Friday, January 7, 2011

දෙලොවම දිනන සොඳූරු සම්පත්

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පින්වතුනි, 

මේ ජීවිතයට යම් සැපක් ඇතිකරල දෙන බවභෝග තියෙනව. ඒ බව භෝග ජීවිතයට යම් සැපක් හදලදෙන්න තියෙන දේවල් නේද? ඉඩකඩම් වේවා, තියෙන යම් වස්තුවක් වේවා, ඒකෙන් සැපක් උපදවල දෙනව.
මේ පින්වතුන් ඒක සොයා බලා උනන්දුවෙන් ආරක්ෂා කරගත්තෙ නැත්නම්, ටික කලෙකින් ඒක වැනසිලා යනව නේද? සත්තුන්ගෙන් වේවා, සොර සතුරන්ගෙන් වේවා, සොභාදහමෙන් හෝ වේවා ඒකට හානි පැමිණෙනවද නැද්ද? පැමිණෙනව. ඒ අපි කිව්වෙ මේ ජීවිතයට යම් සැපක් ඇති කරල දෙන භෞතික සම්පත්.
නමුත් මේ ජීවිතයටත්, මතු ජීවිතයටත් පරිපූර්ණ සැපක් උපදවල දෙන, මේ ජීවිතය ආපස්සට පිරිහෙන්න නොදී සියලු දුක් දුරුකරගෙන නිවන අවබෝධ කිරීම දක්වාම අපිට යහපත ඇතිකරන සම්පත් තිබෙනව. අන්න ඒ සම්පත් පිළිබඳව අපි නුවණින් විමසා බැලිය යුතුයි. 

ඒ වගේම අපිට මේ ජීවිතයෙත් දුක් උපදවන, මතු ජීවිතයේ මීටත් වඩා දුක් උපදවන සසර බොහෝ දුක උපද්දවන විපත්තීනුත් තිබෙනව. අන්න ඒව ගැනත් අපි නුවණින් කල්පනා කරල බැලිය යුතුයි.
මගේ සම්පත්තීන් තියෙනවද? ඉපදුනාද? උපදවගත්තද? ඒවා රැකෙනවද? වැඩි දියුණු වෙනවද? හානි පැමිණෙනවද? කියල තමාම ඒ තමාගේ සම්පත්තීන් ගැන සොයා බැලිය යුතුයි. ඒ වගේම තමා දුගතියක ඉපදෙන්ට හේතු වන විපත්තීන් තියෙනව. අන්න ඒව ගැනත් බලන්න ඕනැ. 

ඒ විපත්තීන් තාම තියෙනවද? ඒ විපත් කරන ස්වභාවයේ දේවල් දියුණු වෙනවද? ක්ෂය වෙනවද? මේ විදිහට අපි සොයා බැලිය යුතුයි. එතකොට අපිට යහපත ඇතිකරන සම්පත්තීන් මොනවද? සීල සම්පත, චිත්ත සම්පත, දිට්ඨි සම්පත. ඒ වගේම තමාට අයහපත ඇතිකරල දෙන දේවල් තමයි සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය. 

සීල සම්පත්තිය කියල කියන්නෙ, භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන සීලයක් තියෙනවනෙ, අන්න ඒ සීලය අපි තේරුම් අරගෙන, ඒ සීලය ගැන ගෞරවයෙන් යුක්තව, ඒ සීලය සමාදන් වෙලා, ඒ සීලය ඉතා හොඳින් රැකගැනීම තමයි සීල සම්පත්තිය වෙන්නෙ. 

ඊලඟ සම්පත චිත්ත සම්පත. ඊලඟ සම්පත දිට්ඨි සම්පත. එතකොට අපි විටින් විට නුවණින් කල්පනා කරල බලන්න ඕනැ මගේ සීල සම්පත ආරක්ෂා වෙනවද? ඒ සීල සම්පත වැඩි දියුණු වෙනවද? නැත්නම් දියුණු වෙන්නෙ නැද්ද? කියල. එහෙම හොයල බැලුවෙ නැත්නම් ඒ සම්පත පිරිහෙන්ට පුළුවන්. 

එතකොට අපි සොයා බලන්න ඕනැ සීලයට හානි වෙනවද? සීල විපත්තීන් ඇතිවෙනවද? ඒව මම දුරුකරගන්නවද? මේ ආදී වශයෙන් අපි කලින් කලට හොයල බලන්න ඕනැ. එතකොට අපි ඒ විදිහට හොයල බලන්ට බලන්ට අපිට සීල විපත්තීන් දුරුකරගන්ට පුළුවන්. සීල සම්පත්තිය බලවත් කරගන්ට පුළුවන්. 

ඒ වගේම තමයි චිත්ත සම්පත්තිය. දැන් යම් කෙනෙකුට දැඩි ලෝභය තියෙනව නම්, දැඩි ද්වේෂය තියෙනව නම් ඒ දැඩි ලෝභයෙනුත් දැඩි ද්වේෂයෙනුත් එයාගේ සිතට හානිවෙනව. ඒක චිත්ත විපත්තිය. එතකොට දැඩි ලෝභය, දැඩි ද්වේෂය තියෙන කෙනාට මේ ජීවිතයත් සැප නෑ. දුක් උපද්දවන්නෙ. ඊලඟ ජීවිතයත් එයාට සැප උපද්දවන්නෙ නෑ. දුක් උපද්දවන්නෙ. නමුත් ඒ දැඩි ලෝභය, දැඩි ද්වේෂය ක්‍රම ක්‍රමයෙන් බැහැර කරගත්තයින් පස්සෙ එයාගෙ හිත සුවපත් බවට පත්වෙනව. 

ඒ දැඩි ලෝභයත්, දැඩි ද්වේෂයත් අයින් වුනයින් පස්සෙ, ඒ සිත පහන් වෙච්ච දෙයක්, පිරිසිඳූයි. ඒ සිත සම්පතක්. සම්පත කියල කියන්නෙ එයාට සැප උපද්දවල දෙන දෙයක් නිසා. ඒ නිසා අපි ඒ සම්පත්තීන් විපත්තීන් ගැන ඉගෙන ගෙන, විපත් කරන දේවල්, විපත්තීන් බැහැර කර ගනිමින්, දුරු කරගනිමින්, සම්පත්තීන් අපි උපදවගන්ට ඕනැ. 

ඊලඟ සම්පත මොකක්ද? දිට්ඨි සම්පත. සම්මා දිට්ඨිය උපදවාගැනීම. සම්මා දිට්ඨිය උපදවගත්තොත්, ඒක දිට්ඨි සම්පත. එතකොට මිත්‍යා දුෂ්ඨියෙන් යුක්ත නම් යම් කෙනෙක් ඒක දිට්ඨි විපතයි. එයාගෙ දෘෂ්ඨිය එයාට හානි පිණිසයි පවතින්නෙ. විනාසය පිණිසයි පවතින්නෙ. 

එතකොට අපි මේ සම්පත් විපත් ගැන ඉගෙන ගෙන, අපිට හානිකරවන විපත්තීන් තේරුම්අරගෙන, ඒවා ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් බැහැර කරගන්ට ඕනැ. සම්පත්තීන් ක්‍රම ක්‍රමයෙන් උපදවාගනිමින්, ඒවා දියුණුකරගනිමින් බලවත් බවට පත්කරගන්ට ඕනැ. එතකොට අපි මේ ජීවිතය සතුටින් ගතකරන්න පුළුවන්කම තිබෙනවා. සැපසේ වාසය කරනව. 

අන්න ඒ විදිහට සැපසේ වාසය කරන කෙනාගේ මතු ජීවිතේ සැපවත් ජීවිතයක් බවට පත්කරගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. එයාට නිවන කරාම ජීවිතය දියුණුකරගන්ට අවස්ථාව සැලසෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment