Friday, February 11, 2011

ප්‍රශංසාවට හිමිකම් කියන ජීවිතයක් ඇතිකරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

අපිට අනාගතයේදී දුක් පීඩා ඉපදෙයි. "දැන් අපිට දුක් පීඩා තියෙනවා. අනාගතේ ඊටත් වඩා දුක් පීඩා ඉපදෙනවා" කියල යම් කෙනෙකුට තේරුනේ නැත්නම්, පිළිගන්නෙ නැත්නම්, එහෙම කල්පනා වෙන්නෙ නැත්නම්, එයා ඒ දුක් පීඩා බැහැරකරගෙන සුවපත්බවක් උපදවගන්ට වුවමනා ධර්මය පුරුදුකරගයිද? පුරුදුකරගන්නෙ නෑ නේද? 

හෙට බඩගිනිවෙනවා කියල කල්පනා වෙන්නෙ නැත්නම්, එයා හෙට දවසට වුවමනා දේ රැ ස්කරගන්නවද? නෑ. එතකොට හෙට බඩගිනි වුනහම මොකද කරන්නෙ? එතකොට එයා ඒ දුක් පීඩා විඳිමින් තවත් දුකින් දුකට එයා පත්වෙනව. 

එහෙනම් අපි ධර්මය තුළින් ඉගෙනගත යුතු දේ තමයි, "අපේ ජීවිතේ දුක් පීඩා සහිත එකක්. අද යම් දුකක් ද විඳින්නේ, ඒ දුකට වඩා දුක් අනාගතේ අපිට විඳින්ට සිද්ධවෙනවා" කියන කාරණය. අපිට අපේ ජීවිතේ තිබෙන සැබෑ ස්වභාවය, ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන වැටහීමක් තිබිය යුතුයි. 

ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන වැටහීමක් නැතිවුණොත් මොකද වෙන්නෙ? දැන් කල්පනා කරන්න වර්තමනයේ ඒ විදිහට අපිට දුක් ස්වභාවයන් තියෙනවද නැද්ද? තියෙනව. අනාගතේ දුක් ස්වභාවයන් තියේවිද නැද්ද? අනාගතේ ඉපදෙන ඒ දුක් ස්වභාවයන් මීට වඩා බලවත් ඒවද? දුබල දුක්ද? ඊට වඩා බලවත් දුක් පීඩා වලට මූණදෙන්ට සිද්ධවෙනවා. ඒක අපි දැන්ම තේරුම්ගත යුතුයි. 

එතකොට ඒ විදිහේ දුක ගැන තේරුම්ගන්න කෙනා, දුක ගැන වැටහීමක් තියෙන කෙනා, ඒ දුක තුළ වාසයකරන්ට කැමතිද? ඒ දුක තුළ වාසය කරන්ට කැමති නෑ. එයා ඒ දුක බැහැරකරගෙන සුවපත් සිතින් වාසය කරන්ට කැමතිකෙනෙක් වෙනව. මොනවද අනාගතයේදි අපිට විඳින්ට තිබෙන දුක් පීඩා? ලෙඩවීම අපිට අනාගතේ තියෙනවද නැද්ද? ඉතා ම කර්කශ දුක් පීඩා ඇති කරන ලෙඩ දුක් වලට මූණදෙන්ට සිද්ධවෙනවා. ඒක සිහිකරන්ට ඕනැ. 

ඒ වගේම ජරාවට පත්වීම අනාගතයේදී සිද්ධවෙනවා. ඒක මොහොතින් මොහොත, මොහොතින් මොහොත සිද්ධවෙන එකක්. කෙස් පැහිල යන එක, දත් දිරල කැඩිල යන එක, හම රැළිගැහිල, වයස ගෙවිල, ආයුෂ ගෙවිල යන එක, මරණයට ලංවෙන එක මොහොතින් මොහොත සිද්ධවෙනව. ඒක ඉතා ම කරකශ දුක් සහිත දෙයක්. 

ඊළඟට මරණයට පත්වීම. නුදුරු අනාගතේ අපිට තියෙනවද නැද්ද? තියෙනව. ඒක ඉතා ම බිහිසුණු දෙයක්, දුක් සහිත දෙයක්, බියජනක දෙයක්. ඒකෙන් පැනලයන්ට කාටවත් බෑ. ඒක සිහිකරන්න, "මට මරණයට මුහුණ දෙන්ට සිද්ධවෙනවා" කියල. කිසි කෙනෙකුට අපිව ඒකෙන් ගලවගන්න බෑ. 

ප්‍රියයන්ගෙන් වෙන්වීම අනාගතේ අපිට තියෙනවද නැද්ද? අම්ම තාත්තගෙන් අපිට වෙන්වෙන්ට සිද්ධවෙනවා, බිරිඳට ස්වාමියගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා, ස්වාමියට බිරිඳගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. දෙමාපියන්ට දරුවන්ගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. යාළු මිත්‍රයින්ට වෙන්වෙන්ට සිද්ධවෙනවා. අපි ප්‍රියකරන ගේ දොර, ඉඩ කඩම්, හරක බාණ, වතු පිටි, රන් මිල මුදල්, භව භෝග සම්පත්, තනතුරු තානාන්තර, සිතුම් පැතුම් මේ සියල්ලගෙන් වෙන්වෙන්ට සිද්ධවෙනවා. 

අප්‍රිය අමනාප දේ සමඟ අපිට එක්වෙන්ට සිද්ධවෙනවා. අපි කැමති දේ අපිට නොලැබෙනව, ලැබෙන්නෙ නෑ. මේ දුක් වලට අපිට මූණ දෙන්ට සිද්ධවෙනවද නැද්ද? සිද්ධවෙනවා. අන්න ඒ විදිහට දුක් අපි කරා එනකොට ඒ දුකට අපි යටවෙනවද? එහෙම නැත්නම් ඒ දුක බැහැරකරගෙන ප්‍රමුදිතව වාසය කරනවද කියන කාරණය අපි කල්පනාකල යුතුයි. 

දුක අපි කරා එනකොට, ඒ දුකට යටවෙලා, ඇඬූ කඳූලෙන් ශෝකකර කර, ප්‍රාර්ථනාකර කර වාසය කරන එකද සැප, ඒ දුක බැහැරකරල, ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කිරීමද සැප? ඒක දුක බැහැරකරල ප්‍රමුදිතව වාසය කිරීමයි සැප. එයයි වටින්නෙ. එයයි ප්‍රශංසා කල යුත්තේ. 

දුක් පීඩා විඳගෙන බලාපොරොත්තු සහිත ජීවිතයක් ගතකිරීම, ප්‍රශංසා නොලැබිය යුතු, ප්‍රශංසා නොකරන, ගරහාවට පාත්‍රවන්නක්, මොකක්ද ඒ ජීවිතය? කෙස් ටික පැහෙනකොට, ශෝකයෙන් අඬනවනම්, ඒ ජීවිතය ගරහාවට පාත්‍රවිය යුතු එකක්. ගැරහීම් වලට ලක්වෙනව. 

දත් ටික දිරල කැඩෙනකොට, අඬනවනම්, ශෝක කරනවනම්, ඒ ජීවිතේ ගරහාවට පාත්‍රවන ජීවිතයක්, ප්‍රසංසාවට පාත්‍රවෙන්නෙ නෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී ශෝක කරනව නම්, ඒ ජීවිතේ ප්‍රශංසාවට පත්වන්නේ නෑ. 

ලෙඩ දුක් වෙනකොට බියේ සෝකයෙන් කම්පාවෙලා, කලන්තෙ දාල, දුකසේ වාසය කරනව නම්, ඒ ජීවිතය ප්‍රශංසා නොකල යුතු එකක්. ගරහාවට පාත්‍රවන එකක්. 

මරණයට පත්වෙන්ට සූදානම්වෙද්දී, මරණය ඉදිරියේ බියවෙනවනම්, තැතිගන්නවනම්, ශෝක කරනවනම්, ප්‍රාර්ථනා සිහිකර කර කඳූළු හලනව නම්, ඒ ජීවිතේ ප්‍රශංසාවට ලක්වෙන එකක්ද? ප්‍රශංසාවට ලක් නොවන ජීවිතයක්. ඒ ජීවිතේ ගැරහීමට ලක්වියයුතු ගැරහීමට පාත්‍රවන ජීවිතයක්. 

හොඳට සිහිකරන්න අපි මේ ජීවිතේ පුරා ප්‍රශංසා ලබනව ලෝකයෙන්. නමුත් ලෙඩක් වුනහම කම්පාවෙනව. ප්‍රිය අයගෙන් වෙන්වෙන්ට සිදුවුනහම කම්පාවෙනව, සිහිනැතිවෙනව. මරණාසන්න වුනහම තැතිගන්නව, දාඩිය දාල මරණය ඉදිරියේ බියේ වාසයකරනව. 

ඉතින් ඒ වගේ ස්වභාවයකට අපි පත්වෙනවනම් අපි මේ ජීවිතයේ බාහිරින් ලබන ප්‍රශංසාවෙ අර්ථය මොකක්ද? හිස් දෙයක්. ඒ නිසා අපි මේ අර්ථ රහිත ප්‍රශංසාව බැහැරකරල, අර්ථවත් වූ ප්‍රශංසාවට අපි කැමතිවෙන්න ඕනැ. 

මොකක්ද ඒ අර්ථවත් වූ ප්‍රශංසාව? මරණය ඉදිරියේ, ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ, තැති නොගන්නා ජීවිතය. අඬන්නෙ නැතිව, බියනොවී ප්‍රමුදිතව වාසයකරන්ට පුළුවන් ජීවිතය තමයි, ප්‍රශංසාවට හිමිකම් තිබෙන ජීවිතය, ගැරහීමට ලක්නොවන ජීවිතය. අන්න එබඳූ ජීවිතයක් උපදවගන්ටයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ. ඔබ කැමතිවිය යුත්තේ අන්න එබඳූ ජීවිතයක් ඇතිකරගන්ටයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment