Friday, January 7, 2011

මග නොමග හඳූනාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පින්වත්නි, 

ධර්මය තුළින් අපේ ජීවිතය දියුණු කරගැනීම කියල කියන්නෙ, අකුසලයෙන් සිත මුදවගෙන, කුසලයට පමුණුවගෙන, සිත පිරිසිඳූ දෙයක් බවට පත්කරගන්නවා කියන එක. එතකොට ඒ සඳහා අකුසල් බැහැරකිරීම කියන දේ සිදුකරන්ටම ඕනැ. අකුසලය පවතිද්දීම සිතේ පිරිසිඳූ බවක් ගැන කතා කරන්ට හෝ හිතන්ට හෝ පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. 

එතකොට ධර්මය අවබෝධ කරගන්නවා කියල කියන්නෙ අකුසල් බැහැරකරමින්, කුසල් උපදවගෙන, සිත පිරිසිදු කරගන්නවා කියන එකමයි. ඉතින් මේ කටයුත්ත හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. නමුත් එයින් අදහස්වෙන්නෙ මේක අපිට අතහරින්ට කියන එක නෙවෙයි. මේක අපිට කරගන්ට අවස්ථාව තියෙනව. 

ඉතින් මේ දුෂ්කර අමාරු කටයුත්ත කරගන්ට අපි ගොඩාක් නුවණ පාවිච්චි කරල, ඉතාම කල්පනාවෙන් කලොත් අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබන්න පුළුවන්. අන්න එබඳූ අවස්ථාවක් තියෙනවා කියල තමයි අපි තේරුම්ගත යුත්තේ. 

මේ මඟ යද්දී යමෙකුට වෙන්ට පුළුවන් ලොකුම නොමග යෑම මෙකක්ද? අවබෝධ නොවීම මට අවබෝධ වුනා කියල යමෙකුට අදහසක් ඇතිවුනොත්, අන්න ඒක විශාල උවදුරක්, අනතුරක්, ඒකෙන් නිදහස්වෙන එක අමාරුයි. ඇයි ඒකෙන් නිදහස්වෙන එක අමාරු? 

දැන් අවබෝධවෙලා, අවබෝධ වුනා කියල අදහසකට පැමිණීම දොස් රහිතයි, හානියක් නෑ. ඒක සිද්ධවෙලා. අවබෝධ වුනකෙනාට, අවබෝධ වුනා කියල වැටහෙනව. එයාට හානියක් වෙන්නෙත් නෑ, තව කෙනෙකුට හානියක් වෙන්නෙත් නෑ, ධර්මයට අභූතයෙන් චෝදනා එන්නෙත් නෑ. කාගෙන්වත් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කෙරෙන්නෙත් නෑ. ඇයි එතන සිදුවුන දේම ප්‍රකට වුනා. 

නමුත් යමෙකුට අවබෝධ නොවී, අවබෝධවුනා කියන අදහසට ආවොත්? එතකොට එයත් විශාල අනතුරකට පත්වෙලා, ධර්මයටත් අභූත චෝදනාවක් එනව නේද? භාග්‍යවතුන් වහන්සේටත් නින්දා කරන ස්වභාවයක් උපදින්න පුළුවන්. ඇයි ධර්මය අවබෝධ කලා කියල කියන අය තුළ තිබිය යුතු ගුණධර්ම එතකොට ප්‍රකට වෙන්නෙ නෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේටත් අභූතයෙන් චෝදනා කරන්න ඉඩතියෙනව නේද? 

එතකොට බලන්න අපි ධර්මය අවබෝධ කරගැනීම පිණිස උත්සාහ කරද්දීත්, යම් ආකාරයක නොමඟ යාමක් සිදුවුනොත්, අර අවබෝධ නොවීම අවබෝධ වුනා කියන ස්වභාවය, නොමඟ යාම් අතරින් අතිශය භයානක නොමඟයාමක්. 

අන්න ඒ වගේම නොමඟයාම් වලින් වලක්වගන්න අපි ආරම්භයේ ඉඳන්ම පුරුදුවෙන්නෙ ඕනැ. ඒ වගේ වෙන්ට පුළුවන් නේද අපිට. මොකද අපි ගැන අපි තේරුම්ගන්න ඕනැ. අපි තියුණු නුවණක් සහිත අය නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිපැද්දොත්, අපේ නුවණ තියුණු කරගන්ට පුළුවන් කියල අපි තේරුම්ගන්න ඕනැ. එතකොටයි අපි බලවත් අය බවට පත්වෙන්නෙ. 

ඒ විදිහට අපි කටයුතු කලොත් අපි නොමඟයන්නෙ නෑ. අවබෝධය කියන දේ තුළ තියෙන දෙයක් තමයි, එයාට කුසල් අකුසල් අඳූරගන්න පුළුවන්කම තියෙනව. අවබෝධවෙන්න පටන්ගන්නෙ එයින්මයි. අවබෝධය කියන්නෙ කුසල් අකුසල් අඳූරගන්න පුළුවන් හැකියාව උපදවගැනීමයි. 

අන්න එයා තමයි අකුසල් බැහැරකරන්නෙත්, කුසල් උපදවගන්නෙත්. එතකොට යම් කෙනෙකුට අවබෝධ නොවීම අවබෝධ වුනා කියල හිතපුවාම මොකද වෙන්නෙ? අර වුවමනා කරන මූලික හැකියාව එයා තුළ නෑ. එතකොට බලන්න එයා තුළ වුවමනා කරන මූලික හැකියාවම නැත්නම්, එයාට කුසල් අකුසල් අඳූරන්න බෑ නේද? බලන්න කොයි තරම් බිහිසුනු උවදුරකට එයා පාත්‍රවෙනවද කියල. 

අතිශයින් බිහිසුණු උවදුරකටයි එයාගෙ ජීවිතය ගොදුරුවෙලා යන්නෙ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළ යුතුයි, අපිට ලැබුණු මේ මහා දුර්ලභ ලාභය අත්හැරෙන්ට නොදි, හැකි උපරිම මට්ටමින් එයින් උපරිම ප්‍රයෝජන ගන්නට. ධර්මයෙන් කෙරෙන සැබෑ කටයුත්ත මොකක්ද කියල අපි තේරුම්ගත්තොත්, මේ නොමඟයෑමට අපි ඉඩදෙන්නෙ නෑ. 

ධර්මයෙන් කෙරෙන සැබෑම කටයුත්ත මොකක්ද? අකුසල් බැහැරවෙලා, කුසල් උපදවගෙන, හිත පිරිසිඳූ බවට පත්කරගනීම. ධර්මයෙන් ලැබෙන පිළිසරණ එයයි කියල එතකොට තේරෙන්න ඕනැ. 

අන්න ඒ වැටහීමත් සමඟ අපි ධර්මය පුරුදුකරගත්තොත්, අපිට රැවටෙන්නෙ නැතිව සැබෑම බලවතුන් බවට පත්වෙන්න පුළුවන්කමක් තිබෙනව. අපි ධර්මය පුරුදුකරන්න ගිහින් රැවටුනොත් අපි දුබලයින් බවට පත්වෙනව. තිබුණු තත්වයත් නැතිව හීන ස්වභාවයට අපි ඇදගෙන වැටෙනව. 

නමුත් අපි ධර්මය හොඳින් තේරුම් අරගෙන ධර්මයට පිවිසෙන්න පුළුවන් වුනොත්, අපි මොහොතින් මොහොත දවසින් දවස බලවතුන් බවට පත්වෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment