Friday, February 11, 2011

ඉවසීම පුරුදුකරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට කියාදෙනව, අව්ව වැස්ස ඉවසන්ට කියල, සීතල ඉවසන්ට කියල, උණුසුම ඉවසන්නට කියල, මැසි මදුරු උවදුරු ඉවසන්ට කියල, කනට ඇහෙන අමිහිරි වචන ඉවසන්ට කියනව, බඩගින්න පිපාසය ඉවසන්ට කියනව. 


ඒව ඉවසුවේ නැත්නම් නොඉවසා හිටියොත් එහෙම දුක් පීඩා ඇතිකරන ආශ්‍රව හටගන්නව.

දැන් බලන්න ඔන්න වහිනකොට, අයියෝ වහිනව මොන කරදරයක්ද කියල කල්පනා කරනව. එතකොට හිතේ අකමැත්ත නේද උපදින්නෙ? ගැටීම නේද? වැස්ස ඇවිල්ල පායාවි, ඒක ස්වභාවයක්. අපි ඒ ස්වභාවය ගැන නොතකා අපි හිතේ අකුසලයක් උපද්දගෙන.


ඉවසනව කියල කියන්නේ, ඒ අකුසලයට ඉපදෙන්ටනොදී ඉඳීම. වැස්සේ තෙමෙන එක නෙවෙයි. නැත්නම් මේ ගොල්ලො අද ඉඳල, "වැස්ස අපිට ඉවසන්ටයි තියෙන්නෙ. එහෙනම් අපි තෙමෙමු" කියල තෙමෙයි.

අම්මලා කියයි, "ළමයිනේ බඩගින්න ඉවසන්නයි කියල තියෙන්නෙ, මම උයන්නෙ නෑ. ඔය ගොල්ලො ඉවසන්න" කියල. ඒක නෙවෙයි මේ. ඒක මොකක්ද? එහෙම කරන ලෝකයක් තියෙනව නේද? තියෙනවද? නැද්ද? ඒක නිසයි මේ කියන්නෙ ඒක නෙවෙයි කියල.


අපිට වරදින්ට පුළුවන් නේද? වරදින්ට පුළුවන්ද බැරිද? වරදින්ට පුළුවන් තැන මම මේ ඉස්මතු කරල පෙන්වන්නෙ. ලිස්සන තැන ලිස්සන සුළුයි කියල බෝඩ් ගහන්නෙ, අන්න ඒ වගේ. මෙතන වරදින්න පුළුවන්, වරද්දගන්න එපා. 


එහෙම අය ඉන්නව. කණපිට ඇඳගන්න අය ඉන්නව. හොඳපිට අනිත් පැත්ත දාල අනිත් පැත්ත ඇඳගෙන ඉන්න අය ඉන්නව. එතකොට බැබලෙන්නෙ නෑනෙ නේද? ඒ නිසා තේරුම්ගන්න, සාමාන්‍ය අශ්‍රැතවත් පෘතජ්ජන කෙනාගේ ස්වභාවය තමයි ඉවසන්ට ඕනැ තැන ඉවසන්නෙ නෑ. එයා ගැටීම හදාගන්නව.

අව්ව එනකොට "මොන කරදරයක් ද මේ අව්ව, රස්නෙයි" කියල එයා හිත අමනාපය හදාගන්නව, අකමැත්ත උපදවගන්නව. එතකොට එයා ම දන්නෙ නෑ ගැටීම හදාගෙන. නමුත් ඒ වෙලාවෙදි අපි ඒකට නොගැටී හිත පුරුදුකරගන්ට ඕනැ. ඉවසල ඒක මගහැරල යන්ට ඕනැ.


ඒ වගේ මැසි මදුරු උවදුරු, බඩගින්න පිපාසය, ඒ තැන්වලදී ඉවසනව කියල කියන්නේ, ඒ හිතේ එන අකුසලයට ඉඩදෙන්නෙ නැතුව ඉන්න පුරුදුවීම. බඩගින්නෙ ඉඳීම නෙවෙයි.


අපි සුදුසුවෙලාවට ඒ දේවල් කරගන්ට ඕනැ. නමුත් අපිට සමහර වෙලාවෙදි ඉවසන්ට වෙනව. ඉවසන්ට ඕනැ සිදුවීම් උපද්දවගන්ට එපා. "දැන් මම ඉවසීම පුරුදුකරගන්ට ඕනැ" කියල අව්වෙ ගිහින් තපින්ට එපා. ඉවසීම පුරදුකරගන්ට ඕනැ කියල බඩගින්නෙ ඉන්ට එපා. නමුත් බඩගින්නක් ආපුවෙලාවකදි අපි ඒකට අකමැත්ත හදාගන්න, ගැටෙන හිත හදාගන්න එපා. 


ඉවසීමෙන් ඒක බැහැරකරගන්න. අකුසලය බැහැරකරගන්න. අන්න ඒ විදිහටයි ඒ ඉවසීම ගැන අපි තේරුම්ගත යුත්තේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment