Friday, February 11, 2011

පහාණ සංඥාව පුරුදුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි රාගය දුරුකිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ අසුභ භාවනාව යි. රාගය දුරුකිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව. නමුත් මේ කාරණාව වරදවා තේරුම්ගන්ට එපා. රාගය ආපු වෙලාවකදී ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ. 

බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව, එයාට රාගය ආපුවෙලාවකදි ඒ හටගත් රාගය, උපන් රාගය දුරුකරන්ට අසුභ සංඥාව සුදුසු නෑ. එයාට ඒ උපන් රාගය දුරුකරන්ට මොකක්ද? භාවිතා කළ යුත්තේ. පහාණ සංඥාව යි. උපන් රාගය දුරුකරන්ට භාවිතා කරන්නෙ අසුභය නෙවෙයි, පහාණ සංඥාව යි.
හැබැයි ධර්මය හොඳින් පුරුදුකරල අසුභ සංඥාව හොඳින් පිහිටුවගත්ත කෙනෙකුට ඒ උපන් රාගය බැහැරකරන්ට, අසුභ සංඥාව භාවිත කරන්ට පුළුවන්. නමුත් උපන් රාගය දුරුකිරීම පිණිස භාවිත කළයුතු සුදුසු ම ධර්මය තමයි පහාණ සංඥාව. 

මොකක්ද පහාණ සංඥාව කියල කියන්නෙ? රාගය හිතේ ඇති වුනාම එයා තේරුම්ගන්ට ඕන "දැන් මගේ හිතේ රාගය තියෙනවා" කියල. ඒ විදිහට සිහිනුවණ උපදවගෙන එයා සිහිකරන්ට ඕන මේ විදිහට. "දැන් මගේ හිතේ රාගය ඉපදිලා තියෙන්නෙ. මේ රාගය අකුසලයක්, දුක් විපාක සහිත දෙයක්, දුක් විපාක උපදවන දෙයක්. මේ රාගය මට හොඳ නෑ. අනුන්ටත් හොඳ නෑ. සියලු දෙනාටම හොඳ නෑ. මේ රාගය මගේ හිත එකඟ කරන්නෙ නෑ. මේ රාගය මගේ හිතේ සමාධිය උපදවන්නෙ නෑ. මේ රාගය මාව නිරයේ උපදවන්ට හේතුවන දෙයක්. මට නිවන පිණිස මේ රාගය උදව්වෙන්නෙ නෑ" කියල හිතන්ට ඕන. 

එතකොට ඒ රාග සිතුවිල්ලේ ආදීනව තමයි ඒ කල්පනා කරන්නෙ. එතකොට ආදීනව සිහිකරන්ට කරන්ට ඒ රාගයට තියෙන කැමැත්ත නැතිවෙනව. ඒක ප්‍රහාණය වෙලා යනව. ඒක පහාණ සංඥාව යි.
ඒ පහාණ සංඥාව අපිට පුරුදුකරන්ට අමාරු එකක්. මොකද රාගය බලවත් අකුසලයක්. ඒ බලවත් අකුසලය දුරුකිරීම පිණිස අපි තුළ හැකියාවක් උපදවාගන්ට ඕනැ. අන්න ඒ හැකියාව උපදවගැනීම පිණිස අපි තුළ උපදවගතයුතු ධර්මයන් කීපයක් තියෙනව. ඒ තමයි ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන සේඛ බල උපදවා ගන්ට ඕන. 

"ශ්‍රද්ධාව" කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය අදහාගැනීම,
"හිරි" කියල කියන්නෙ පවට ලැජ්ජාව,
"ඔත්තප්ප" කියල කියන්නෙ පවට භය,
"වීරිය" කියල කියන්නෙ අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගන්ටත් පටන්ගත් වීරියෙන් යුක්ත වීම.
"ප්‍රඥාව" කියල කියන්නෙ, දුක් දුරුකිරීම පිණිස, අවබෝධයෙන් කලකිරීම ඉපදෙන ආකාරයෙන්, හටගැනීමත් නැතිවීමත් තේරුම්ගන්නා නුවණ. 

එතකොට හිරි ඔත්තප්ප, නැත්නම් එයා තුළ අකුසල් දුරුකිරීමේ කැමැත්ත උපදින්නෙ නෑ. අකුසල් දුරුකිරීමේ කැමැත්ත ඉපදිලා නැතිකෙනා තුළ පහාන සංඥාව පිහිටුවගන්ට බෑ. එහෙනම් පහාන සංඥාව උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රද්ධා, හිරි - ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන සේඛ බල උපදවගත්ත කෙනා තුළ.
රාග සිත ඉපදිච්ච වෙලාවෙදි අසුභය වඩනකොට ඇයි රාගය ම වැඩිවෙන්නෙ? දැන් මේක තෝරබේරා ගන්ට ඕන නේද? රාගය දුරුවෙන්නෙ අසුභය පුරුදුකිරීමෙන්. නමුත් රාගය පැමිණි වෙලාවට අසුභය වඩනකොට ඒ රාගය වැඩිවෙනවා නම්, මොකක්ද? හේතුව. 

නැත්නම් කෙනෙක් මේ කිව්ව එක පිළිගන්නෙ නෑ. මේ රාගය එන්නෙ මොනවටද? මොනවා උදෙසාද? මේ රාගය එන්නෙ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර... මේව කෙරෙහි මේ රාගය උපදින්නෙ.


කෙස් වලට රාගය උපදිනව, ලොම් වලට රාගය උපදිනව, දත් ටික කෙරෙහි රාගය උපදිනව, සම් වලට රාගය උපදිනව, නියපොතු වලට රාගය උපදිනව. එතකොට රාගය උපදින්නෙ ඒව සිහිකරනකොට නේද? ඇස තියෙනව, ඇසට පේන රූපය තියෙනව, ප්‍රිය මනාප රූප බලල ඒ නිමිති හිතේ තියාගෙන, නිමිති සිහිකරනව කියල අපි මොනවද සිහිකරන්නෙ? මුහුණ සිහිකරනව කියල මොනවද සිහිකරන්නෙ? හම, හමේ පාට, ලපයක් තියෙනව නම් ඒ ලපේ, කෙස් ටික, කෙස්වල රොදේ... ඕව නේද? සිහිකරන්නෙ. ඒව සිහිකරනකොට නේද? රාගය උපදින්නෙ. එහෙනම් රාගය ඉපදුන කෙනෙක් අසුභ සංඥාවෙදි මොකක්ද වඩන්නෙ? ඒත් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර... සිහිකරන්නෙ. 

එතකොට හොඳින් අසුභ සංඥාව පිහිටුවා නොගත්ත කෙනෙක් රාගය ආපුවෙලාවෙදි "කෙස්, ලොම්.." වශයෙන් සිහිකරනව. දැන් මොකද වෙන්නෙ? උපන් රාගය එතකොට නැතිවෙලා යන්නෙ නැතුව ආයෙ ඇවිස්සෙන්ට පුළුවන්. ඒ නිසා රාගය ආපුවෙලාවට පහාණ සංඥාව පුරුදුකරන්ට ඕන. අසුභය සිහිකරන්ට එපා. රාගය නැතුව තියෙන වෙලාවකදි තමයි අසුභය පුරුදුකරන්ට ඕන.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment