Friday, February 11, 2011

සසර බිය දකිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ශ්‍රද්ධාවන්ත පින්වතුනි, 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගැනීම නිසා අපි කාටත්, පුළුවන්කම ලැබුනා දැනගන්න අපි දීර්ඝ සසර ගමනක පැමිණිබව. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමකින් තොරව, ඔබ අපි කාටත් දීර්ඝ සසර ගමනක් පැමිණියා කියල දැනගන්ට ලැබෙන්නෙ නෑ. 

ඒ වගේ ම ඒ දීර්ඝ සසර පුරාවට ම ප්‍රමාණ කරන්ටබැරි තරම් දුක් විඳින්ට සිදුවුනා කියන කරුණත් අපිට ඉගෙනගන්ට ලැබිල තිබෙනව. සසර ගමන යන කෙනෙකුට ඒ සසර ගමන පුරාවට ම විඳින්ට වෙන්නෙ පුංචි සැපක්. සසරේ බොහෝ කලක් ප්‍රමාණ රහිත වූ දුක් විඳින්ට සිදුවෙනවා ඒ සසර ගමන යන කෙනාට.
ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ විශාල කාලයක්, වැඩි වාර ගණනක් දීර්ඝ කාලයක් පෙරේත ලෝකෙ, නිරයේ, තිරිසන් ලෝකේ මේ කියන දුගති ලෝකවල ඉපදෙන්ට සිදුවෙන්නෙ මේ සසර ගමන පිළිබඳව අපිට දැනගන්ට, ඉගෙනගන්ට ලැබුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගැනීම නිසා. 

යමෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන මේ සසර ස්වභාවය, ලෝකයේ ස්වභාවය, අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකර නොගත්තොත්, එයාට සිද්ධවෙන්නේ ඒ ආපු ගමන ආව වගේ ම ගමනක් ආයෙමත් යන්ට. 

යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිඅරගෙන මේ සසර ගමන ගැන වැටහීමක් ඇතිකර  ගත්තොත්, එයාට නියත වශයෙන් අවස්ථාව ඉපදෙනවා, ඒ ආපු දුක් සහිත ගමන අවසන්කරල සසර දුකින් සම්පූර්ණයෙන් නිදහස්වෙන්ට. 

ඒ භාගයවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, අපිට කියාදෙනව මැරෙන මිනිස්සුන්ගෙන් ඒ වගේම චුතවෙන දෙවියන්ගෙන් විශාල පිරිසක් සතර අපායෙ ඉපදෙනවා කියල. ඉතා ම සුලු පිරිසක් තමයි සුගතියට එන්නෙ. ඒ වගේ ම දුගතියෙ ඉන්න සත්වයින් චුතවෙලා නැවතත් සුගතියකට එන්නෙත් ඉතා ම සුලු පිරිසක්, විශාල පිරිසක් දුගති ලෝකවල ම නැවත ඉපදෙනව. 

ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ධර්මය හොඳින් ඉගෙනගත්ත කෙනෙකුට ඒ සසර ගමනේ දුගතිවල ඉපදෙමින් යන ගමනේ ස්වභාවය ගැන වැටහීමක් ඇතිකරගන්ට පුළුවන්කම තිබෙනව.
ඇයි ඒ වගේ තත්වයකට මේ සත්වයා ඇදගෙන වැටෙන්නෙ. දුගතියක ඉපදෙන ස්වභාවයකට ඇයි මේ සත්වයා ඇදගෙන වැටෙන්නේ? ඒකට හේතුව තමයි, හිත කෙළෙසනව, කිළිටිවෙනව. හිත කිළිටිවුනායින් පස්සෙ කිළිටි වු හිතකින් සැපවත් ලෝකයක උපදින්ට ලැබෙන්නෙ නෑ. ඇයි සිත කිළිටිවෙන්නේ? ආර්ය සත්‍යය අවබෝධ නොකරන නිසා. 

ආර්ය සත්‍යය අවබෝධ කලානම් එයාගෙ සිත කිළිටිවෙන්නෙ නෑ. සම්පූර්ණයෙන් එයාගෙ හිත කිළිටි භාවයෙන් නිදහස්වෙනව. ඒ විදිහට කිලිටි භාවය දුරුකරගන්ට පුළුවන්කම තිබෙනවා. එතකොට ආර්ය සත්‍යය අවබෝධ නොකරනතාක් අපිට සතර අපායෙන් නිදහස්වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.
එතකොට අපිට ආර්ය සත්‍යය අවබෝධකරගැනීම පිණිස අවස්ථාවක් ලැබෙන්නෙත් ඉතා ම කලාතුරකින්. බහුල වශයෙන් ඒ අවස්ථාව අපිට ඉපදෙන්නෙ නෑ. ඉතා ම කලාතුරකින් කෙනෙකුට තමයි, ආර්ය සත්‍යය අවබෝධකරගැනීමේ වාසනාව තිබෙන්නෙ. ඒ බව අපි යම් පමණකින් දන්නව. 

නමුත් ඒ දැණුම ප්‍රමාණවත් නොවුනොත්, ආර්ය සත්‍යය අවබෝධ කරගන්න අවස්තාව ලැබෙන්නෙ කලාතුරකින් කියල යමෙකුට හොඳින් තේරුම් නොගත්තොත්, එයා ආර්ය සත්‍යය අවබෝධ කරයිද? ආර්ය සත්‍යය අවබෝධ කරන්නෙ නෑ. 

එහෙනම් ආර්ය සත්‍යය අවබෝධකරගන්ට නම් එයාට තේරෙන්ට ඕනැ, ඒ ආර්ය සත්‍යය අවබෝධකරගන්ට තිබෙන අවස්ථාව දුර්ලභයි, ඒ අවස්ථාව ගිලිහිලා ගියොත් අපිට මහා දුක් ගොඩක් ආයෙ විඳින්ට සිද්ධවෙනව, කාටවත් බේරගන්ට ලැබෙන්නෙ නෑ. ඒ විදිහට තේරුම්ගන්න කෙනා ආර්ය සත්‍යය අවබෝධකරගන්ට මහන්සිවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

 

උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment