Friday, January 7, 2011

ඔද වැඩී ගිය සිතින් දවස ගෙවන්නට නම්...

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

"ඒ බුදුරජාණන් වහන්සේ ගැන මට දැනගන්ට ලැබුනා, ඒ ධර්ම රත්නය ගැන මට දැනගන්ට ලැබුනා, ඒ සඟරුවන ගැන මට දැනගන්ට ලැබුනා" කියල සිහිකරන්න. ඒක අසාමාන්‍ය ලාභයක්. ඒ තෙරුවන් හමුවීම ගැන අපි කල්පනා කරනව නම්, තෙරුවන් ගැන දැනගන්ට ලැබීම ගැන අපි කල්පනා කරනව නම්, අසාමාන්‍ය සුවපහසුවකින් ඉන්න පුළුවන්. 


අපි ආරම්භයට එන්නෙ නැතුව අවසානය ගැන කල්පනා කරන්න ගියා ම අපිට සුවපහසුවක් ඇතිකරගන්ට බෑ. එතකොට අපි සතුටුවෙන්ට ඕනැ "ඒ උතුම් තෙරුවන් අපිට මුනගැහුනා, ඒ තිසරණය ගැන දැනගන්ට ලැබුනා" කියල.
අපිට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනද නැද්ද? නමුත් අපිට නොලැබුන දේ මොකක්ද? ඒ අසා දැනගත් දේ හොඳින් දරාගන්ට අපිට බැරිවුනා. හොඳින් දරාගත්තනම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට සිහිවෙනව. සිහිවුනානම් සුවපහසුව දැනෙනව, සතුටින් ඉන්නව, සතුට ඇතිවෙනවාම යි. ඒක වළක්වන්න බෑ. ඒක ධර්මතාවයක්. 


තේකිච්ඡ්කාණී මහරහතන් වහන්සේ, උන්වහන්සේගේ ථේර ගාථාවල කියා දෙනව, "දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීතියෙන් යුක්තව වාසය කරන්න කැමතියි නම්, හිත පහදවගෙන ඒ උතුම් බුදුගුණ සිහිකරන්න" කියල. "හැමතිස්සෙ ම දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීති සිතින් ඉන්න කැමති කෙනා හිත පහදව ගෙන ඒ උතුම් සද්ධර්මයේ ගුණ" සිහිකරන්න කියනව. 

ඒ වගේම "දවස පුරාම ඔද වැඩීගිය ප්‍රීති සිතින් ඉන්න කැමති කෙනා සිත පහදවගෙන ඒ උතුම් සඝ රුවනේ ගුණ සිහිකරන්න කියනව. එතකොට ඒ තෙරුවන් ගුණ සිහිකිරීමෙන්, මුළු දවස පුරා ම ඔදවැඩීගිය සිරුරින් යුක්තව, ප්‍රීතියෙන් යුක්තව, පිනාගිය සිතින් යුක්තව වාසය කරන්ට පුළුවන්. 


අපි ඒ ගුණ සිහිකරන්ට නම් ඒ ගුණ අපිට තේරෙන්ට ඕනැ. අන්න ඒකට උත්සාහ කරන්න. ඒ තෙරුවන් ලෝකයේ පහළවීම ගැන සිහිකරන්න. ඒ තෙරුවන් ලෝකයේ පහළ වෙන්නෙ කලාතුරකින් කියන කාරණයවත් අපි සිහිකරන්න ඕනැ. එබඳූ උතුම් තිසරණය ගැන අපිට දැනගන්ට ලැබුන. දුර්ලභව අපිට ලැබුන ඒ වාසනාව ගැන හිතල සතුටුවෙන්න. 

අපි වගේ ඉතා ම දුර්වල වූ අයටත් මේ උතුම් තෙරුවන් ගැන දැනගන්ට භාග්‍යය ලැබුනා කියල හිතන්න. එයා සතුටින් ඉ£. ඒ නිසා සතුටින් ඉන්ට කැමති කෙනා විසින් ඒ සතුට උනන නොසි‍ඳෙන උල්පත පාදගන්න. අපිට වෙනත් ක්‍රමයකින් සැබෑ සතුටක් උපදවගන්න පුළුවන් කමක් නෑ. 

සතුට ලැබෙන වෙනත් විදිහවල් ගැන සිහින මවන්න එපා, කල්පනා කරන්න එපා, වෙනත් විදිහවල් ගැන කතා කරන්නවත් එපා, සතුට ලැබෙන වෙන විදිහවල් ගැන පතන්ටත් එපා. නොසි‍ඳෙන විදිහට සතුට ලැබෙන එකම විදිහ තමයි, තෙරුවන් ගැන හිත පහදවගෙන "ඒ තිසරණය අපිට මුනගැහුනා" කියල කල්පනා කිරීම.

දැන් අපිට ඇත්තෙන්ම සතුටුවෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ඇතිකරගන්ට අවස්ථාව තියෙනව. ඉතින් ඒකට ප්‍රමාදවෙන්න එපා. ඒකට ප්‍රමාද වුනොත් පස්සෙ කණගාටුවෙන්ට වෙයි, "අනේ මට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්ට ලැබුනා, ඒ ලැබිල තියෙද්දී වුනත් මම ඒ ගැන උනන්දු වුනේ නෑ නේද?" කියල. 

පස්සෙ එයාට පසු තැවෙන්ට සිද්දවෙයි. ඒ සද්ධර්මය ගැන මට දැනගන්ට ලැබුනා. එසේ ලැබිල තිබෙද්දී වුනත් මම ඒ ගැන උනන්දු වුනේ නෑ කියල පස්සෙ පසුතැවෙන්ට සිද්ධවෙයි ප්‍රමාදවෙන කෙනාට, "ඒ සඟරුවන ගැන මට දැනගන්ට ලැබුනා, එසේ ලැබිල තිබෙතද්දී වුනත් මම ඒ ගැන ඒ ගැන උනන්දු වුනේ නෑ" කියල. 


ඒ නිසා මේ ලැබුන මහා ලාභය ගැන සිහිකරමින් සතුටුවෙන්න. "අපි වගේ අයටත් තෙරුවන් ගැන දැනගන්න ලැබුනා නේද" කියල සතුටුවෙන්න. එතකොට ඔයගොල්ලො හැමදාම සතුටින් ඉඳිවි. අන්න ඒ සතුට උපදවගන්න. 


අපි සියලු දෙනාටම හදවතින් ආශිර්වාද කරන්න කැමතියි, ඒ බුදුරජාණන් වහන්සේ හමු වීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ සිතක් උපදවාගැනීමට භාග්‍යය උදාවේවා. ඒ සද්ධර්මය හමුවීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ භාග්‍යය උදාවේවා. ඒ උතුම් සඝ රුවන හමු වීම ගැන සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ භාග්‍යය උදාවේවා. ඒ උතුම් තිසරණය මුනගැහීමේ භාග්‍යය සියළු දෙනාටම උදාවේවා කියල අපි ආශිර්වාද කරනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment