Friday, January 7, 2011

උපක්‍රමයෙන් පිරිසිදු කරගතයුතු සිත

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වත්නි, බොහෝ කලක් මේ හිත කෙලෙස්වලින් කිලිටිවෙලා ඉතාම අපිරිසිදු ස්වභාවයකට පත්වෙලා තියෙන එකක්. ඉතින් එබඳූ අපිරිසිඳූ වූ සිතක් පිරිසිදු කරගැනීම අපිට කඩිමුඩියෙ, හදිස්සියෙන් කල හැකි දෙයක්ද? කරන්ට බෑ. ඉතාමත්ම නුවණින්, ඉතාම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙකුට මේ අතිශයින් කිලිටි සහිත සිත, අපට තෝරා බේරා ගන්ට බැරි සිත, ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට ඒ විදිහට අපිට අඳූනගන්ට බැරි, තෝරගන්ට බැරි, අපිරිසිදු සිත මේ සිතම මුල්කරගෙන, මේ සිතම උදව්කරගෙන පිරිසිදු කරගන්ට ඕනැ. 


එතකොට අපි අන්න ඒ වගේම බැරෑරුම් කටයුත්තක් තමයි කරන්ට තියෙන්නෙ. ඉතාම අමාරු දුෂ්කර කටයුත්තක් අපි කරන්ට ඕනැ. අන්න ඒ වගේ දුෂ්කර කටයුත්තක් කරනකොට මේ හිත මෙල්ල කරගන්ට ඕනැ. හිත මෙල්ලකරගෙන මෙල්ල වූ හිතින් තමයි මේ හිත පිරිසිදු කරගන්ට තියෙන්නෙ. බලහත්කාරයෙන් අපිට හිත සුමඟට ගන්න බෑ. කැලේ ඉන්න සතෙක්වත් බලහත්කාරයෙන් සුමඟට ගන්න බෑනෙ. සුමඟට ගන්නෙ කොහොමද? උපක්‍රමශීලීව, ක්‍රමාණුකූලව, ඉතාම ඉවසීමෙන් තමයි මේ සිත සුමඟට ගන්න තියෙන්නෙ. අන්න ඒ විදිහට මේ සිත සුමඟට ගැනීම පිණිස කරන උපක්‍රමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ.


පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, තමාට අයහපත කිරීමට හේතුවන දේවල් විටින් විට, කලින් කල හොයල බලන්න කියල. තමාට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල හොයල බලන්න කියනව. ඊලඟට අන් අයට යහපත උපදවල දෙන සම්පත්තීන් ගැන කලින් කල ප්‍රත්‍යවේක්ෂා කරල බලන්න කියනව. අන් අයට අයහපත කරන විපත්තීන් ගැනත් කලින් කල බලන්න කියනව. අන්න ඒ විදිහට බලනකොට මේ සිත දමනය වෙන්න පටන්ගන්නව.


දැන් බලන්න දේවදත්ත කරගත්ත විපත ගැන යම් කෙනෙක් කල්පනා කළොත්, දේවදත්ත තමාගේ ජීවිතයට යහපත කරගන්ට අවස්ථාව තිබෙද්දී ආයෙ ගොඩ එන්ට බැරිමට්ටමට ජීවිතේ විනාශ කරගත්තා කියල කෙනෙක් කල්පනා කළොත්, ඒ සිද්ධවුනේ කොහොමද කියල කල්පනා කළොත්, එයා තමාගේ ජීවිතේ නසාගත්තේ කොහොමද? මොකද වුනේ කියල යමෙක් කල්පනා කළොත්, එසේ කල්පනාකරන කෙනා, එසේ කල්පනා කිරීම නිසා, ඒ තමාගේ හිත දමනය කරගන්ට සමත්වෙනව. ඒක උපක්‍රමයක්. ඒ වගේම තමයි යම් කෙනෙක් ඇතිකරගත්ත යහපත ගැන යමෙක් කල්පනා කළොත් එහෙම අන්න ඒ කල්පනා කිරීම මඟින් ඒ කල්පනා කළ කෙනාගෙ හිතට වීරිය උපද්දල දෙනව, හිත දමනය වෙනව. 


ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ නුවණින් කල්පනාකිරීමේ ක්‍රමයක් අපිට කියා දෙන්නෙ. එතකොට අපිට ඕනැ විදිහට අපේ හිත හැදෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙන ආකාරයෙන් කල්පනා කරන්ට කරන්න මේ හිත ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් යහමගට එනව. යහපත් දේ කරන්ට පුළුවන් විදිහට හිත දමනය වෙනව. 

මේ හිතේ ස්වභාවය තමයි යහපත් දේ කරන්ට ලේසියෙන් හිත නැමෙන්නෙ නෑ. අයහපත් දේ කරන්ට මේ හිත පහසුවෙන් නැමිල යනව. ඒ නිසා තමයි සසර බොහෝ කලක් යන්ට සිද්ධවුනේ. දැන් අපි මේ සසර දුකෙන් නිදහස්වෙලා සසර ගමන නතර කරගන්ට නම් මේ හිත යහපතට යොමුකරගන්ට ඕනැ. අයහපතෙන් වලක්වගන්ට ඕනැ. එතකොට මේක තමයි දුෂ්කර, අමාරු දේ. ඒ විදිහට අයහපතෙන් වළක්වගෙන යහපතේ පිහිටුවා ගන්ට නම් උපක්‍රමයෙන් තමයි කරන්ට තියෙන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment