Friday, February 11, 2011

ස්වාක්ඛාත වූ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකරගනිමු

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පින්වතුනි, 

ධර්මය ඉගෙනගනිද්දී, ඒ ධර්මය තුළ අපි තේරුම්ගත යුතු දේ තමයි, ඒ ධර්මය ඉතා ම පිරිසිදුව, මනාකොට දේශනාකරල තියෙනවා කියන කාරණය. 

කොයිතරම් පිරිසිදු විදිහට, කරුණු සහිතව අපිට අපේ හිත පිරිසිදුකරගන්ට, නොමග යන එකෙන් වළක්වගන්ට කරුණු කාරණා පෙන්වා දී තිබෙනවාද කියල තේරුම්ගත්තොත්, කරුණු සහිතව කාටවත් කියන්න බෑ, "මේ ධර්මය පුරුදුකළොත් එයා නොමග යයි" කියල. 

මේ ධර්මය පුරුදුකළොත් එයා නොමග යයිද? එයා නොමග යන්නෙ නෑ. එතකොට නුවණ තියෙන කිසි ම කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ, "මේ ධර්මය පුරුදුකරන කෙනා නොමග යයි" කියල. මේ ධර්මය පුරුදුකළොත් එයා සුමඟට එනවාම යි. ඒ විදිහට කල්පනා කළොත්, තේරුම්ගත්තොත්, "මේ ධර්මය ධර්මය මනාකොට දේශනාකල දෙයක් කියල" අපිට තේරෙනව. මේකෙ අඩුපාඩුවක් නෑ. නිවන් මග සම්පූර්ණයෙන්ම පෙන්වා තිබෙනව. 

පිරිසිදු බඹසර ජීවිතය උපදවාගන්නා ආකාරය පෙන්වා දී තිබෙනව. එහෙනම් මේ ධර්මයන් ස්වාක්ඛාත වූ ධර්මයට අයිති දෙයක් කියල අපිට තේරුම්ගන්න පුළුවන්. එතකොට ඒ ස්වාක්ඛාත වූ ධර්මය කියාදෙන ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියල අපිට තේරුම්ගන්න පුළුවන්. 

අඩුවක් නැතිව ධර්මය කියා දෙනව කියන්නේ, තව කෙනෙකුගෙන් අහල කියන එක නෙවෙයි. තව කෙනෙකුගෙන් ඇහුවනම් අඩුවක් තියෙනව. මේ විදිහට අපි තේරුම්ගන්න ඕනැ. මේ ධර්මය මනාකොට කියාදීල තිබෙන්නේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිපූර්ණ අවබෝධයෙන් කියල. එනිසා අපි ධර්මය ගැනත්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැනත් තේරුම්ගන්න මහන්සිවෙන්න ඕනැ. 

අන්න ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය, ධර්මයේ ස්වභාවය තේරුම්ගන්න කෙනා, තව දුරටත් තේරුම්ගන්ට වෑයම්කරන්ට ඕනෑ, යම් කෙනෙක් මේ ධර්මය පුරුදුකළොත් යම් කෙනෙක් එයා රාග, ද්වේෂ, මෝහ දුරුකරණ, ප්‍රහාණය කරන මග නේද පුරුදුකරන්නේ කියල.

එහෙනම් මේ ධර්මය පුරුදුකරනවා නම් යම් කෙනෙක්, ඒ අය සුපටිපන්නයි.
අන්න ඒ විදිහට අපි තෙරුවන් ගුණ තේරුම්ගන්ට කල්පනා කලයුතුයි, පුරුදුවිය යුතුයි. එතකොට අපි ඉගෙනගන්නා ධර්මය ඇසුරුකරගෙන ම තෙරුවන් ගුණ තේරුම්ගන්න වෑයම් කරන්නට ඕනැ. එතකොට අපි තෙරුවන් කෙරෙහි පැහැදීම උපදවගෙනයි තිබෙන්නෙ. 

ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහපු අය, ඒ ධර්මය කෙරෙහි පැහැදිලා, ශ්‍රාවකත්වයට ඒ වෙලාවෙදී ම එනවා කියල කියන්නේ, එයා තිසරණයට නේද එන්නෙ. බලන්න අපි එක දේශනාවක් අහල, ඒ දේශනාව කෙරෙහි හොඳට පැහැදීම ඇතිකරගත්තොත් අපි තෙරුවන් කෙරෙහී ම පැහැදීම ඇතිකරගත්ත වෙනව. 

තෙරුවන් කෙරෙහී ම අපිට පැහැදීම ඇතිකරගන්න පුළුවන්. එබඳූ විස්වාසයක්, එබඳූ පැහැදීමක් ඇතිවුණොත් නේද අපි මේ ධර්මය පුරුදුකරන්නෙ. මේ ධර්මය මනාකොට දේශනා කරල තියෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ ස්වයං භූ ඥානයෙන් යුක්තව ප්‍රකාශ කරල තියෙන්නේ. මේ ධර්මය පුරුදුකරන කෙනා රාග, ද්වේෂ, මෝහ දුරුකරන මගට පැමිණි අය කියල තේරුම්ගත්තොත්, පිළිගත්තොත් තමයි අපේ හිත කැමතිවෙන්නෙත්, "මේ ධර්මය මම පුරුදුකල යුතුයි" කියල. 

"මේ ධර්මය මම පුරුදුකළොත්, ඒකාන්තයෙන් මට යහපත, පිළිසරණ ලැබෙනවා" කියල එයාට කල්පනාවක් එනව. අන්න ඒ විදිහට අපි තේරුම්ගත්තොත්, තෝරබේර ගත්තොත් මේ ජීවිතය තුළ අපිට මේ ලැබුණු ලාභය කොහොමහරි අපේ ජීවිතයට සම්බන්ධකරගන්න අපිට පුළුවන්කමක් තියෙනව.
ඒ නිසා මේ පින්වතුන් සෑම ධර්මයක් මුල්කරගෙන ම, ඉදිරියට ඉගෙනගන්නා වූ ධර්මයක්ම මුල්කරගෙන, අපේ ජීවිතය පුළුවන්තරම් දුරට මේ ධර්මය තුළ දියුණුකරගන්ට කල්පනා කලයුතුයි. "අපිට මේක බැරිවෙයි" කියන අදහස ඇතිකරගන්න එපා. ඒ වගේම, "මම මේක ඉක්මණින් කරගන්නවා" කියන අදහසට එන්නත් එපා. 

අපි තේරුම්ගත යුත්තේ, "මේක ඉතාම අමාරු දුෂ්කර කටයුත්තක්. නමුත් මේ ධර්මය හොඳින් තේරුම්ගත්තොත් අපිට ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් මේ සිත යහමගට ගන්න පුළුවන්කම තිබෙනව". එහෙම තේරුම් අරගෙන, හොඳට ඉවසීමෙන්, නුවණින් කල්පනා කරමින්, අපේ සිත ම පිරිසිදු කරගන්ට ධර්මයේ කියා තිබෙන ආකාරයට මහන්සිවුණොත්, අපිටත් අවස්ථාව තිබෙනව, මේ ධර්මය අවබෝධකරගන්න. අන්න ඒ අවස්ථාව සියලු දෙනාටම උදාවේවා!

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 

No comments:

Post a Comment