Friday, February 11, 2011

ඉරියව් කෙරෙහි සිහිය පිහිටුවාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වත්නි, 

ඉරියව් හතරක් තිබෙනව. වාඩිවෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිද ඇවිද ඉන්නකොට. 

හොඳට බලන්න අපි කොයි ඉරියව්වෙ හිටියත් හිත කොහෙද තියෙන්නෙ කියල. අපි ඇවිදගෙන ගියත් හිත කොහෙ හරි දුවනව ඇතිනේද? ඉඳගෙන හිටියත් හිත දුවනව ඇති. ඉස්සෙල්ල එහෙම තේරුම්ගන්න. නිදාගෙන හිටියත් හිත කොහේ හරි ගිහින්. මොනව හරි දෙයක් කල්පනා කර කර ඉන්නව. එතකොට මොනවද අපි ඒ කල්පනා කරන්නෙ? අකුසල ස්වභාවයක් ඇත්තෙ. 

කැමති දේ ඔස්සේ හිත දුවනව, අකමැති දේ ගැන කල්පනා කර කර ඉන්නව. ගොඩක් වෙලාවට කාමච්ඡන්දය හරි ව්‍යාපාදය හරි ඒ වගේ දෙයක් ඔස්සේ හිත දුවනව. එතකොට තේරුම්ගන්න මේක අකුසලයක්, ඒකෙන් නිදහස් කරගන්ට කරන උපක්‍රමයක් තමයි ඉන්න ඉරියව්වට හිත පිහිටුවගන්නව. 

එතකොට එහෙ මෙහෙ දුවන්න නොදී පාලනය කර ගැනීමක් තමයි කරන්නෙ. ඒක උපක්‍රමයක්. එතකොට අපි ඒ ඉන්න ඉරියව්ව හිතින් තේරුම්ගන්නව. එහෙ මෙහෙ දුවන සතා ලනුවකින් ගැට ගහනවා වගේ. සිත නීවර්ණ ඔස්සේ එහෙ මෙහෙ දුව දුව ඉන්නකොට හිතට වෙහෙසයි. නමුත් අපි දැන් නීවර්ණ ඔස්සේ හිත දුවන්න නොදී, ඒ කාමයන් ඔස්සේ හිත දුවන්න නොදී, ඉන්න ඉරියවක් ඇත්නම්, ඒ ඉරියව්ව හිතින් තේරුම්ගනිමින් ඉන්නව. 

එතකොට නීවර්ණ බලවත්වෙන්නෙ නෑ. කලක් යනකොට නීවර්ණ දුබල වෙන්න පටන්ගන්නව. නීවරණ දුබලවෙනකොට නීවරණ නිසා හටගත්ත පීඩා නැතිවෙනව. එතකොට සිතට පහසුවක් තියෙනව. ඊටපස්සෙ කලින් අපි හිත පිහිටෙව්වෙ කොතනද, එතන ඉන්න කැමතියි. ඒක මේ වගේ. සතෙක් ඉබාගාතෙ යනව. අපි මේ සතාට හිමිහිට කෑම ටිකක් දෙනව. දැන් බලෙන් අල්ලන්න ගියානම් අල්ලන්න බෑ. කෑමට පුරුදුවුනායින් පස්සෙ එයා එතන ඉන්නව. 

අන්න ඒ වගේ අපි සිත උපක්‍රමයෙන් එහෙ මෙහෙ දුවනව තේරුම්ගන්නව, බලෙන් ගන්නෙ නෑ. බලෙන් ගන්න ගියොත් හිත අල්ලගන්න බෑ. උපක්‍රමක් කරනව. මොකක්ද උපක්‍රමය? ඉන්න ඉරියව්ව තේරුම්ගනිමින් ඉන්නව. හිත දන්නෙත් නෑ මොකක්ද කරන්නෙ කියල. ඒක උපක්‍රමයක්. ඒ විදිහට අපි ඉන්න ඉරියව්ව තේරුම්ගනිමින් ඉන්නකොට, අර කලින් නීවර්ණ ඔස්සෙ දුව දුවා තිබුණු හිත කාමයන් ඔස්සේ දුව දුවා හිටපු හිත අපි දැන් උපක්‍රමයෙන්, ඉන්න ඉරියව්වට පුරුදුකරනව. කාමයන් ඔස්සේ දුවන්න දුවන්න හිත පීඩා වින්ඳනෙ. 

දැන් අපි ඉන්න ඉරියව්වට හිත පිහිටුවාගෙන, ටික ටික පුරුදුකරනකොට අර කාමයන් ඔස්සේ දුවමින් වෙහෙසුන, පීඩා වින්ඳ හිතට ඒ පීඩාව දැන් අඩුවෙන්න පටන්ගන්නව. දැන් සුවයි. ඊට පස්සෙ සුවය ලැබෙන තැන එයා ඉන්නව. දැන් එයාට පහසුවෙන් අර ඉරයව්වල හිත පිහිටුවාගෙන ඉන්ට පුළුවන්. එහෙම ඉඳීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි නීවරණ වලට ආහාර නැතුව යනව. නීවරණ දුබල වෙනව, හිත සුවපත්බවට පත්වෙනව. නීවර්ණ දුරුවීමෙන් හිත ප්‍රමුදිත බව ඇතිවෙනව. 

ඉතින් මේක එකපාරට වෙන්නෙ නෑ. එකපාරට කඹේකින් ගැටගහනව වගේ ගැටගහන්න බෑ. උපක්‍රමයෙන් පරිස්සමෙන් කලයුතු එකක්. ටික ටික පරිස්සමෙන් පරිස්සමෙන් කලයුතු එකක්. හේතුව මේ හිත අදෘෂ්ශයි, අල්ලන්න බෑ, හිත ගැන අපි දන්නෙ නෑ. මේ දන්න කය වුනත් අපිට පුළුවන්ද අපිට ඕනැ විදිහට එකපාරට නමන්ට? බෑ නේද? එහෙනම් නොදන්න, නොතේරෙන, අදෘශ්‍ය හිත එකපාරට නමන්න ගියොත් අපිට විසඳූම් හොයාගන්න බැරි අබල දුබලවීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම පරිස්සමින් ටික ටික පුරුදුකරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment