Friday, February 11, 2011

සත්පුරුෂබවම යි වටින්නේ

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



සත්පුරුෂයාගේ ස්වභාවය තමයි, ඉතාම පුංචි උපකාරය ආකාසය වගේ මහත් උපකාරයක් විදිහට එයා ගන්නව. ඉතාම ගෞරවයෙන් එයා සිහිකරනව. ගෞරවය හොයන කෙනා ආකාසෙ වගේ විශාල උපකාරයක් උනත් එයාට දූවිලි අංශුවක් විතරවත් වටින්නෙ නෑ. 

ඉතින් මේ චරිත ස්වභාවයන් තේරුම්ගන්න. තේරුම් අරන් ඒ අසත්පුරුෂ ස්වභාවයෙ තියෙන භයානක ස්වභාවය තේරුම්ගන්න. එයාට විශාල උපකාරයක් කළත් ඒක වටින්නෙ නෑ. නමුත් සත්පුරුෂයා ඉතාම පුංචි උපකාරය විශාල වටිනා දෙයක් විදිහට සිහිකරනව. බලන්න ඒ චරිත දෙකේ තියෙන හාත්පස වෙනස් ස්වභාවය. 

එහෙනම් අපි මේව ඉගෙනගෙන අපේ චරිතය යහපත් පැත්තට යොදා ගන්න අපි පුරුදුවෙන්ට ඕනැ. මේ ධර්මයන් දන් නැත්නම් අපි කොහෙට කැරකිලා යයිද කියල අපිට හොයාගන්ට බෑ. එනිසා අපිට අපේ ස්වභාවය තේරුම් අරගෙන, අපිට යහපත ඇතිකර ගැනීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයන් අපි උදෙසා ඉතිරි කලේ, කියා දුන්නේ. එනිසා සත්පුරුෂ භාවයට මහත් සේ කැමතිවෙන්න. 

අසත්පුරුෂ භාවය හීන දෙයක්, නිගා කලයුතු දෙයක්, කිසිවිටෙකත් කැමති නොවිය යුතු දෙයක්, සියලු දෙනාටම අහිත පිණිස විපත පිණිස පවතින දෙයක් විදිහට තේරුම් අරගෙන, ඒ අසත්පුරුෂස්වභාවයන් ඇතිවෙන්ට ඉඩදෙන්ට එපා. අසත්පුරුෂ ස්වභාවය ඇතිවෙන්ට බලපාන මූලික හේතුව මොකක්ද? ගෞරවය හොයාගෙන යෑම. නැති තත්වය හොයාගෙන යෑම. තියෙන තත්වය බලවත් කරගන්ට කල්පනා කිරීම. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට එයා කැමතියි. ඒ වගේ අසත්පුරුෂ චරිතයක් ඇතිවුනොත් ඒක මහා හානියක්මයි.
අසත්පුරුෂ භාවය ඇතිවෙලා වැඩිදියුණුවෙලා ගියොත් එහෙම, අසත්පුරුෂ භාවය ඉපදුනොත් ඉපදිලා ඒක බලවත් වුනොත් එයා ගොඩගන්ට අමාරුයි. එයා කොච්චර උපකාර කලත්, කොච්චර හොඳ දේ පෙන්වා දුන්නත් එයා යහපතට ගන්ට බෑ. ඒකයි මෙහෙම කතාවක් තියෙන්නෙ. කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්. 

"කිරි දෙවෙනි දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්" කියල කතාවක් තියෙන්නෙ. අඟුරු කෑල්ල කිරෙන් හේදුවත් ඒක සුදුවෙන්නෙ නෑ. එහෙනම් බලන්න මේ අසත්පුරුෂ බව කියන එක කොතරම් භයානක විපතක් අපිට කරනවද කියල. ලෝකයට කරනවද කියල. එනිසා ඒ අසත්පුරුෂ කම ගැන බිය උපදවගන්ට. තමාටත් අනුන්ටත් විපත පිණිස පවතින බලවත්ම දේ තමයි අසත්පුරුෂ බව. ඊටත් වඩා බලවත් දෙයක් ලෝකයේ නෑ.
ඇයි බලන්න කොතරම් ගුන කලත් දුදනෝ නොවෙති යහපත්. ඉතින් ඒක විපතක් නේද? අනතුරක් නේද? එනිසාම අසත්පුරුෂයන්ට උපකාර කරන්ට එපා කියල ලෝකයේ කතාවක් තියෙනව. "දියෙහි යන දන්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනෝ හට පිහිට නොවව් යන බස සැබෑ කලෙ මට" ඉස්සර කාලෙ කතාවක් සිහිකරන්නෙ. 

කතාවක් තියෙනවලු වතුරෙ ගහගෙන යන ලී කොටයක් තියෙනව. ආන්න ඒකට උදව්වක් කලත්, දුදනන්ට උදව් කරන්න එපා කියල. මොකද ඒක භයානකයි. සැඩ පහරෙ ගහගෙන යන කොටයක් තියෙනව. ඉතින් කෙනෙක් කල්පනා කරනව, අනේ මේ කොටේ වතුරෙ ගහගෙන යනව මං අරන් දාන්න ඕනැ කියල, ඒ වතුරෙ ගහගෙන යන කොටේ අරන් දානව. 

එහෙම උදව්වක් කලත් දුදනෙකුට උදව් කිරීම භයානකයි කියල කියනව. මොකද ඒ උදව් කිරීමේ භයානක කමද ඒ තියෙන්නේ. උදව්වෙ නෙවෙයි භයානක කම තියෙන්නෙ. දුදනගෙ ස්වභාවය. එනිසා අපි කල්පනා කළ යුතුයි, අපි දුදනො නොවිය යුතුයි කියල. ඇයි අපෙන් ලෝකයට බය හට නොගත යුත්තේ. නැත්නම් මේ ධර්මය වරදවල ගන්නව. 

මොකටද මේ පණිවුඩය දෙන්නෙ. දුර්ජන භාවය. අසත්පුරුෂ බව බිහිසුනු දෙයක්. ඒ දුරජන බව අසත්පුරුෂ බව නම් වූ බිහිසුනු දේ අපි ඇතිකර නොගත යුතුයි. ඇයි අපි ඇතිකර නොගත යුත්තේ? ලෝකයට යහපත පිණිස. ලෝකයටයි එතකොට හානි වෙන්නේ. එහෙම නැත්නම්, අපි උදව් කරන්ට හොඳ නෑ කියල හිස් මතයට කැරකිලා යනව. 

ලෝකෙන් උපකාරයක් අපිට ලැබෙනකොට, ඒ උපකාර කරන අයට යහපත සැලසෙන්ට ඕනැ. එහෙමනම් ඒ සඳහා කටයුතු කළ යුත්තේ අපි සත්පුරුෂයින් වීම. ආන්න ඒ විදිහේ තමාගේ ජීවිතය සකසා ගැනීම පිණිස තමයි මේ ධර්මය අපිට උපකාර වන්නේ. 

ඉතින් මේ කරුණු අපි හොඳින් ඉගෙන ගෙන, මේ අසත්පුරුෂ බව නම් වූ අතිෂයින් බිහිසුනු, අතිශයින් භයානක, ලෝකයටම විපත පිණිස පවතින දෙය කිසිකලෙකත් ලෝකයේ බිහි නොවේවා කියල සියුළු දෙනාම විසින්ම පැතිය යුතුයි. අසත්පුරුෂ බව කියන හීන දේ තේරුම් අරගෙන කිසිකලෙකත් ඒ අසත්පුරුෂ ගති වලට ඉඩ නොදී, ඒව බැහැරකරගෙන සත්පුරුෂ භාවය ඇතිකරගන්න කල්පනා කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment