Friday, January 7, 2011

නොසි‍ඳෙන සතුට උනන උල්පත හඳූනා ගනිමු

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


කවුරුත් සතුටින් ඉන්න කැමතියි. බලවත් වූ සතුටකින් ඉන්න කවුරුත් කැමති ඇති. ඒ විදිහට සතුටින් ඉන්න කැමති කෙනෙක්, සතුටුවෙන්න පුළුවන් හොඳ විදිහක් තෝරගත්තොත්, එයා දක්ෂයෙක් නේද? එතකොට මොකක්ද අපිට සතුටුවෙන්ට පුළුවන් හොඳ විදිහ. සතුට ඇතිකරන උල්පතක් අපි පාදගන්න ඕනැ. 


උතුරාගිය සතුටකින් වාසය කරන්න කැමති කෙනෙක් විසින්, ඒ විදිහේ සතුටු උනන උල්පතක් හදාගන්න හොඳ විදිහ මොකක්ද? "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබුනා" කියල සතුටුවෙනවා නම්, ඒක නොසි‍ඳෙන සතුට උනන උල්පතක්. ඒ සතුට උනන උල්පත සි‍ඳෙන් නෑ. "මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන දැනගන්ට ලැබුනා" කියල යම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම්, සතුටුවෙන්ට පුළුවන්නම්, ඒක සතුට සි‍ඳෙන්නැති උල්පතක්. 

"මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඝරුවන ගැන දැනගන්ට ලැබුනා" කියලා යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම්, අන්න ඒක සි‍ඳෙන්නැති සතුට උනන උල්පතක්. යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම්, "මට ඒ උතුම් තිසරණය මුණගැහුනා, ඒ තිසරණය ගැන දැනගන්ට ලැබුනා" කියල, අන්න එයාට ඒ හිතන දේ සතුට උනන උල්පතක්. ඒක සි‍ඳෙන් නැති උල්පතක්. 


යම් කෙනෙකුට ඒ විදිහට හිතන්න පුළුවන් නම් එයා දක්ෂයෙක් නේද? අන්න ඒකයි අපි ඒ උල්පත පාදගත යුත්තේ. එතනින් මෙහා අපි මොන දේ කතා කළත්, මොන දේ කිව්වත්, මොන දේ කරන්ට උත්සාහ කලත්, මොන දේ හිතුවත් සැබෑ සතුටක්, නොසි‍ඳෙන සතුටක් අපේ ජීවිතේ පුරාවට පවත්වා ගන්ට, සතුටක් ඇතිකරගන්ට අපට පුළුවන් වෙයිද? එහෙනම් යම් කෙනෙකුට, හිතේ පුරාවට සතුටෙන් ඉන්න පුළුවන්නම්, වුවමනයි නම්, නොසි‍ඳෙන විදිහේ සතුටකින් සිටින්ට කැමතියිනම්, ඒ සතුට උනන උල්පත මොකක්ද කියල එයාට තේරෙන්ට ඕනැ, එයාට සිහිකරන්ට පුළුවන් වෙන්න ඕනැ. එයාට වැටහෙන්න ඕනැ, "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා කියල. එසේ තේරෙනව නම් එයා ඒ ලැබුණු මහා ලාභය සිහිකරනව.



ඒ වැටහීම තියෙන්නෙ කොහොම කෙනෙකුටද? බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබිල තියෙනවා නම් එයාට තේරෙනව "මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා" කියල. එතකොට එයාගෙ හිතේ ඒ අදහස තව කෙනෙක් විසින් ඇතිකරන්ට වුවමනා දෙයක්ද? නෑ. හැබැයි වෙන කෙනෙක් සිහිකරල දෙන්ට පුළුවන්. 

සිහිකරල දුන්නට පස්සේ ඒ අදහස, ඒ සතුට තමන් තුළම උපදින දෙයක්. ඊට පස්සෙ එයාට සිහිකරන්ට පුළුවන් නම් "මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම සුන්දර වූ, සැප සළසා දෙන ඒ උතුම් ධර්මය මුණගැහුනා, ඒ ධර්මය ගැන දැනගන්ට ලැබුනා" කියලා, එහෙම හිතන්නෙ කෙහොම කෙනෙක්ද? ඒ ධර්මය මුණගැහුන කෙනා. 

මුණනොගැහුන කෙනාට හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. එහෙනම් කෙනෙකුට හිතන්න පුළුවන්නම් උතුම් සඝ රුවන මට මුනගැහුනා කියල ඒ කොහොම කෙනාටද හිතන්න පුළුවන්? ඒ සඝ රුවන මුණගැහුන කෙනාට තමයි ඒ විදිහට හිතන්න පුළුවන් වෙන්නෙ. ඒක තව කෙනෙකුට බලහත්කාරයෙන් හිත තුළ ඇතිකරවන්න බෑ. සැබවින් ම තෙරුවන් මුණගැහුනනම් එයාට සිහිවෙනව "මට තෙරුවන් මුනගැහුනා" කියල. 


දැන් බලන්න හීනයක් දැකපු කෙනෙක්, උදේට සිහිකරනවද නැද්ද මට හීනයක් පෙනුනා කියල. මේ වැඩක් නැති සිහිනයක් දැකපු කෙනාට ඒ සිහිනෙ සිහිවෙනව නම්, මේ ලෝකේ අතිශයින් බලසම්පන්න වූ, අතිශයින් දුර්ලභ වූ පරම ගම්භීර වූ ඒ තෙරුවන සිහිකරන්න එයාට තව කෙනෙක් බලකරන්න ඕනැද? ඒක සිහිවෙනව. ඒක ධර්මතාවයක්. 

"බුදුරජාණන් වහන්සේ මුණගැහුනා, බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබුනා" කියල යම් කෙනෙකුට හිතන්න පුළුවන්නම් ඇත්තෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්ත කෙනෙකුටයි. ධර්ම රත්නය මුණගැහුනා කියල හිතන්න පුළුවන්වෙන්නේ ඇත්තෙන්ම ධර්ම රත්නය මුණගැහුන කෙනෙකුටයි. 

සඝ රුවන මුණගැහුනා කියල හිතන්න පුළුවන්වෙන්නේ ඇත්තෙන්ම මුනගැහුන කෙනෙකුටයි. මට තෙරුවන මුණගැහුනා කියල හිතන්න පුළුවන් වෙන්නෙ ඇත්තෙන්ම මුණගැහුන කෙනෙකුටයි. ඒක නොසි‍ඳෙන සතුට උනන උල්පතක්. ඒ සතුට උනන උල්පත සි‍ඳෙන් නෑ. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

No comments:

Post a Comment