Friday, January 7, 2011

සිහිය දියුණුකරගෙන බලවත් කරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



බණ භාවනා පුරුදුවෙනකොට හොඳට තේරුම්ගන්ට ඕනැ කලබල කරගන්නෙ නැතුව භාවනාව පුරුදුවෙන්න. භාවනාව ආරම්භ කරනකොටම හොඳට සිත කය සංසුන් කරගන්න ඕනැ. ඒ වගේම තමයි සිහිය හොඳට උපදවගන්නත් ඕනැ. කලබලේට භාවනාව පුරුදුවෙන්ට එප. කලබලේට භාවනා කරන්න පුරුදුවුනොත් එහෙම සිහිය උපදවගන්ට අපිට බැරිවයනව. සිහිය උපදවගන්ට බැරි වුනොත් භාවනාවකින් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගන්න බැරිවයනව. භාවනාවකින් අපේක්ෂා කරන්නේ සිහිය උපදවගෙන ඒ සිහිය දියුනුකරගෙන බලවත් දෙයක් බවට පත්කරගැනීම. සිහිය පරිපූර්ණ කරගැනීම.

එතකොට අපි ආරම්භයේදීම කලබලවුනොත් එහෙම අපිට සිහිය උපදව ගන්න බෑ. සිහිය කියල කියන්නෙ උපදවගත යුතු, උපදවගෙන දියුණු කරගත යුතු, දියුණුකරගෙන පරිපූර්ණ බවට පත්කරගත යුතු දෙයක්. එතකොට අපි භාවනාකිරීමෙන් බලාපොරෙත්තු වෙන්නේ සිහිය උපදවාගෙන ඒක දියුණුකරගෙන සම්පූර්ණ කරගන්ට, සිහිය බලවත් කරගන්ට.


එතකොට ආරම්භයේදීම අපි කලබල වුනොත්, කලබලේට භාවනාකරන්න පුරුදුවුනොත්  ඒ භාවනාවෙන් අපේක්ෂා කරන දේ ලැබෙන්නෙ නෑ. අපි ඇයි සිහිය පුරුදුකර ගන්නේ සිහිය නැති නිසා තමයි ඇහෙන් දකිනදේට බැඳි යන්නෙ කණෙන් අහනදේට බැඳි යන්නෙ නාසයට දැනෙන ගඳසුවඳට බැඳි යන්නෙ දිවට දැනෙන රසයට බැඳි යන්නෙ කයට දැනෙන පහසට බැඳි යන්නෙත් සිතට දැනෙන අරමුණට බැඳි යන්නෙත්.


අපි සිහිය පුරුදු කරගත්තොත්  සිහියෙන් වාසය කරන්ට කරන්ට හටගත්තා වූ යම් බැම් තියෙනවා නම් ඒ බැඳීම ලිහෙන්න පටන්ගන්නව ඒවායෙන් නිදහස්වෙන්ට පටන්ගන්නව ඒ වගේම සිහියෙන් ඉන්ට ඉන්ට අළුතෙන් බැඳීම් හටගන්න එක වළකින්න පටන්ගන්නව එතකොට යම් දවසක අපි සිහිය පරිපූර්ණ කරගත්තොත් පරිපූර්ණ සිහියෙන් ඉන්න අපි පුරුදුවුනොත් අන්න එදාට තියෙන බැඳීම් ඔක්කොම ක්ෂය වෙලා අළුතෙන් බඳීම් හටගන්නෙ නෑ.


එහෙනම් ඒ විදිහට සිහිය උපදවගෙන සිහිය දියුණුකරගෙන සිහිය බලවත් දෙයක් බවට පත්කරගැනීම පිණිසයි භාවනාව කරන්නෙ ඒ නිසා ආරම්භයේදීම සිත කය සැහැල්ලුවෙන් පවත්වගන්න බලන්න. සැහැල්ලුවෙන් පවත්වගන්නවා කියන එකෙන් අදහස්කරන්නෙ කලබලේ අතහැරල සිහිය උපදවගන්නව කියන එකයි. 

දැන් ගෙදර දොරේ යම් යම් කටයුතු කර කර ඉඳල පොඩි වෙලාවක් හදාගන්නව භාවනා කරන්න. ඊලඟට ගිහිල්ල ඉඳගන්නව භාවනා කරන්න. එහෙමනෙ ගොඩාක් වෙලාවට වෙන්නෙ. එහෙම කලොත් අපිට සිහිය පිහිටුවගන්න බෑ. කළබලේ තියෙද්දී දියුණුවක් ඇතිකරගන්න බෑ පිරිහීම් ඇතිවෙනව. බිඳ වැටීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වාඩිවුනහම, එකපාරට භාවනාව කරගෙන කරගෙන යන්න එපා.

වාඩිවෙලා සිතත් කයත් සැහැල්ලුවෙන් සංසුන්ව ඉන්න. ඒ ඉන්නකොට තමන් තේරුම් ගන්න මම කොතනද ඉන්නෙ කියල. දැන් මේ අය ගෙදර යම් තැනක වාඩිවෙනව නම් ඇස් වහගන්න කලින්ම තේරුම්ගන්න කාමරේ නම් ඉන්නෙ මම දැන් මේ කාමරේ වාඩිවෙලා ඉන්නෙ කියල. ඊට පස්සෙ හිමීහිට ඇස් වහගෙනත් තේරුම් ගන්න මම දැන් මේ කාමරේ ඉන්නෙ කියල. අන්න ඒක අපිට එහෙ මෙහ දුවන හිත සංවරකරගන්න එහෙම නැත්නම් කළබලය අඩුකරගන්ට පුංචි උපක්‍රමයක් ඒක එතකොට අපි ඇස්වහගෙන ඉන්දැද්දි දන්නව කොතනද ඉන්නෙ කියල. 

ඊට පස්සෙ අපි ඒ විදිහට හොඳට හිත පිහිටුවගෙන තමන් වාඩිවෙලා ඉන්න ඉරියව්වටත් හිත පිහිටුවගන්නව. ඉරියව්වත් හොඳින් හිතින් තේරුම්ගන්න. ඊට පස්සෙ අපි භාවනාව පුරුදුකරන්න ඕනැ. ඒ අදාල මනසිකාරය හිමිහිට පුරුදුකරගන්න. 

එහෙම නැත්නම් ගොඩාක් අය කරන්නෙ ඇවිදින් වාඩිවුනා, භාවනා මනසිකාරය කරගෙන කරගෙන යනව ඇස්දෙක වහගෙන. ටිකක් වෙලා ගියායින් පස්සෙ කොහේ ගියාද කියල මතක නෑ කල්පනාව නෑ. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක දියුණුවක් නෙවෙයි. ඒකෙන් පිරිහෙන පැත්තට හිත නැඹුරුවෙන්ට ඉඩතියෙනව. ඒක අනතුරක්. ඒ නිසා ආරම්භයේදීම හොඳට සිහිය උපදවගන්න. 

ඊට පස්සෙ තමන්ගේ ඉරියව්වට සිහිය පිහිටුවගත්තහම සිහිය උපදින්ට පටන්ගන්නව. ඊට පස්සෙ ටිකෙන් ටික ටිකෙන් ටික භාවනා මනසිකාරයට සිත පුරුදුකරන්ට පුරුදුකරන්ට සිහිය ඉපදෙනව. එතකොට භාවනා කරන අතර වුනත් අපි දන්නව කොහෙද ඉන්නෙ කියල. අපි ගෙදර ඉඳල මේ භාවනා කරන්නෙ කියල දන්නව. එහෙම නැත්නම් භාවනා කරන අතර කොහෙද ඉන්නෙ කියල තේරෙන්නෙ නෑ. 

ඒ නිසා හොඳට සිහිය උපදවගන්ට පුරුදුකරන්න. ඒ සඳහා උපක්‍රමයක් තමයි අපි අද කියල දුන්නෙ. හොඳයි අපි මේ සියලු දෙනාටම සිහිය හොඳින් උපදවගෙන ඒ සිහිය දියුණු කරගෙන පරිපූර්ණ කරගෙන සිහි නුවණ බලවත් විදිහට උපදව ගන්ට භාග්‍ය උදාවේවා කියල සෙත්පතනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment