Saturday, January 8, 2011

ඉවසීමෙන් වැඩිය යුතු නිවන් මඟ

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වත්නි, 


ධර්මය පුරුදුකරගන්න මහන්සිවෙන ගොඩාක් අය ආසයි සමාධිය ඇතිකරගන්න.
බොහෝ අය බණ භාවනා කරන්න මහන්සි වෙන්නේ ම සමාධියක් ඇතිකරගන්න කියල හිතල. ඉතින් ඒ අය තේරුම් ගතයුතුයි සමාධිය ඇතිකරගැනීම ම නෙවෙයි හරය වෙන්නේ කියල. 

සමාධිය කියල කියන්නේ, නිවන් මග. එතකොට හරය වෙන්නේ නිවන. නිවන අවබෝධකිරීම තමයි හරය. එතකොට අපි සමාධිය උපදවාගැනීම සඳහා ම පමණක් මහන්සි වුනොත් අපිට ලොකු ගැටලු ඇතිවෙනව. අපි අනවශ්‍ය විදිහට කළබල කරගන්නව. 

නමුත් නිවන අවබෝධකර ගැනීම පිණිස අපේ අදහස තිබුණොත්, ඒ සඳහා වෑයම් කරනවනම්, ඒ සඳහා වුවමනා ක්‍රමානුකූල වැඩපිළිවෙල අපි ඉගෙනගන්නව. 

දැන් සමාධිය ඇතිකරගන්නවා කියල විතරක් හිතුවොත්, සමාධිය ඇතිකරගන්න පුළුවන් නිවන අවබෝධ නොවී. භාග්‍යවතුන් වහන්සේ පහළවෙන්න පෙරත් සමාධිය ඇතිකරගත්ත පිරිස් හිටිය. ඒ නිසා අපි කල්පනාකල යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ධර්මය පුරුදුකරගෙන, සසර දුකෙන් නිදහස්වීම පිණිස වුවමනා විදිහට අපේ හිත දියුණුකරගන්ටයි. 

එතකොට අපි ඒ සඳහා කළබල කරගන්නෙ නැතුව ඉතා ම ඉවසීමෙන් ධර්මය පුරුදුකරගන්න ඕනැ. කළබලෙන් බණ භාවනා පුරුදුකරගන්න කියල මහන්සිවීමෙ දී තමයි මුළාවීම් වලට ගොදුරුවෙන්නෙ. එතකොටයි ඥානවාදය, භාවනාවාදය වගේ වාද කරන ස්වභාවයන්ට අපේ හිත වැටෙන්නෙ. හිත මුළාවෙලා යනව. 

එනිසා අපි කළබලකරගන්නෙ නැතුව ධර්මය හොඳින් පුරුදුකරගන්න කල්පනා කළ යුතුයි.
ඉතින් අපි කාටත් සෙත්පතනව, මේ ලැබුණු අවස්ථාව අත්හැරෙන්නෙ නැතුව, හිතේ තිබෙන මේ නොමග යන ස්වභාවය, හිත විසින් අපිව මුළාකරල සසරට ගෙනයන්න තිබෙන ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ ස්වභාවයන්ට ගොදුරුනොවී, අපිට ලැබුණු උපකාරයෙන් සැබෑම පිහිට ලබාගන්ට සියලු දෙනාටම උතුම් වූ භාග්‍යය උදාවේවා! කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 
උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment