Saturday, January 8, 2011

සම්මා සමාධිය ඇතිකර ගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පින්වත්නි, 

සම්මා සමාධිය උපදවගන්ට කැමතිකෙනා විසින් තේරුම් ගත යුතු දේ තමයි ඒ සමාධිය සඳහා වුවමනා කරන සුදුසු දේ තියෙන්ට ඕනැ. 

සම්මා සමාධිය ඇතිවෙන්ට නම් සම්මා සතිය තියෙන්ට ඕනැ. සම්මා සතිය උපදවා ගන්ට සම්මා වායාමය තියෙන්ට ඕනැ. සම්මා වායාම තියෙන්ට නම් සම්මා ආජීවය තියෙන්ට ඕනැ. සම්මා ආජීවය තියෙන්ට නම් සම්මා කම්මන්තය තියෙන්ට ඕනැ. සම්මා කම්මන්තය තියෙන්ට සම්මා වාචා තියෙන්ට ඕනැ. සම්මා වාචා තියෙන්ට නම් සම්මා සංකප්ප තියෙන්ට ඕනැ. සම්මා සංකප්ප තියෙන්ට නම් සම්මා දිට්ඨිය තියෙන්ට ඕනැ. 

සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පය උපදින්නෙත් නෑ, සම්මා වාචා උපදින්නෙත් නෑ, සම්මා කම්මන්ත උපදින්නෙත් නෑ, සම්මා ආජීවය උපදින්නෙත් නෑ, සම්මා වායමය උපදින්නෙත් නෑ, සම්මා සතිය උපදින්නෙත් නෑ, සම්මා සමාධිය උපදින්නෙත් නෑ. එතකොට ඒ සියල්ලටම මූලිකවුනේ සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස අපි ලඟ ලොකු කැමැත්තක්, වුවමනාවක් තියෙන්ට ඕනැ. 

සම්මා දිට්ඨිය උපදවගත්තොත් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී නිවන් මඟට වුවමනා අනිකුත් අංග ක්‍රමක්‍රමයෙන්, උපදවගන්ට අපිට පුළුවන්කම තිබෙනව. එතකොට ඒ විදිහට නිවන්මඟේ අංග පුරුදුකරගන්ට කරගන්ට සම්මා සමාධිය අපිට ඇතිවෙයිද? නැද්ද? සම්මා සමාධිය ඇතිවෙනව. ඒ නිසා වඩා මූලිකවෙන දේ කුමක්ද? සම්මා දිට්ඨිය. 

සම්මා දිට්ඨිය කියල කියන්නෙ කුසල් අකුසල් අඳූරගන්ට පුළුවන් හැකියාව. ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය. එතකොට ඒ හැකියාව, ඒ අවබෝධය ඉබේ ඇතිවෙනවද? ඒක ඉබේ ඇතිවෙන්නෙත් නෑ. සම්මා දිට්ඨිය ඇතිවෙන්ට නම් මොකක්ද ඇතිවෙන්ට ඕනැ. උපදිනවද? සිත අපිරිසිදුව තිබෙත්දී සම්මා දිට්ඨිය උපදින්නෙ නෑ. 

එතකොට ඒ විදිහට සිතේ අපිරිසිදු භාවය උපදවන්නෙ මොනවයින්ද? ඊරිසියාව, මසුරුකම, ඉච්ඡාව, ලෝභය, ගුණමකුකම, එකට එක කරන ස්වභාවය. ඒවගේ අකුසලයන්ගෙන් තමයි හිත කිලිටි කරන්නෙ. ඒ කිලිටි ස්වභාවය තියෙන තාක් සම්මා දිට්ඨිය උපදිනවද? ඉපදෙන්නෙ නෑ. එහෙනම් ඒ කිලිටි ස්වභාවයන් නැතිවෙන්ට ඕනැ. ඒ කිලිටි ස්වභාවයන් නැති වුනායින් පස්සෙ හිත පිරිසිදුයි. අන්න ඒ විදිහට හිත පිරිසිදුවුනායින් පස්සේ, එබඳූ පිරිසිදු හිතකින් තමයි ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිවෙන්නෙ. 

අන්න ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇති වූ කෙනාගේ සිතේ තමයි සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡාව කියන සංයෝජන ප්‍රහාණය වෙන්නෙ. සිත පිරිසිදුවෙන්ට ඕනැ. සිත අපිරිසිදුව තිබෙද්දී සම්මා දිට්ඨිය එතකොට අපේ හිතේ ධර්මය පුරුදුවෙන ආකාරය ගැන අපිට වැටහීමක් තියෙන්ට ඕනැ. 

එතකොට ඒ විදිහට ඒ අකුසල ස්වභාවයන් ප්‍රහාණය වෙන්ට නම් සීලය හොඳට ශක්තිමත්ව පරිපූර්ණවෙන්ට ඕනැ. සීලය හොඳට පිරෙන්ට ඕනැ. සීලය සම්පූර්ණ වෙන්ට ඕනැ. සීලය පිරුනුකෙනාගේ සිත පිරිසිදු වෙනව. සීලය පිරිසිදු වුනායින් පස්සේ පසුතැවෙන ස්වභාවයන් නෑ, සිත පිරිසිදුයි. අන්න එයාගේ හිතේ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධඥානය ඇතිවෙනව. එතකොට සීලය ගැන අපිට හොඳ වැටහීමක්, හොඳ උනන්දුවක් තියෙන්ට ඕනැ. 

සීලය පිරෙන්නෙ කොහොමද? සීලය හොඳට සම්පූර්ණවෙන්ට නම් ශ්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීර්යය, ප්‍රඥ්ඥාව කියන ගුණ ධර්ම හොඳට පුරුදුකරන්ට ඕනැ. පරිපූර්ණ කරන්ට ඕනැ. අන්න ඒ විදිහට ඒ ගුණධර්ම පුරුදුකරන්ට කරන්ට ඒ සේඛ ධර්මයන් පුරුදු කරන්ට කරන්ට සීලය පිරෙනව. හිතේ පසුතැවෙන දේවල් ඇතිකරන දේවල් නැතිවෙලා යනව. සිත පිරිසිදුවෙනව. පිරිසිදු වූ සිතින් සම්මා දිට්ඨිය ඇතිවෙනව. 

ඒ සම්මා දිට්ඨියෙන් වාසය කරන කෙනා තුළ සම්මා සංකප්ප උපදවගන්ට පුළුවන්. සම්මා සංකප්ප තියෙන කෙනාට සම්මා වාචා උපදවගන්ට පුළුවන්. ඊලඟට එයාට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමය උපදවගන්ට පුළුවන්. ඒ විදිහට වෑයම්කරන කෙනාට සතිපට්ඨානයේ හිත පිහිටුවගන්ට පුළුවන්.
සතිපට්ඨානයෙ හිත හොඳින් පිහිටුවගන්ට නම් එයා තුළ තිබියයුතු අංග මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. ඒව නැත්නම් සතිපට්ඨානයේ හොඳින් හිත පිහිටයිද? සම්මා සතිය පිහිටන්නෙ නෑ. එතකොට ඒ මූළික ගුණධර්ම, ඒ නිවන් ම‍ෙග් අංග අපි පුරුදුකරගෙන ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් පුරුදුකරගෙන යන්ට ඕනැ. 

ඒව ක්‍රම ක්‍රමයෙන් බලවත් වෙන්ට වෙන්ට තමයි සිහිය ටික ටික බලවත්වෙන්නෙ. දැන් සම්මා සංකප්ප සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ මාර්ග අංග පුරුදුවෙන්ට වෙන්ට ක්‍රම ක්‍ර‍්‍රමයෙන් සිහිය දියුණුවෙනව. සිහිය දියුණු කරගන්නෙ නැතුව සම්මා සංකප්ප පුරුදු වෙන්නෙත් නෑනෙ. සම්මා වාචා පුරුදු වෙන්නෙත් නෑ. එතනත් සිහිය දියුණු වෙනව. ඒ විදිහට ක්‍රමානුකූලව සිහිය දියුණුවෙන්ට දියුණුවෙන්ට තමයි සිහිය බලවත්වෙන්නෙ. ඒ විදිහට සිහිය බලවත්වුන කෙනාට සම්මා සතිය උපදවගන්ට පුළුවන්. සතිපට්ඨානයෙ හිත හොඳ ට පුරුදුකරගන්ට පුළුවන්. 

බලන්න එතකොට දීර්ඝ වැඩපිළිවෙලක් අනුගමනය කරන්ට ඕනැ නේද? ඒ විදිහට ඒ නිවන්මගේ අංග පුරුදුකරගෙන යන කෙනාට සම්මා සතිය උපදවගෙන, ඒ සිහිය හොඳින් දියුණු කරගන්න කෙනාට, සම්මා සමාධිය ඉපදෙනව. එතකොට අන්න ඒ විදිහට අපි නිවන් මඟ ගැන තේරුම් අරගෙන නිවන් මගේ ආරම්භයට පැමිණෙන්ට කටයුතු කළ යුතුයි. 

ඉතින් අපි කාටත් සෙත් පතනව කාටත් මේ ලැබුනු අවස්ථාව අත්හැරෙන් නැතුව, හිතේ තිබෙන මේ නොමඟ යන ස්වභාවය, හිත විසින් අපිව මුළා කරල අපි සසරට ගෙන යන්ට තිබෙන ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ ස්වභාවයන්ට ගොදුරු නොවී මේ අපිට ලැබිල තිබෙන උපකාරයෙන් සැබෑම පිහිට ලබාගන්ට සියලුදෙනාටම උතුම් වූ භාග්‍යය උදාවේවා කියල. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment