Friday, February 11, 2011

ඉවසීමෙන් පුරුදුකරගත යුතු භාවනා

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, කරන භාවනා මනසිකාරය වේගයෙන් වේගයෙන් පවත්වන්ට එපා. ගොඩාක් හිමිහිට පවත්වන්නත් එපා. යම් රිද්මයකට පවත්වගන්න. එතකොට ඒ ඔස්සේ තමයි හිත පුරුදුවෙන්නෙ. 


යම් කෙනෙක් වේගයෙන් වචන පාවිච්චිකරනව නම්, ඒ හිත පුරුදුවෙනකොට එයාට යම් අපහසුකම් ඇතිවෙන්ට පුළුවන්. ඒ නිසා සාමාන්‍ය වේගයකින් පුරුදුකරන්න. ඒ වගේ තමන්ට හුරු පුරුදු වේගයකින් රිද්මයකින් පුරුදුකරගන්ට.


සමහර අය කාලය ගැන කල්පනා කරල වේගයෙන් හිතනව. සමහර අය "වෙන හිතුවිලි වලට ඉඩදෙන්ට හොඳ නෑ" කියල හිතල වේගයෙන් හිතනව. සමහර අය, "මම මේක ඉක්මනින් පුරුදුකරන්ට ඕනැ" කියල හිතල වේගයෙන් කරනව. සමහර අය විවිධ කරුණු නිසා, "හිතට බලපෑම් කරන්ට ඕනෑ" කියල හිතල, වේගයෙන් පුරුදුකරනව. අන්න ඒක හොඳ නෑ. ඒක හිත දුබලවෙන්ට දුර්වලවෙන්ට හේතුවෙන්ට පුළුවන්.


අපි ආරම්භයේදී මේ පුරුදුකරගන්න දේ ඉතා පරිස්සමින් පුරුදුකරගත්තොත් මේ හිත බලවත් දෙයක් බවට පත්කරගන්ට පුළුවන්. හිත දුබල වුනොත් ආරම්භයේදී ම බලවතෙක්වෙන්ට බෑ. ඒ නිසා බණ භවනා කරනකොට පිළිවෙලකට, ක්‍රමානුකූලව පුරුදුවෙන්ට ඕනැ. 


අපිට අනාගතේදී අවස්ථාවක් තියෙන්ට පුළුවන් බණ භවනා දියුණුකරගන්ට නේද? එහෙම අවස්ථාවක් තිබුණොත් එම අවස්ථාව අහිමිවෙනව ආරම්භය දුර්වල වුනොත්. මොකද අපි ධර්මය ඉගෙනගෙන ටික ටික මේ බණ භවනා පුරුදුවෙන්ට ඕනැ. එතකොට අපිට අවුරුදු ගණනාවකින් හරි බණ භවනාවක් කරගන්ට පුළුවන් කෙනෙක් බවට පත්වීමේ හැකියාව තියෙනව.


සමහර අය කල්පනාකරනව, "මම දවසෙන් දෙකෙන් මේක පුරුදුකරගන්ට ඕනැ" කියල හිතල ඉක්මන්වෙනව. අන්න එයා තමයි, අර විදිහට කළබල කරගෙන නැති ගැටලු හදාගන්නේ. එතකොට හිත පුරුදුකරගන්ට බෑ එතකොට ගැටළු ඇතිවෙනව. ඊට පස්සෙ එයාට බණ භවනාවක් කරන්ටතියා ධර්මය අහන්ටවත් බැරිව යනව. ඊට පස්සෙ එයාගෙ හිත සුවපහසුවෙන් නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා බණ භවනා පුරුදුකරනකොට, ටික ටික පරිස්සමින් පුරුදුකරගන්න, කලබල නොවී. එතකොට අපිට හුරුපුරුදු දෙයක් බවට පත්වෙනව.


විශේෂයෙන්ම හදිස්සිවීම ඉතා ම අනතුරුදායකයි. බණ භවනා කිරීමට විතරක් නෙවෙයි, කොයි දේටත් හදිසිවීම හොඳ නෑ. ඒ නිසා බණ භවනා පුරුදුවීමෙදී කළබලය කියන එක අතහරින්න. කළබලනොවී බොහෝම පරිස්සමින්, ඉතාම සිහිකල්පනාවෙන්, ඉවසීමෙන්, ප්‍රවේශමෙන් පුරුදුකරගන්ට ඕනැ. පුංචි දරුවෙක් හදන්න වගේ. 


කිරි දරුවෙක් හදාගන්නවා වගේ තමයි හිත හදාගන්න ඕනැ. කිරි දරුවා පුංචි කාලෙ පුලුන් කොට්ටෙ තියල නේද අල්ලන්නෙ. අතින් අල්ලන්නෙත් නෑ. මොකද එච්චර සියුම්. ඉතින් ඒ ළමය ලොකු මහත් කරගන්ට ඕනෑ කියල අපේ හදිස්සියට සිද්ධවෙනවද? පොඩි ළමයෙක් ඉපදෙනව, අපිට හිතෙනව, "මම මේ ළමය ඉක්මණින් ලොකුකරගන්ට ඕනැ" කියල, ආස හිතෙනව. හිතෙනව නේද අම්මලට? ඒ ස්වභාවයක්. එහෙම හිතුන කියල කරන්ට බෑ. එයාට කලයුතු දේ තියෙනව. කරන්ට තියෙන්නේ ආරක්ෂා කරගන්ට ඕනැ. පෝෂණය කරන්ට ඕනැ, එච්චරයි. ඊට වඩා දෙයක් එයාට කරන්ට බෑ. සිදුවෙන වේගයෙන් වැඩෙනව. එයාට කරන්ට තියෙන්නෙ ආරක්ෂාකිරීමත්, පෝෂණයකිරීමත්. 


පැතුවට කමක් නෑ ඊට වඩා දෙයක් කරන්ට ගියොත් වෙන්නෙ තමාට ඒ දේ අහිමිවෙලායනව. දැන් ඉක්මණින් මහත් කරගන්ට කියල වැඩිපුර කෑම දුන්නොත් මොකද වෙන්නෙ. අදාල නැති කෑම දුන්නොත් හානි වෙනව නේද? හානිවෙනව. එනිසා අපි ආරක්ෂා කරගන්ට ඕනැ, සුදුසු විදිහට පෝෂණය කරන්ට ඕනැ. අන්න ඒ වගේ තමයි හිතත්. හිත දියුණු කරනකොට හිත ආරක්ෂා කරගන්ට ඕනැ. සුදුසු විදිහට පෝෂණය කරන්ට ඕනැ. එතකොට ඒ හිතේ ස්වභාවයට අනුව වැඩෙන්ට පටන්ගන්නව. 


අපිට ඕනැ විදිහට හිත වඩන්ට බෑ. අපි විසින් කලයුත්තේ හිත ආරක්ෂා කරගැනීමත් පෝෂණය කිරීමත්. අන්න ඒ කාරණා මතක තියාගන්ට. හොඳයි එහෙනම් අපි කාටත් සෙත්පතනව, වාසනාවන්ත ජීවිතයක් උපදවගන්ට භාග්‍යය ලැබේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment