Friday, January 7, 2011

විශ්මිත වූ ධර්මයෙන් පිළිසරණ ලබමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පින්වතුනි, 

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අපිට ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිත බව අපිට තේරෙන්න ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අත්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලුත් ජීවිතයක් ඉපදෙනව. 

යමෙක් තුළ විශ්මය උපදින්නේ ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, "මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා" කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප්‍රමුදිත බව, ප්‍රබෝධය හටගන්නව. ඒ මොහොතෙ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත. 



ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩ කඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩ කඩ අඩුයි. 

සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩ කඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩ කඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනා කර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි අපේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ.
ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්න ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳූ ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි. 



දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න ඉඩ සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා මේ මුලු හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා. 

එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සලසගන්න ඕනැ. එහෙම වෙන්න නම් ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. ඒ ධර්මය හිතේ පවත්වගන්න එතකොට පහසුයි. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ්‍රද්ධාවමයි. 



ඉස්සර අපි දේශනා වල අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප්‍රකාශකරනව, "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳූරේ හිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ" කියල එයාගේ ප්‍රසාදය සතුට ප්‍රකාශකරනව නේද? ඒ දේශනා අපි අහල කියවල තියෙනව නේද? එබඳූ ප්‍රකාශ එන්නෙ ඇයි? ඒ අය තුළින්. ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුන නිසා තමයි එහෙම ප්‍රකාශ එයා කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප්‍රකාශ කරනව. ඊලඟට එයා ප්‍රකාශ කරනව, "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා" කියල. එහෙම නැත්නම් "මා පැවිදිකරගන්නා සේක්වා" කියල එයා ශ්‍රාවකත්වයට පැමිණෙනව. 



එතකොට ශ්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඒ ඇසු ධර්මය ගැන සතුටක් අපිට ඉපදෙනව නම්, ඒ සතුට මුල්වෙලා අපිට කැමැත්තක් ඇතිවෙනව අපේ හිතේ ඒ ධර්මයෙන් පිළිසරණ ලබන්න. දැන් කාමයන් දැකල ඒකෙන් සතුටුවෙන්නනෙ කැමතිවෙන්නෙ. ඒකෙන් පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා ඒ ගැන හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල. 

යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුනොත්, එයා කැමතිවෙනව ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම්ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment