ගන්න ඕන.

ඒ වගේම තමයි වයසට යනකොට, අපි එන්න එන්න මොහොතින් මොහොත වයස කරා නේද යන්නෙ? එන්න එන්න කෙස් ටික පැහිල යනවා. දත් ටික දිරල යනවා. මේවා සිද්ධ වෙනවා. මේවා වලකින්නෙ නෑ. මේවා මොහොතින් මොහොත සිද්ධ වෙන ඒවා. ඉතින් අපි දැන්මම අපේ හිත පුරුදු කරන්න ඕන ''මම වයසට යන කෙනෙක් ඒ වගේම වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියන කාරණාව හිතේ පුරුදු කරන්න ඕන.

එහෙම නැති උනොත් එහෙම, අපි මොහොතින් මොහොත වයසට යනකොට, අපේ ශරීරය දිරන්න පටන් අරගෙන ටික ටික දිරල යනකොට, අපි හිත හදාගෙන තිබුණෙ නැත්නම්, ඒ තත්‍වයට අපිට මුහුණ දෙන්න බැරි වෙලා යනවා. එදාට කම්පා වේවි. දුක් වේවි. පසුතැවීම ඇති වේවි. උහුල ගන්න බැරි වේවි. ඒ නිසා අපි අන්න ඒ තත්ත්වයට මුහුණ දෙන්න තමයි දැන්ම ඉඳන් සූදානම් වෙන්න ඕන.

ඒක පහු කරල පුළුවන්ද? දැන් ඒ විධියට හිත හදාගන්න පහුවෙලා පුළුවන්ද? පහු කරල බෑ. හෙට බැරියැ කියල ඉන්න පුළුවන්ද? බෑ ඒක අද අද මේ මොහොතේ ඉඳන් කරන්න ඕන.

ඒ නිසා ''මම වයසට යන කෙනෙක්. ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Tuesday, January 1, 2013

සතුටු සිතින් වාසය කිරීමට නම්....

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සතුටු සිතින් වාසය කරන්නට. නමුත් ඒක අපි කැමති වුනාටම සිද්ධ වෙන්නෙත් නෑ. ඒ සඳහා අපි වෑයම් කරන්ටත් ඕන. වෑයම් කරන්නට නම් සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල අපි දැන ගන්ටත් ඕන.

එහෙම සතුටු සිතින් වාසය කරන්නෙ කොහොමද කියල දැනගන්නෙ නැතුව අපි වෑයම් කළොත්, අපිට අපි හිතන විධියට සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි කොහොමද සතුටින් ඉන්නෙ කියන කාරණාව අපි දැනගන්න ඕන.

බුදුරජාණන් වහන්සේ අපිට කියාදෙනවා සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට යම් කෙනෙක් දක්ෂ වෙනවා නම්, ඒ වගේම සංවේගය ඇතිකරන කාරණාවලදී සංවේගයට පත්වෙලා වීරිය උපදවාගෙන වාසය කරන්න පුළුවන් නම් ආන්න ඒ භික්ෂුවට පුළුවන් සතුටු සිතින් වාසය කරන්නට කියල . එහෙමනම් අපි සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය ඇතිකර ගන්ට දක්ෂ වෙන්ටත් ඕන, ඒ වගේම වීරිය උපදවාගෙන වාසය කරන්නටත් ඕන.

ඉතින් මේ කාරණා දෙක අපි , අපේ ජීවිතයට එකතු කරගත්තොත්, අපේ ජීවිතයට පමුණුවාගෙන අපි ඒ කාරණාව පුරුදු කළොත්, අපිට, සතුටෙන් වාසය කරන්ට පුළුවන් අය බවට පත්වෙන්න පුළුවන්කමක් තියෙනවා.

අපි ඒ කාරණා ජීවිතයට සම්බන්ධ කර නොගත්තොත්, ඒ කියන්නෙ සංවේගය ඇති කරන කාරණා වලදී සංවේගය උපදවා ගන්ට අපි දක්ෂ නොවුනොත්, ඒ වගේම වීරිය උපදවාගන්ට අපි දක්ෂ නොවුනොත් අපි සතුටෙන් වාසය කරනවාය කියන දේ සිද්ධ වෙන්නෙ නෑ. අපි යම් යම් ආකාරයෙන් සතුටු වෙයි. නමුත් ඒක නිවන් මඟ දියුණු කිරීම පිණිස උපකාර වෙන සතුටක් වන්නෙ නෑ.

නමුත් සංවේගය ඇති කරන කාරණා වලදී ඒවා දැනගෙන සංවේගය ඇති කරගන්න දක්ෂ නොවෙන කෙනා, වීරිය උපදවා ගන්ට දක්ෂ නොවන කෙනා සතුටු වෙයි; එයා සතුටු වෙන්නෙ පංච කාමයන් මුල් කරගෙනයි. එයා සංවේගය දනවන කාරණා වලදී කම්පා වෙනවා. පංච කාමයට යටවුණු කෙනාට සංවේගය දනවන කාරණා වලදී සංවේගය ඇති කරගන්න බෑ, එයා සංවේගය දනවන කාරණා වලදී බය ඇතිකර ගන්නවා, කම්පා වෙනවා, තැවෙනවා.

එනිසා එයාට නිවන් මඟ දියුණු කරගෙන සතුටු වෙන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. එයා සතුටු වෙන්නෙ කාමයන් වලින් නම්, එයා හොයන්නෙත් කාමයන්මයි. එයා සතුටු වෙන්නෙ කාමයන් නිසා නම් කාමයන්ම සොයමින් එයා වාසය කරන්න පුරුදු වෙනවා. එතකොට සංවේගය දනවන කාරණා වලට මුහුණ දෙන්න වනවිට එයා කම්පා වෙනවා.

ඉතින් අන්න ඒ තත්ත්වයට පත්වුනොත් අපිට මේ ලැබුණ ලාබය අපි දන්නෙම නැතුව අහිමි කරගන්න අය බවට පත්වෙනවා. ඒ වගේම අපට සතුටු සිතින් වාසය කරන්නට බැරිවෙලා යනවා, සතුට අපෙන් මොහොතින් මොහොත ඈත්වෙලා මහා දුක් ගොඩකට ගොදුරු වෙන අය බවට අපි පත්වෙලා යනවා.

ඒ නිසා අපි කවුරුත් කල්පනාවට ගන්න ඕන, අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් විධියට ජීවිතය දියුණු කරගන්න කැමති වෙනවා නම් අපි කළයුත්තෙ බුදුරජාණන් වහන්සේ වදාල දෙයම, ඒ අයුරින් ඒ දේම පුරුදු කරන්න මහන්සි වීමයි. ඒ නිසා මේ පණිවිඩය කවුරුත් හොඳට මතක තියාගෙන ඒ කාරණා දෙක ඇතිකරගැනීම පිණිස දක්ෂ වෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


Wednesday, December 12, 2012

ජීවිතයට පිළිසරණ සලසා ගනිමු...

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. එහෙම නැත්නම් තරහ සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එහෙම නැත්නම් හිංසා සහගත සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එතකොට ඒ විදිහට කාමයන් ගැන හිත හිත හිටියොත් එයාට ඒ කාමයන්ගේ යථා ස්වභාවය තේරුම්ගන්ට බෑ. එයා ඒකට ආස්වාදයෙන් අහුවෙලා. ආස්වාදය විතරයි එයාට තේරෙන්නෙ.

ආස්වාදයට කොටුවෙලා. ඒකෙ ආදීනවය තේරෙන්නෙ නෑ. ඒකෙන් නිදහස් වෙන්ට බෑ. එතකොට එයාට අවබෝධයෙක් ඇතිවෙන්නෙ නෑ. කළකිරෙන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ.

ඒ කාමයන් කෙරෙහි ඇල්ම දුරුවෙන්නෙ නැතිකෙනා තුළ හිතේ සංසිදීමක් ඇතිවෙන්නෙ නෑ. හිත කලබල වෙනව. ඇවිස්සුනු සිතකින් තමයි වාසය කරන්ට වෙන්නේ.

ඇවිස්සුන හිතකින් වාසය කරන කෙනාට ආර්ය සත්‍යය ගැන අවබෝධයක් උපදවගන්ට බෑ. එයාට විශේෂ ඥානයන් උපදවගන්ට බෑ. නිවන අවබෝධ කරගන්ට බෑ.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ පාපී අකුසල විතර්ක එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිත හිතා ඉන්න එපා කියල.  භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා හිතනව නම් හිතන්න මේ තමයි දුක කියල දුක ගැන හිතන්ට කියනව. මේ තමයි දුකේ හටගැනීම කියල දුක්ඛ සමුදය ගැන හිතන්ට කියල කියල දෙනව. මේ තමයි දුකේ නැතිවීම කියල දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට කියනව. මේ තමයි දුක් නැතිකරන මග කියල දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය ගැන හිතන්ට කියල දෙනව.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ අපිට හිතන්ට එපා කියල යම් කරුණු ටිකක් කියල දෙනව. මෙන්න මේව හිතන්ට එපා. මෙන්න මේව හිතන්ට කියල අපිට නිරවුල්ව පැහැදිලිව ධර්මයන් කොට්ඨාස දෙකක් ගැන කියා දෙනව.

එතකොට යම් කෙනෙක් මෙන්න මේ ධර්මය ගැන පැහැදුනොත් විශ්වාස කළොත් මෙයයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය, මේ අවබෝධය ඒකාන්තයෙන් නිරවුල් ඒකාන්තයෙන් සත්‍යය වූ දෙයක්. මනා කොට කියා දෙන දෙයක් කියල.

මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ගැන පැහැදුනොත් අන්න ඒ පැහැදීම ඇතිකර ගත්ත කෙනා තුළ බලවත් විශ්වාසයක් උපදිනව තමාගේ ජීවිතයට පිළිසරණ ඇතිකර ගැනීම පිණිස.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Friday, February 11, 2011

පහාණ සංඥාව පුරුදුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි රාගය දුරුකිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ අසුභ භාවනාව යි. රාගය දුරුකිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව. නමුත් මේ කාරණාව වරදවා තේරුම්ගන්ට එපා. රාගය ආපු වෙලාවකදී ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ. 

බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව, එයාට රාගය ආපුවෙලාවකදි ඒ හටගත් රාගය, උපන් රාගය දුරුකරන්ට අසුභ සංඥාව සුදුසු නෑ. එයාට ඒ උපන් රාගය දුරුකරන්ට මොකක්ද? භාවිතා කළ යුත්තේ. පහාණ සංඥාව යි. උපන් රාගය දුරුකරන්ට භාවිතා කරන්නෙ අසුභය නෙවෙයි, පහාණ සංඥාව යි.
හැබැයි ධර්මය හොඳින් පුරුදුකරල අසුභ සංඥාව හොඳින් පිහිටුවගත්ත කෙනෙකුට ඒ උපන් රාගය බැහැරකරන්ට, අසුභ සංඥාව භාවිත කරන්ට පුළුවන්. නමුත් උපන් රාගය දුරුකිරීම පිණිස භාවිත කළයුතු සුදුසු ම ධර්මය තමයි පහාණ සංඥාව. 

මොකක්ද පහාණ සංඥාව කියල කියන්නෙ? රාගය හිතේ ඇති වුනාම එයා තේරුම්ගන්ට ඕන "දැන් මගේ හිතේ රාගය තියෙනවා" කියල. ඒ විදිහට සිහිනුවණ උපදවගෙන එයා සිහිකරන්ට ඕන මේ විදිහට. "දැන් මගේ හිතේ රාගය ඉපදිලා තියෙන්නෙ. මේ රාගය අකුසලයක්, දුක් විපාක සහිත දෙයක්, දුක් විපාක උපදවන දෙයක්. මේ රාගය මට හොඳ නෑ. අනුන්ටත් හොඳ නෑ. සියලු දෙනාටම හොඳ නෑ. මේ රාගය මගේ හිත එකඟ කරන්නෙ නෑ. මේ රාගය මගේ හිතේ සමාධිය උපදවන්නෙ නෑ. මේ රාගය මාව නිරයේ උපදවන්ට හේතුවන දෙයක්. මට නිවන පිණිස මේ රාගය උදව්වෙන්නෙ නෑ" කියල හිතන්ට ඕන. 

එතකොට ඒ රාග සිතුවිල්ලේ ආදීනව තමයි ඒ කල්පනා කරන්නෙ. එතකොට ආදීනව සිහිකරන්ට කරන්ට ඒ රාගයට තියෙන කැමැත්ත නැතිවෙනව. ඒක ප්‍රහාණය වෙලා යනව. ඒක පහාණ සංඥාව යි.
ඒ පහාණ සංඥාව අපිට පුරුදුකරන්ට අමාරු එකක්. මොකද රාගය බලවත් අකුසලයක්. ඒ බලවත් අකුසලය දුරුකිරීම පිණිස අපි තුළ හැකියාවක් උපදවාගන්ට ඕනැ. අන්න ඒ හැකියාව උපදවගැනීම පිණිස අපි තුළ උපදවගතයුතු ධර්මයන් කීපයක් තියෙනව. ඒ තමයි ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන සේඛ බල උපදවා ගන්ට ඕන. 

"ශ්‍රද්ධාව" කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය අදහාගැනීම,
"හිරි" කියල කියන්නෙ පවට ලැජ්ජාව,
"ඔත්තප්ප" කියල කියන්නෙ පවට භය,
"වීරිය" කියල කියන්නෙ අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගන්ටත් පටන්ගත් වීරියෙන් යුක්ත වීම.
"ප්‍රඥාව" කියල කියන්නෙ, දුක් දුරුකිරීම පිණිස, අවබෝධයෙන් කලකිරීම ඉපදෙන ආකාරයෙන්, හටගැනීමත් නැතිවීමත් තේරුම්ගන්නා නුවණ. 

එතකොට හිරි ඔත්තප්ප, නැත්නම් එයා තුළ අකුසල් දුරුකිරීමේ කැමැත්ත උපදින්නෙ නෑ. අකුසල් දුරුකිරීමේ කැමැත්ත ඉපදිලා නැතිකෙනා තුළ පහාන සංඥාව පිහිටුවගන්ට බෑ. එහෙනම් පහාන සංඥාව උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රද්ධා, හිරි - ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන සේඛ බල උපදවගත්ත කෙනා තුළ.
රාග සිත ඉපදිච්ච වෙලාවෙදි අසුභය වඩනකොට ඇයි රාගය ම වැඩිවෙන්නෙ? දැන් මේක තෝරබේරා ගන්ට ඕන නේද? රාගය දුරුවෙන්නෙ අසුභය පුරුදුකිරීමෙන්. නමුත් රාගය පැමිණි වෙලාවට අසුභය වඩනකොට ඒ රාගය වැඩිවෙනවා නම්, මොකක්ද? හේතුව. 

නැත්නම් කෙනෙක් මේ කිව්ව එක පිළිගන්නෙ නෑ. මේ රාගය එන්නෙ මොනවටද? මොනවා උදෙසාද? මේ රාගය එන්නෙ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර... මේව කෙරෙහි මේ රාගය උපදින්නෙ.


කෙස් වලට රාගය උපදිනව, ලොම් වලට රාගය උපදිනව, දත් ටික කෙරෙහි රාගය උපදිනව, සම් වලට රාගය උපදිනව, නියපොතු වලට රාගය උපදිනව. එතකොට රාගය උපදින්නෙ ඒව සිහිකරනකොට නේද? ඇස තියෙනව, ඇසට පේන රූපය තියෙනව, ප්‍රිය මනාප රූප බලල ඒ නිමිති හිතේ තියාගෙන, නිමිති සිහිකරනව කියල අපි මොනවද සිහිකරන්නෙ? මුහුණ සිහිකරනව කියල මොනවද සිහිකරන්නෙ? හම, හමේ පාට, ලපයක් තියෙනව නම් ඒ ලපේ, කෙස් ටික, කෙස්වල රොදේ... ඕව නේද? සිහිකරන්නෙ. ඒව සිහිකරනකොට නේද? රාගය උපදින්නෙ. එහෙනම් රාගය ඉපදුන කෙනෙක් අසුභ සංඥාවෙදි මොකක්ද වඩන්නෙ? ඒත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර... සිහිකරන්නෙ. 

එතකොට හොඳින් අසුභ සංඥාව පිහිටුවා නොගත්ත කෙනෙක් රාගය ආපුවෙලාවෙදි "කෙස්, ලොම්.." වශයෙන් සිහිකරනව. දැන් මොකද වෙන්නෙ? උපන් රාගය එතකොට නැතිවෙලා යන්නෙ නැතුව ආයෙ ඇවිස්සෙන්ට පුළුවන්. ඒ නිසා රාගය ආපුවෙලාවට පහාණ සංඥාව පුරුදුකරන්ට ඕන. අසුභය සිහිකරන්ට එපා. රාගය නැතුව තියෙන වෙලාවකදි තමයි අසුභය පුරුදුකරන්ට ඕන.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro