Friday, February 11, 2011

භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල මේ සා දීර්ඝ කාලයක් ගතවුණු යුගයක, ප්‍රඥාව හීන වෙලා යන යුගයක, අපට යමක් තෝර බේරගන්ට තියෙන හැකියාව දුර්වලවෙලා යන යුගයක, නිවන් මග හොඳින් ඉගෙන නොගත්තොත් මුලාවෙන ඉඩකඩද වැඩි, මුලාවෙන් නිදහස්වෙන ඉඩකඩද වැඩි? මුලාවෙන ඉඩකඩ වැඩියි. 

අපිට ලැබුන ලාභය හිමිවෙන ඉඩකඩද වැඩි, ලාභය අහිමිවෙන ඉඩකඩද වැඩි? ලාභය අහිමිවෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා තමාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, ලෝකයාට හිත පිණිස කටයුතුකරන අය විදිහට, නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න. නිවන් මග ගැන හොඳට ඉගෙනගන්න කෙනා මේ ජීවිතේදී හෝ මතු ජීවිතයකදි හෝ ඒ මග පරිපූර්ණකර ගනීවි. 

හොඳට ඉගෙනගන්නව කියල කියන්නේ, තමාට අවබෝධකර ගැනීම පිණිස ශ්‍රද්ධාවෙන් ඉගෙනගැනීම. ඒකටයි අපි හොඳට ඉගෙන ගන්නවා කියල කිව්වෙ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, යම් කෙනෙක් මේ සංඛත වූ ධර්මයන් අතරින් අග්‍ර වූ නිවන් මග කෙරෙහි පහදිනවනම්, එයාට අග්‍ර වූ ප්‍රතිවිපාක ලැබෙනව කියල.
ලෝකයේ තියෙන යම්තාක් සංඛත වූ ධර්මයන් තිබෙනවානම්, ඒ සංඛත වූ ධර්මයන් අතර අග්‍ර වන්නේ නිවන් මග කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. අන්න ඒ අග්‍ර වූ නිවන් මගට යමෙක් පහදිනවනම්, එයාට අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඉතින් අන්න ඒ බුදු වදන අපි පිළිගන්න ඕනැ. පිළිඅරගෙන අප විසින් ඉගෙනගත යුත්තේ ඒ නිවන් මගමයි. නිවන් මග ඉගෙන ගත යුත්තේ මහත් වූ ශ්‍රද්ධාවෙන්. 

අන්න ඒ විදිහට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඉගෙන ගත්තොත් එයාට මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී හෝ අග්‍ර වූ ඵල විපාක ලැබෙනව. ඒ නිසා කළබලනොවී ධර්මය හොඳට ඉගෙනගන්න. ධර්මය ඉගෙනගන්න කෙනා සැපයට පත්වෙනවාම යි. ඒක වළක්වන්න බෑ. වළකින්නෙ නෑ. එනිසා කළබලනොවී හොඳට ධර්මය ඉගෙනගන්න. 

ඒ විදිහට හොඳට ධර්මය ඉගෙනගන්න කෙනා ඒ අග්‍ර වූ සැප අත්කරගන්ට භාග්‍යවන්තයෙක් වෙනව. විශේෂයෙන් ඒ නිවන් මග ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන ධර්මයන් ගැන අපිට හොඳ පැහැදීමක් තියෙන්ට ඕනෑ. ඒ නිවන් මගේ අනුපිළිවෙල ගැන කියා දුන්ධර්මයන් ගැන අපිට හොඳ වැටහීමක් තියෙන්ට ඕනෑ. 

ඒ නිවන් මග හොඳින් තෝරගෙන පුරුදුකර ගැනීම පිණිස පෙන්වාදුන් ඒ ධර්මය හොඳින් ඉගෙනගන්ට අපිට දැන් අවස්ථාව තියෙනව. ඒ අවස්ථාව බැහැරකරගන්ට අතපසුකරගන්ට එපා. ඒ නිවන් මාර්ගය ගැන අපි හොඳින් ඉගෙනගත්තොත් අපි කාටත් ඒ භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන්ට පුළුවන්කම තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment