Friday, January 7, 2011

සම්පත්තීන් විපත්තීන් හඳූනාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

තමාගේ ජීවිතය දියුණුකරගන්ට හොයල බැලුවෙ නැත්නම්, ප්‍රත්‍යවේක්ෂා කලේ නැත්නම්, එයාට මොකද වෙන්නෙ? ඔන්න දැන් තමාගේ සීල සම්පත, චිත්ත සම්පත, දිට්ඨි සම්පත, ගැන හොයල බලන්නෙ නෑ. ඒ විපත්තීන් ගැන හොයල බලන්නෙත් නෑ. 

මෙහෙම ඉන්නකොට අපේ පුරුද්දට කලක් තිස්සෙ සිතේ තිබුණ ස්වභාවයන් මතුවෙලා එනව. ඔන්න එයාට ලාභයන් මතුවෙලා එනව. මොකද වෙන්නෙ එතකොට? දැන් එයා ඒකට ආසකරනව නේද? ඇයි ඒකෙ ආශ්වාදයක් තියෙනවනෙ. එයා හිතනව, "මට ලාභයක් ලැබුන, මම වාසනාවන්තයෙක්, මට පිනක් තිබුන, මගෙ පිනට මේ ලාභය ඉපදුනා" කියල. 

එතකොට මෙහෙම ලාභ ලැබෙන්න ලැබෙන්න එයා හිතනව, "මම කොච්චර පිං වන්තයෙක්ද? වාසනාවන්තයෙක්ද? මට ලාභ ලැබෙනව. ඔයගොල්ලන්ට තමයි නැත්තෙ" කියල. එතකොට තමා ඒකෙන් මත් වෙනව. අන් අය යටකරනව. මේ විදිහට ඉන්ට ඉන්ට එයා ලාභයෙන් මත්වෙන්ට පටන්ගන්නව. 

එතකොට ඒ විදිහට ලාභයෙන් මත්වෙන කෙනා ඒ ලාභය නිසා තමා වැදගත් කෙනෙක් කියල කල්පනා කරනව. අන් අය හෙලා දකිනව. එතකොට තමාත් අසත්පුරුෂ ගති පුරුදුකරන කෙනෙක් බවට පත්වෙලා. අසත්පුරුෂ ගතිය තමයි තමා හුවාදක්වමින් අන් අයව හෙලා දක්වන ස්වභාවය. 

එතකොට බලන්න අසත්පුරුෂ ගති දැන් පුරුදුකරනව. මොකක්ද මුල්වුනේ? අර ලාභයට යටවුනා. අපි තමාගේ සම්පත්තීන් විපත්තීන් හොඳ තේරුමකින් හොයා බලනනව නම්, ඒ කෙනා තමන්ගේ සීලය ගැන හොයා බලමින් ඉන්නව. 

මගේ සීලය මට සම්පත්තියක්. ඒ සීල සම්පත්තිය මම දියුණුකරගන්ට ඕනැ. කලින් කලට හොඳට එයා සොයා බලනව. චිත්ත සම්පත ගැන හොයල බලනව. හිත මම ලෝභයට යටවෙන්ට දෙන්ට හොඳ නෑ. දැඩි ලෝභය මට විනාශය උපදවන දෙයක්, දැඩි ද්වේෂය මට විනාශය උපදනව දෙයක්, මේ සිතේ විපත් ස්වභාවය නැතිකරගන්ට ඕනැ. 

මෙයා විටින් විට හොයල බලනව, කලින් කලට හොයා බලනව තමාගේ සිත ගැන. දැඩි ලෝභය තියෙනවද? මේ විදිහට. තමාගේ සිත ගැන හොයල බලන කෙනෙක් නම් ලාභයක් ලැබුනහම ඒකට යටවෙයිද? යට වෙන්නෙ නෑ. හොයල බලන්නෙ නැති කෙනා ඒකට යටවෙනව. 

ප්‍රත්‍යවේක්ෂා නොකරන කෙනා ඒකට යටවෙනව. අලාභයක් ලැබුනහම ඒකටත් යටවෙනව. යසස එකටත් යටවෙනව. අයස, ඒකටත් යටවෙනව. සත්කාර, අසත්කාර ඒවටත් යටවෙනව. ඊට පස්සෙ පාපී ඉච්ඡාව. පාපී ඉච්ඡාවට යටවෙන්නෙ ඇයි? දැන් එයාගේ සම්පත් විපත් ගැන හොයල බලන්නෙ නෑනෙ. 

එතකොට එයාට සීලය සම්පතක් බවට පත්වෙනවද? සීලය පිරිහෙනව. ඇයි දැන් එයා යටවෙන්නෙ ලාභයට, අලාභයට, සත්කාර, අසත්කාර මේවට. එතකොට එයා තමාට ලැබෙන ලාභය රැකගන්න, දියුණුකරගන්ට තමයි මහන්සිවෙන්නෙ. අලාභයට අකමැතිවෙලා ඒක බැහැරකරගන්ට එයා මහන්සිවෙනව. 

යසස වැඩිකරගන්ට මහන්සිවෙනව. සත්කාර උපදවගන්න මහන්සිවෙනව. නමුත් ඒව උපදවගන්න එයා තුළ උපන්දෙයක් එයාට නෑ. මොකද කරන්නෙ එයා? සීලය නැත්නම් තියෙනව වගේ පෙන්වනව. එයා තුළ යම් නුවණක් නැත්නම්, නුවණ තියෙනවා වගේ එයා පෙන්වන්න උත්සාහ කරනව. එතකොට පාපී ඉච්ඡාව කියන එකත් එයා තුළ මතුවෙනව. අන්න ඒකටත් එයා යටවෙනව. ඇයි එයාට රැකෙන්න තියෙන උපක්‍රමක් ඒක.
තමාට ලැබෙන ලාභය රැකගන්නත්, අලාභ බැහැරකරගන්ටත්, යසස උපදවගන්ටත් එයාට තියෙන උපක්‍රමයක් තමයි පාපී ඉච්ඡාව. ඊලඟට ඒකට අනුබල දෙන්නේ පාප මිත්‍රය. පාප මිත්‍රය කවදාවත් ඒව බැහැරකරගන්ට අනුබල කරන්නෙ නෑ. එතකොට එයා පාප මිත්‍රයාටත් ගොදුරුවෙලා යනව. 

එතකොට බලන්න තමාගේ සම්පත්තීන් විපත්තීන් කලින් කලට ප්‍රත්‍යවේක්ෂා කරනව නම්, එයා පාපී අකුසලයන්ට ගොදුරුවෙන ස්වභාවය අඳූරගන්නව. එයා තේරුම්ගන්නව ලාභයෙන් මගෙ හිත යටවෙනව, අලාභයෙනුත් මගෙ හිත යටවෙනව කියල තේරුම් අරගෙන ඒ අකුසලයන් බැහැරකරගන්ට කල්පනා කරනව, කටයුතු කරනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment