Friday, January 7, 2011

අසත්‍ය බැහැරකරමු - සත්‍යයට පැමිණෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අපේ ජීවිතයට අදාළ දේවල් මොනවද? අපේ ජීවිතයට අදාළ දෙයක් තමයි ඉපදීම. ඉපදුණ කෙනාට ඊට පස්සෙ මොකද වෙන්නෙ? වයසට යාම සිද්ධවෙනව. එහෙනම් ඒකත් මේ ජීවිතයට අයිති දෙයක්. ඒ වගේම එයාට සිද්ධවෙන දෙයක් තමයි ලෙඩ වෙන එක, ඒ වගේම මරණයට පත්වීම. මේව මේ ජීවිතයට අයිතිය. 

ඊළඟට ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය දේවල්වල්වලින් වෙන්වෙන්ට සිද්ධවීම. ඒකත් මේ ජීවිතයට අයිතියි. ඊළඟට අප්‍රිය පුද්ගලයන්, අප්‍රිය දේවල් සමඟ එකතුවෙන්ට සිද්ධවෙනව. ඒකත් මේ ජීවිතයට අයිතියි. ඊළඟට අපි කැමති දේවල් තියෙනව, අන්න ඒ කැමති දේවල් නොලැබීම තියෙනව. අන්න ඒ ස්වභාවයත් මේ ජීවිතයට අයිතියි. ඒ දේවල්වලින් බැහැර දෙයක් තව තියෙනවද ජීවිතේ? හොඳට බලන්න. ඒවයින් බැහැර දෙයක් මේ ජීවිතේ නෑ. 


භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදෙන ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතුවීම, කැමති දේ නොලැබීම කියන ජීවිතයට සම්බන්ධ මේ දේවල්වල ස්වභාවය මොකක්ද? අන්න ඒ හැම දෙයක් ම දුකයි. ඒව දුකට අයිතියි. ඒවයින් දුක හදනව. දුක තුළ ම බැසගන්න දේවල්. 

බලන්න එතකොට ජීවිතයට සම්බන්ධ යමක්ද තියන්නේ, ඒ සියලු දේ ම දුකටයි අයිති. මේ දුකට අයිති දේවල්, දුකට අයිති නෑ කියල යමෙකුට කියන්න පුළුවන්ද? හොඳට තේරුම්අරගෙන තමන්ගෙ ජීවිතයට සම්බන්ධ කරගෙන කල්පනා කරන්න. එතකොටයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය පරම සත්‍යය යි කියල අපිට වැටහෙන්නෙ. 

අපි විසින් අවබෝධකල යුත්තේ අන්න ඒ ධර්මයයි. ඒ පරම සත්‍යය අපි අවබෝධ කළොත් අපේ ජීවිතය තුළ තිබෙන අසත්‍යය බැහැරවෙලා යනව. අන්න එපමණකින්ම එයා ආරක්ෂිත කෙනෙක් බවට පත්වෙනව. අන්න එයාට පුළුවන්කම ලැබෙනව අඬන වැළපෙන ස්වභාවයෙන් නිදහස්වෙන්න, සුවපහසු ජීවිතය ඇතිකරගන්ට එයාට පුළුවන්කම තිබෙනව. 


ඉපදීම දුකක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව. හොඳට කල්පනා කරල බලන්න ඉපදීම කියන සිද්ධිය දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව පෙන්වා දෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම තමයි ඉපදිච්ච කෙනා ට සිද්ධවෙන දේ තමයි, වයසට යන එක. ඒ වයසට යාමත් දුකක්.
ඒක සැපක් කියල කිසිකෙනෙකුට කියන්න බෑ. ඒ වගේම ඒ වයසට යාම, ජරාවට පත්වීම කියන එක දුක නෙවෙයි කියල මේ ලෝකේ කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව පෙන්වා දෙන්න බෑ. ඒ නිසා අපි ඉපදීමත් දුකක් කියල තේරුම්ගන්ට ඕනැ. වයසට යාමත් දුකක් කියල තේරුම්ගන්න ඕනැ. ඒ වගේම තමයි ලෙඩවීමත් දුකක්. 

මේ ලෝකේ නුවණ තියෙන කිසිකෙනෙකුට ලෙඩවීම දුක නෙවෙයි කියල කියන්න බෑ. හොඳට කල්පනා කරල බලන්න. තමන්ගෙ ජීවිතයට ගලපාගෙන බලන්න. ඊළඟට බලන්න ප්‍රිය අයගෙන්, ප්‍රිය දේවල්වලින් වෙන්වීම දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කිසියම් ම කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ. ඊළඟට බලන්න අප්‍රියයන් සමඟ එකතුවීම. ඒකත් දුකක් නෙවෙයි කියල නුවණ තියෙන කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ. 


එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් දුකක් කියල යමක් දේශනා කලානම් ඒක දුකක් ම යි. අපි අතීතයෙ ජීවත්වෙච්ච කෙනෙක් ගැන කල්පනා කළත් එයාටත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම මේ කියන දේවල් දුකක්ම යි. අනාගත ලෝකයේ ඉපදෙන යම් කෙනෙක් බැලුවොත් එයාටත් ඒක දුකක්මයි, වර්ථමානයේ මේ ලෝකයේ කොහේ කෙනෙක් හිටියත්, ඕනෑම කෙනෙකුගෙන් අහල බැලුවොත් එයාට ලෙඩවීම දුකද සැපද කියල, ඒ හැම දෙනාටම ඒක දුකක්. 


ඒ් නිසා අපේ ජීවිතයට සම්බන්ධ මේ දුක කියන දේ අපි වටහාගන්න ඕනැ. දුකට අයිති දේ අපි තේරුම්ගන්ට ඕනැ. ඒක අපි පිළිගන්න ඕනැ. අන්න ඒ විදිහට අපි ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගත්තොත්, අපි මෙතෙක් කල් ජිවත්වුන අසත්‍යය බැහැරකරල සත්‍යය තුළට පැමින වාසය කලොත් අපිට ආරක්ෂාවක් තියෙනව. අන්න එයාට අඬන වැළපෙන ස්වභාවය නැතිකරගෙන සුවපහසුවෙන් වාසයකරන්න පුළුවන්කමක් තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment