Friday, February 11, 2011

පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි අපි කාගෙත් කැමැත්ත තියෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකරන්ටයි. එහෙම කැමැත්තක් නැත්නම් අන්න ඒ කැමැත්ත උපදවාගන්න.
එහෙම කැමතිවන්නා වූ යම් කෙනෙක් ඉන්නවනම් අන්න එයාට ඒ කැමැත්ත ඉටුකරගැනීම පිණිස යමක් උපකාර වනවා නම්, ඒ සඳහා බලවත් සේ උපකාර වන වැදගත් ම දේ කුමක්ද? "ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට ඕනෑ" කියල යම් කෙනෙකුට කැමැත්තක් උපදින්ටත්, ඒ කැමැත්ත ඉටුකරගන්ටත් යමක් උපකාර වනවානම් ඒ උපකාර වන්නා වූ ප්‍රමුඛත ම දේ තමයි පින. 

යම් කෙනෙක් පින්කලානම්, පින් උපදවාගත්තානම්, එසේ ඉපදුණා වූ පිනක් අපිට තිබුණානම් අන්න එසේ ඉපදුණ පිනෙන් අපිට යමක් ලැබෙනවනම්, එසේ පිනකින් අපිට ලැබෙන වටිනා ම දේ මෙකක්ද? දැන් අපිට සල්ලි තිබ්බොත් සල්ලිවලට ගන්න පුළුවන් යම් යම් දේ තියෙනවනෙ. යමෙකුට සල්ලි තියෙනව නම්, එයා ඔන්නම් පාන් ගන්නව, තව කෙනෙක් රත්‍රං ගන්නව. ඒ වගේ අපිට පිනෙන් ලැබෙන වටිනාම දේ මොකක්ද? " කළ්‍යාණමිත්‍ර සම්පත". 

ඇයි අපි එහෙම කල්පනාකල යුත්තේ. පිනෙන් ලැබෙන විපාකය සැපය. එහෙනම් මේ ලෝකයේ යම් සැපක් තියෙනවනම්, ඒ අග්‍ර වූ සියලු සැප අපිට ලැබෙන්නෙ මොකක් මුල් කරගෙනද? කළ්‍යාණ මිත්‍ර ඇසුර මුල්කරගෙන. වෙනදේකින් නෙවෙයි. 

එහෙනම් ඒ අග්‍ර වූ සැප ලබා ගැනීම පිණස උපකාරවන්නේ කළ්‍යාණමිත්‍රයා නම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම පිනක විපාකයක් නෙවෙයිද? එහෙනම් අග්‍ර විපාක ලබාදුන්නේ කළ්‍යාණමිත්‍ර ඇසුර තුළනම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම තමයි පින විසින් අපිට උපදවල දුන්න බලවත් ම උපකාරය, ප්‍රතිලාභය. අපිට මේ කාරණා වලින් මොකක්ද ඉගෙනගන්න තියෙන්නේ? පළවෙනි කාරණය තමයි පින කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීම. ඇයි අපිට අග්‍ර සැපක් ලැබෙන්නෙ පිනෙන්. 

එහෙනම් පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කරා කවදා යන්ටද? පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කවදා අත්කරගන්ටද? පින විසිනුයි ඒක උපද්දල දෙන්නෙ.
අපි පින කෙරෙහි විශ්වාසය ඇතිකරගත යුතුයි. පින කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න කෙනා ඊළඟට මොකක්ද කරන්නේ? පිනෙන් ලැබෙන ඊළඟ බලවත් ම දේ මොකක්ද? "කළ්‍යාණමිත්‍ර ඇසුර". 

අපි පළමුවෙන්ම පින කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. ඊළඟට එයා කළ්‍යාණ මිත්‍ර ඇසුර කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. අන්න ඒ විශ්වාසයන් දෙක මත අපේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් ලැබෙනවාම යි. පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාට අපේ ආරක්ෂාව ගිලිහිලා යනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාටත් අපේ ආරක්ෂාව ගිලිහිලා යනව.
පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ ඒ හේතුවෙන් අපේ ආරක්ෂාව අපට ඇතිවෙනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ අපේ ආරක්ෂාව ඇතිවෙනව. 

ඒ නිසා අපිට ආරක්ෂාව පිණිස, මහත් වූ සැපය පිණිස පවතින්නේ පින. ඒ පින විසින් උපද්දල දෙන බලවත් ම ප්‍රතිලාභය තමයි කළ්‍යාණ මිත්‍ර ඇසුර. පින ගැනත්, පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය වන කළ්‍යාණ මිත්‍ර ඇසුර ගැනත් විශ්වාසය ඇතිකර ගැනීමට මේ සියලු දෙනාටම භාග්‍යය උදවේවාæ කියල අපි ආශිර්වාද කරනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment