Saturday, December 25, 2010

සමාව දීමට තරම් නිහතමානී වෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පිරිසක් එක්ක වාසය කරනකොට සමාව දෙන්ට පුළුවන් හිතක් ඇතිකරගන්ට. ඒ වගේම තමයි සමාව ගන්ට පුළුවන් හිතක් හදාගන්ටත් ඕනැ. කෙනෙකුට සමාව ඉල්ලන්ට පුළුවන් වෙන්ටත් ඕනැ. ඒ වගේම යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් සමාව දෙන්ටත් පුළුවන් හිතකුත් තියෙන්ට ඕනැ.


ඒ දෙකම තියෙන්නෙ මෘදු හිතක් තියෙනව නම්. මෘදු හිතක් තියෙන කෙනා, තමාගෙන් වරදක් වුනහම සමාව ඉල්ලනව, "මට සමාවෙන්න" කියනව. ඒ වගේම තමයි, යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් එයාට සමාව දෙනව මෘදු කෙනා, සත්පුරුෂ කෙනා.


අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය තමයි, වරදක් කලහම ඒ වරද කළා කියල දැන දැනත් සමාව ගන්න කැමති නෑ. ඒ වගේම තමයි යම් කෙනෙක් පුන පුනා සමාව ඉල්ලද්දීත් සමාව දෙන්ට කැමති නෑ. ඒ අසත්පුරුෂ භාවය.
බලන්න, මේ අසත්පුරුෂ ස්වභාවය නිසා වැනසිලා යන හැටි. ඇයි, සමාව ඉල්ලත්දීත් සමාව දෙන්ට කැමතිවෙන්නෙ නැත්තෙ? ඒ මහා ගුණය අඳූරන්නෙ නෑ.


ඒ සමාව ඉල්ලන කෙනා ලඟ මහා ගුණයක් තියෙනව ඒකයි සමාව ඉල්ලන්නෙ. එයා වරද පිළිගත්ත. මෘදු බවට පත්වුනා. මොලොක් බවට පත්වුනා. නිහතමානී බවට පත්වුනා. සමාව ඉල්ලනව කියන්නෙ ඒකනෙ.
සමාව ඉල්ලන කෙනා තුළ මෘදු බව තියෙනව. මෘදු මොලොක් බව තියෙනව. නිහතමානී බව තියෙනව, ඉවසීම තියෙනව. ගුණ ධර්ම ගොඩාක් සහිතව තමයි කෙනෙක් සමාව ඉල්ලන්නෙ.


නමුත් අසත්පුරුෂයාට ඒ ගුණ මාත්‍රයක් තේරුම්ගන්න බෑ. ඒ නිසා අපි කව්රුත් වරදක් වුනහම සමාව ඉල්ලන්න තරම් මෘදු හිතක් හදාගන්ට ඕනැ. ඒ වගේම තමයි යම් කෙනෙක් සමාව ඉල්ලුවොත් සමාව දෙන්ටත් අපි ලඟ ගුණවත් හිතක් තියෙන්ට ඕනැ.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment