Friday, February 11, 2011

අටලෝ දහමට කම්පා නොවෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



තමන් ධර්මය තුළ පිහිටමින් අටලෝ දහමට කම්පා නොවෙන හිතක් හදාගැනීමට මහන්සිවෙන්න ඕනැ. අටලෝ දහම ඉදිරියේ ඉතා ම දුක සේ දුක් සහිතව වාසයකිරීමක් තමයි අපිට තිබුනේ. ඒ නිසා ඒවායින් නිදහස්වෙලා සුවපහසු හිතක් හදාගන්න කල්පනාකරන්න. 


ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකට කැමතියි ඒකට හිත යට වෙනවා. ඒ වගේ වෙලාවට සිහිකරන්න, "මේ ප්‍රශංසාවෙන් මට දුකෙන් නිදහස්වෙන්ට බෑ නේද කියල, වයසට යන ජීවිතයට ප්‍රශංසා ලැබිල, ප්‍රශංසාවෙන් ඒ වයසට යෑමෙන් නිදහස්වෙන්ට බෑ නේද" කියල හිතන්න. "වයසට යන ජීවිතයකට මොන ප්‍රශංසාවක්ද, කියල කල්පනා කරන්න. ලෙඩ වෙලා දුකට පත්වෙන ජීවිතයකයට මොන ප්‍රශංසාවක්ද? කියල සිහිකරන්ට. "මරණයට පත්වෙන ජීවිතයට මොන ප්‍රශංසාවක්ද" කියල සිහිකරන්න. 


ප්‍රශංසාව ලැබෙනකොට, ඒ ප්‍රශංසාව නිසා අපි දුකෙන් නිදහස්වෙනවනම් ඒ ප්‍රශංසාව වටින එකක්. නමුත් ජාති, ජරා, මරණ දුකෙන් නිදහස්වෙන්ට අපිට ඒ ප්‍රශංසාවෙන් උපකාර නොවෙනවානම්, ඒ ප්‍රශංසාව අපිට වටිනා දෙයක් නෙවෙයි, නොවටිනා දෙයක්. අන්න ඒ විදිහට ඒ ලාභ, ප්‍රශංසා ආදී දේ ගැන සිහිකරන්න. ඒවට යටවෙන්ට එපා, ඒව පතන්න එපා. ඒව පැතුව කියල අපිට ඒව නිසා දුකින් නිදහස්වෙන්ට ලැබෙන්නෙ නෑ. ආයෙ ආයෙ දුකට යනව. 


එතකොට නින්දාවක් ලැබෙනකොට, දුක්පීඩා ලැබෙනකොට, අලාභ ලැබෙනකොට ඒ ලෝකයේ ස්වභාවය කියල තේරුම්ගන්ට. මෙවැනි ලෝකයකින් නිදහස්වීම මයි වටින්නේ කියල තේරුම්ගන්න. එතකොට අපිට හිත අකුසලයට වැටෙන්ට නොදී ආරක්ෂාකරගන්ට පුළුවන්කම තිබෙනව.


ඒ විදිහට ඒ ධර්මයන් හොඳින් පුරුදු කරගත්තොත් ඔබ කාටත් මේ ජීවිතය වාසනාවන්ත දෙයක් බවට පත්කරගන්ට පුළුවන්. 


ඉතින් ගෙවල්වල වාසය කරන අතර ම, එදිනෙදා කටයුතුකරන අතර ම ඔබට මූණදෙන්ට වෙන්නේ, ලෝක ධර්මවලට තමයි. එතකොට තේරුම්ගන්න, මේක තමයි භාග්‍යවතුන් වහන්සේ කියාදුන්නේ කියල. එතකොට යම් කෙනෙකුට තමන්ගේ නිවසේ වේවා, ඒ රාජකාරි කරන තැනක වේවා ඒ ලෝක ධර්මයන් හටගන්නකොට තේරෙනවනම් මේ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ නේද සිද්ධවෙන්නෙ කියල, එයා ඒ වෙලාවේ සිහිකරන්නෙ කා ගැනද? අන්න එයා භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිකරනව. එයා බුදුරජාණන් වහන්සේව සිහිකරන කෙනෙක්. බලන්න ධර්මය පිළිගත්ත කෙනාගේ ස්වභාවය. ධර්මය පිළිගත්ත කෙනා ධර්මය කරාම යන්නෙ අන්න ඒ විදිහටයි.


ඒ ධර්මය තමන්ගෙ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා තේරෙනකොට එයාට සිහිවෙන්නේ භාග්‍යවතුන් වහන්සේවයි.


එයා කල්පනාකරනව භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම ඇත්තක් තමයි කියාදුන්නෙ. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සත්‍යය දෙයක් තමයි ප්‍රකාශකලේ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සිදුවෙන දෙයක්ම යි ප්‍රකාශකලේ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම මා කෙරේ අනුකම්පාවෙන්, මට යහපතක්මයි කියාදුන්නේ" කියල. අන්න ඒ විදිහට ධර්මය තේරුම්අරගෙන, ධර්මයට අනුව වාසයකරන කෙනා මේ විදිහට සිහිකරනවා. එයාට ධර්මය තේරෙනව එතකොට. 

තමන් ධර්මය පිළිගත්ත නම්, ඒ ධර්මයට අනුව කටයුතු කරන්ට කල්පනාකරන කෙනාට, තමාගේ ජීවිතයට ඒ ඒ දේ ඒ ඒ වෙලාවෙදි උද්ගත වෙනකොට, ධර්මයට අනුව සිහිවෙනව, මේ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ නේද සිද්ධවෙන්නෙ කියල. අන්න එයා තෙරුවන් කෙරෙහි පැහැදීම බලවත්කරගෙන ධර්මයකරා ම යන කෙනෙක් බවට පත්වෙනව.


ඒ නිසා මේ පින්වතුන්ට නිවසේ ඉඳගෙන ම ධර්මය පුරුදුකරන්ට පුළුවන්දෙයක් කියල තේරුම් අරගෙන, තම තමාගේ නිවසේ වාසය කරන අතරම, ඒ රාජකාරි ආදී දේ කරන අතර ම, මේ ධර්මය පුරුදුකරන්ට පටන්ගන්න. එතකොට මේ අයට කලක් යද්දී ඉතා ම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුළුවන්කමක් තියෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment