Friday, February 11, 2011

සැප උපදින පින් කරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



හැකි හැම වෙලාකදි ම පින් සිතුවිලි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. එතකොට අපි ඒ විදිහට හොඳ හිතක් උපදවගෙන වාසයකරනවනම්, යහපත් විදිහේ සිතකින් යුක්තව වාසය කරනවනම්, අපි ඒ වෙලාවේදී කරන කියන හැමදේකින් ම පින උපදිනව. ඒ වගේ ම ඒ හැම වෙලාවකදී ම කරන කියන දේ තුළින් උපදින පින මහත්ඵලයි. බලවත් පිනක් උපදිනව. එහෙම නැත්නම් අපි පින් සිතුවිල්ලක් උපදවගන් නැතුව පිරිසිදු සිතක් උපදව ගන් නැතුව යහපත් සිතක් උපදවගන් නැතුව අපි කරන කියන දේවල් බලවත් පිනක් බවට පත්වෙන්නෙ නෑ. 

සමහරවිට පිනක් උපදියි, ඒක බලවත් නෑ. පරිපූර්ණ නෑ. අංග සම්පූර්ණ පිනක් වෙන්නෙ නෑ. සමහරවිට පිනක් උපදින්නෙ ම නැතිවෙන්න පුළුවන්. එනිසා හැකි හැම වෙලාවකදී ම පින් සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. කුසල සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. හොඳ සිතුවිලි වලින් හොඳ යහපත් සිතකින් වාසය කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් බාහිරට පෙනෙයි අපි යහපත් දෙයක් කරනව වගේ. නමුත් අභ්‍යන්තරයේ යහපත් දෙයක් අපට රැ ස්වෙන්නෙ නැත්නම් අපේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත අඳූර කරා ළංවෙනව. 

එනිසා අපට බාහිරින් ලැබෙන ප්‍රශංසා ගැන කල්පනා කරන්න එපා. එහෙම දෙයක් නැතුවට කමක් නෑ. අභ්‍යන්තර ජීවිතය තමන්ගේ සිතේ ස්වභාවය ගැන තේරුම් අරගෙන, ඒ සිත පිරිසිදු ස්වභාවයකින් තියාගන්න කටයුතු කරන්න. යහපත් සිතුවිලි වලින් වාසය කරන්න පුරුදුවෙන්න. එතකොට අපි කරන දේ තුළින් බලවත් විදිහේ පින් අපට රැස්වෙනව. අංග සම්පූර්ණ පින් අපට රැස්වෙනව. යහපත් සිතකින් වාසය කරන කෙනාට ලැබෙන යහපත ඒක තමයි. එයාට දවසින් දවස සැප ඇතිවෙනව. එයාගෙ ජීවිතයේ අලෝකය උදාවෙනව. එහෙම නැතිවුනොත් එහෙම, දැන් අපිට යම් සැපක් උදාවෙලා තියෙනවා, ඒ ඔක්කොම කලින් කරල තියෙන පිනකින් ලැබෙන්නෙ. 

එතකොට අපිට මේ සුවපහසුව විඳිමින් වාසය කරනකොට ගෙවිල යන්නෙ මොනවද? කලින් රැස්වෙච්ච පින ගෙවිල යනව. එතකොට අපි දැන් රැස්කරගත්තෙ නැත්නම්, කලින් කරපු පින ගෙවිල යනව. එතකොට මොකද වෙන්නෙ. කරගත්ත පින ඉවරවුණාට පස්සෙ දිළිඳූයි. ඊට පස්සෙ සැප ලැබෙනවද? ඊට පස්සෙ මේ සැප ලැබෙන ස්වභාවය නැති වෙලා යනව. ඇයි කරපු පින ඉවරයි. ආපහු පින් රැස්වෙන විදිහේ ප්‍රතිපදාවක වාසය කළේ නෑ. පින රැස්වෙන ප්‍රතිපදාව තමයි පින් සිතකින් කටයුතු කරන්න පුරුදුවීම. 

යහපත් සිතුවිල්ලෙන් යුක්තව වාසය කරන්න පුරුදුවීම. අපි කලින් කල පින ගෙවෙන විට ලැබෙන සුවපහසුව, ලැබෙන විපාකය විඳින්ට ඕන ඒකට මත්වෙලා නොවෙයි. ඒකෙන් මත්වුනොත්, සිහිය උපදවගත්තෙ නැත්නම්, අපි සිහි නුවණ පාවිච්චි නොකොළොත් අයෙ පින් කරගන්න උත්සාහ කරන්නෙ නෑ. එතකොට කල පින ගෙවිල යනව ඉක්මනින්. ඒවගේ ම වේගෙන් පින් රැස්කර ගැනීමේ අවස්ථාවකුත් දැන් තියෙනව. අන්න ඒක හඳූනගන්න බැරුවයනවා. ඒ කළ පිනේ විපාකය විඳිනකොට සිහි මුළාකර ගත්තොත්, ඒ පිනේ විපාකයට මත්වෙලා ගියොත් එහෙම, ගොඩාක් පින් කරගන්න තියෙන අවස්ථාව අඳූරගන්න බැරුව යනව. 

ඒ නිසා කලින් කළ පිනේ විපාක විඳිනකොට ඒකට මත්වෙන්න එපා. අපිට පින්කරන්න අවස්ථාවක් ලැබිල තියෙන්නෙ කියල තේරුම්ගන්න. ඒ අවස්ථාවේ පින්කරගත්තෙ නැත්නම් අපිට තියෙන පින ගෙවිල ගිහිල්ල ඊටපස්සෙ අපිට සැප නැතිවෙලා යනව. අන්න ඒක තේරුම්අරන් පින් රැස්කරගන්න ඕනෑ කියන කල්පනාව උපදවාගන්න. එහෙනම් අපි හොඳ සිතුවිලි පවත්වමින් ඉන්ට පුරුදුවුනොත්, අපි කරන කියන හැම දේකින් ම අපිට පින් රැස්වෙනව. අන්න ඒක තේරුම්අරගන්න. ඒක තේරුම්අරගෙන යහපත් සිතුවිලි තේරුම් අරගෙන ඉන්ට පුරුදුවෙන්න. මෙත් සිතින් වාසය කරන්න. කරුණා සහගත සිතුවිලි වලින් වාසය කරන්න පුරුදුවෙන්න. 

නිහතමානී සිතුවිලි වලින් යුක්තව වාසය කරන්න. එතකොට අපි කරන කියන දේ තුළින් අපට පින් රැස්වෙනව. යම් පිනක් රැස්වුනොත් ඒක මහත්ඵල පිනක් බවට පත්වෙනව. අන්න ඒ විදිහට පින් රැස්කරගත්තොත් යම් කෙනෙක්, එයාගේ ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත සැප කරා ම යන ජිවිතයක් බවට පත්වෙනව. සැප කරා ම එයාගේ ජීවිතය දියුණුවෙලා යනව. එහෙම නැත්නම් අපි අකුසල සිතකින්, නරක සිතකින් යුක්තව කටයුතු කළොත්, බාහිරට ඉතින් බැබළීමක් පෙනෙයි ටික කලක්, කළ පිනේ විපාක ලැබෙනවනෙ. 

ඒ පින ගෙවිල ගියාට පස්සෙ ඒ බැබළීම නැතිවෙලා යනව. ඊට පස්සෙ මහා දුක් ගොඩකට මැදිවෙන්ට එයාට සිදුවෙනව. ඒ නිසා හොඳ ට කල්පනාකරල, හොඳින් තේරුම් අරගෙන නරක සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. එනිසා අපි මේ සියලු දෙනාට ම ආශිර්වාද කරන්න කැමතියි සැප උපදින පින් කරගන්ට සියලු දෙනාට ම කැමැත්ත ඉපදේවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment