Friday, February 11, 2011

සැබෑම සෙනෙහස දක්වමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැඹුරු වූ සිතින් වාසයකරන්ට ඕනැ කියල කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කලා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පරම සත්‍යය අවබෝධකලා. 


උන්වහන්සේට සැඟවුණු රහසක් තිබුනෙ නෑ. මේ ලෝකයේ කිසිවෙකුට වෙනස්කරන්ට බැරි ඒ තියුණු ප්‍රඥාව උන්වහන්සේ උපදවාගත්ත. උන්වහන්සේ දෙවියන් මිනිසුන්ගේ යහපත උදෙසා සිංහ රාජයෙක් වගේ, සිංහ නාදය පැවැත්තුවා.


උන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨික කඩමාලු ඉරා දැමුවා. උන්වහන්සේ කිසිවෙකුටත් වෙනස් කරන්ට බැරි ඒ පරම සත්‍යය විවෘතකලා. උන්වහන්සේ කිසිවෙකුට බයවුනේ නෑ. උන්වහන්සේ කිසිවෙකුට අනර්ථය කලේ නෑ. උන්වහන්සේට බයක් සැකක් තිබුණෙ නෑ. උන්වහන්සේ අවබෝධ නොකල දෙයක් තිබුනෙ නෑ. 


මේ දේ අවබෝධ කලයුතුයි කියල, තව දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නෑ. උන්වහන්සේ ප්‍රකාශ නොකල දෙයක් තිබුනෙ නෑ. උන්වහන්සේ විවෘත නොකල දෙයක් තිබුනෙ නෑ. උන්වහන්සේ ඒ සියලු සැප උදෙසා, දෙවියන් මිනිසුන්ගේ යහපත උදෙසා අවබෝධ කලයුතු සැප උපදවගත හැකි සියලු දේ අපි උදෙසා කියාදුන්නා.

ඒ බුද්ධ රාජ්‍යය ආරක්ෂා කලා. බොහෝ කලක් ගෞතම බුද්ධ ශාසනය පවතින ආකාරයට ශාසනය ඉථාපිත කලා.


උන්වහන්සේගේ ශ්‍රාවකයින් ඒ ශාසනය මෙතෙක් සුරක්ෂිතව පවත්වගෙන ආව. නමුත් හීන අදහස් තියෙන යමෙක් හිටියනම් ඒ ශාසනය වැනසුවා. ඒ නිසා අපි කිසිකළෙකත් ඒ භාග්‍යවතුන් වහන්සේ අතිශය කැපකිරීමකින් ගොඩනැගූ ඒ බුද්ධ රාජ්‍යය කෙලෙසෙන දෙයක් නොකල යුතුයි. 


අපි ජීවිතය පරිත්‍යාගයෙන් ඒ සම්බුදු සසුන සුරකින්න කල්පනා කලයුතුයි. ලාමක හැඟීමකට කිසිසේත් යටවෙන්ට එපා. ඔබට තිබිය යුතුයි ඔබගේ ජීවිතය ගැනම වගකීමක්. ඔබගේ ජීවිතය දියුණුකරගන්ට තියුණු කැමැත්තක් තිබිය යුතුයි. ඔබ කෙරෙහී ම ඔබට තිබිය යුතුයි ආදරයක්. 


ලෝකයා කෙරෙහිත් ඔබට තිබිය යුතුයි අනුකම්පාවක්. දෙවියන් මිනිසුන් කෙරෙහි ඔබ තුළ සැබෑම
අනුකම්පාවක් තිබිය යුතුයි, ලාමක අනුකම්පාව කියන ඒ මිත්‍යාවට ගොදුරුවෙන්ට එපා. ලාමක මිත්‍යා සෙනෙහසට, මිත්‍යා ආදරයට රැවටෙන්ට එපා. ඔබ සැබෑම අනුකම්පාවක්, සැබෑම ආදරය හඳූනගත යුතුයි.

ඒකයි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශකලේ, "පින්වත් ආනන්ද ඔබ යම් රජෙකුට, ඇමතියෙකුට, ලේ ඥාතියෙකට ආදරෙයිනම්, කරුණාව දක්වනවා නම්, එයා අහයි කියල හිතනවා නම් කරුනු තුනක් මත සමාදන් කරවන්න" කිව්ව.


"බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවල දෙන්න කිව්ව.
ධර්ම රත්නය කෙරෙහි ප්‍රසාදය උපදවලදෙන්ට කිව්ව,
සංඝ රත්නය කෙරෙහි ප්‍රසාදය උපදවලදෙන්න කිව්ව."


අන්න ඒ විදිහට ඒ තෙරුවන් කෙරෙහි යමෙක් තුළ පැහැදීම උපදවල දුන්නනම්, අන්න එයා මේ පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතූන් වෙනස්වෙලා ගියත්, ඒ තෙරුවන් කෙරෙහි පැහැදුන කෙනා වෙනස්වෙන්නෙ නෑ කිව්ව. 


ඒ තෙරුවන් කෙරෙහි පැහැදුන කෙනා සතර අපායෙන් නිදහස් කියන දෙයින් වෙනස්වෙන්නෙ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කලා, එහෙනම් අපි යමෙකුට ආදරය කරනවනම් යමෙකුට කරුණාව දක්වනවනම් අපි විසින් කල යුතු දේ තමයි එයාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ පිහිටවීම.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment