Friday, February 11, 2011

ප්‍රමාදය බැහැරකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

මරණය ඉදිරියේ බියවෙන්නෙ නැත්නම්, ලෙඩ දුක් ඉදිරියේ බියවෙන්නෙ නැත්නම්, කම්පා වෙන්නෙ නැත්නම්, ඒ ජීවිතේට මේ ලෝකයම නින්දාකලත් ඒ නින්දා ලබනවද? ඒ ජීවිතයට නින්දාව කියන එක අයිති නෑ. එහෙනම් එබඳූ ජීවිතයක් උපදවාගන්නයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබෙන්නෙ. 

භාග්‍යවතුන් වහන්සේ අපිව උනන්දුකලේ එබඳූ ජීවිතයක් ඇතිකරගන්ටයි. එහෙනම් අපි කල්පනාකරන්ට ඕනැ, තෙරුවන් සරණ අපිට වුවමනා කරන්නෙ එයටයි. එහෙනම් අපි ප්‍රමාදයට පත්වුණොත් ලෙඩ දුක් ඉදිරියේ අපිට කම්පානොවී ඉන්ට ලැබෙයිද? වයසටයාම ඉදිරියේ අපිට කම්පානොවී ඉන්ට පුළුවන්ද? මරණය ඉදිරියේ අපිට කම්පා නොවී ඉන්ට පුළුවන් වෙයිද? බෑ. එහෙනම් අප්‍රමාදීබවට අපි පැමිණිය යුතුයි. 

මේ මොහොතේ පටන් අප්‍රමාදී බවට අපි පැමිණිය යුතුයි. එසේ පැමිණීම පිණිස තමයි මේ දහම් අවවාදය ඔබට ලැබෙන්නෙ. එහෙම නැත්නම් අපි, "තව කල් තියෙනවනෙ, දැන් ඉතින් ඇඟේ පතේ හයිය තියෙනවනෙ, දැන්ම කරදර වෙන්නෙ ඕනෙ නෑ පස්සෙ බැරියැ. කොලු කාලෙ විනෝදෙන් ඉඳල, පස්සෙ කාලේ බණ භාවනා හුරුවෙන්ට බැරියැ" කියල ප්‍රමාදයට වැටෙනව. 

ප්‍රමාදයට වැටෙන්ට බලපාන හේතුව මොකක්ද? ඒක දැනගත්තොත් අපි ප්‍රමාදයට වැටෙන්නෙ නෑ නේද? තමාගේ ජීවිතයට මූණදෙන්ට තියෙන දුක ගැන අවබෝධයක් නෑ. 

"වයසට යෑම මගෙ ජීවිතයට අයිති දෙයක්, ඒක දුක් සහිත දෙයක්, අතිශය කර්කෂක දුක් සහිත දෙයක්" කියල අවබෝධයක් නෑ, ප්‍රමාද වෙනව. 

ජරාවට පත්වීම ඉතා ම දුක් සහිත දෙයක් කියල අපිට වැටහීමක් නැත්නම් ප්‍රමාදවෙනව.
ඒක සිහිකරන්න. ලෙඩවීම, මරණයට පත්වීම දුක් සහිතයි, දුකට අයිති දෙයක්, කර්කෂ දුක් සහිත දෙයක් කියල අපිට වැටහීමක් නැත්නම් එපමණකින්ම එයා ප්‍රමාදයි. 

ප්‍රමාදවෙන්න වෙන හේතුවක් නෑ. ප්‍රමාදයට පත්වීම පිණිස තිබෙන්නේ එකම එක හේතුවයි. මොකක්ද ඒ හේතුව? දුක ගැන වැටහීමක් නැතිවීමමයි. 

දුක ගැන වැටහීමක් තිබෙන කිසියම් ම කිසි කෙනෙක් ප්‍රමාදයට පත්වෙන්නෙ නෑ. දුක ගැන වැටහීමක් නැතුව වෙනත් ඕනැම දෙයක් ගැන වැටහීමක් තිබ්බ කියල එයා ප්‍රමාදය අතහරින්නෙ නෑ. එයා ප්‍රමාදය තුළම යි.
එහෙනම් ප්‍රමාදයට පත්වීමෙන් බේරිලා, අප්‍රමාදයට එන්නනම් තිබියයුතු එක ම දේ තමයි, දුක ගැන වැටහීමක් තිබීම. ආර්ය සත්‍යය ගැන වැටහීමක් අපිට තියෙන්ට ඕනැ. අන්න එයා අප්‍රමාදී බවට සැණකින් එනව. 

එහෙනම් ආර්ය සත්‍යය ගැන වැටහීම හොඳින් පවත්වන්ට පවත්වන්ට එයා අප්‍රමාදය තුළම ඉන්න කෙනෙක් බවට පත්වෙනවා. එයා ප්‍රමාදය බැහැරකරගෙන වාසය කරන කෙනෙක්. ඉතින් අපි අන්න ඒ විදිහට පුරුදුකරගත්තොත් අපේ ශ්‍රාවකත්වය දියුණුවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment