Friday, February 11, 2011

දුක් පීඩා වලින් නිදහස් වූ ජීවිතයක් උපදවගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, 

අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතා හොඳින් ඉගෙනගෙන, ඒ ධර්මය පුරුදුකරගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. 

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය වුවමනා කරන්නේ දුක් පීඩා රහිත ජීවිතයක් උපදවගන්න, වෙන දේකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර දේකින් දුක් පීඩා වලින් නිදහස් වූ ජීවිතයක් නෙවෙයි. උපදවගන්න උපකාර ලැබෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ධර්මය, ඒ පෙන්වාදෙන ආකාරයට අපි පුරුදුකරගත්තොත් තමයි, දුක් පීඩා රහිත ජීවිතයක් අපිට උපදවගන්න පුළුවන්කම තිබෙන්නෙ.
මේ ධර්මය පුරුදුවීමකින් තොරව, පුහුණු වීමකින් තොරව, අපිට ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්ට බෑ. ඒ නිසා අපි ධර්මය හොඳට පුරුදුකරගන්ටයි කල්පනා කලයුත්තේ. අමාරු කාරණයත් අන්න ඒකමයි. ධර්මය පුරුදුකිරීම තමයි අමාරු දේ. 

ධර්මය පුරුදුකිරීම පිණිස ධර්මය හොඳට අහන්ට ඕනැ. එතකොට ධර්මය අහන එකත් ධර්මය පුරුදුකරගැනීමට වුවමනා දෙයක්. ධර්මය ඇසීමත් අමාරු දෙයක්. 

භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, "නිසි කලට කරුණු හතරක් පුරුදුකරනවා නම් එයා නොබෝ කලකින් ඒ අරහත් මගට පැමිණෙනවා" කියල. මොනවද ඒ කාරණා හතර? සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම, සුදුසු කලට ධර්ම සාකච්ඡා පැවැත්වීම, සුදුසු කලට සමථය පුරදුකිරීම, සුදුසු කලට විදර්ශනාව පුරුදුකිරීම.
මේ කරුණු හතර නිසි කලට යමෙක් කරනව නම්, එයා නොබෝ කලකින් අරහත්වයට පත්වෙනව. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. මේ කරුණු හතර පහසු නොවන බව ඒකෙන් අපි තේරුම්ගත යුතුයි.
අරහත්වයට පත්වෙනවා කියන දෙය මේ ලෝකෙ තියෙන අතිශය දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කර කටයුත්ත කරුණු හතරක් පුරුදුකිරීමෙන් උපදවගන්න පුළුවන් නම්, ඒ කරුණු හතර අතිශය අමාරු කටයුතු හතරක් විය යුතුයි. මොනවද ඒ කරුණු හතර. සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, සමථය පුරදුකිරීම, විදර්ශනාව පුරුදුකිරීම. 

එහෙනම් අපි ඒ කරුණු හතර පුරුදු කරගැනීමට කල්පනා කල යුතුයි. ඒ කරුණු හතර ම අසීරු කරුණු බව අපි හොඳින් තේරුම්ගත යුතුයි. ඒ එක කරුණක්වත් ලේසි කරුණු නෙවෙයි. ධර්ම ශ්‍රවණය කියන අංගය සම්පූර්ණ කරගන්න බෑ, හොඳට පුරුදු නොවී. 

නිවන් මග උපදවගන්ටත් ඒ මග දියුණු කරගන්ටත් පරිපූර්ණ කරගන්ටත් ධර්ම ශ්‍රවණය කියන අංගය අපිට වුවමනයි. ඒ නිසා හොඳට ධර්මය අහන්ට අපි ඉගෙන ගන්න ඕනැ. ඒ විදිහට ධර්මය ඇහුවොත් අපට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබාගන්ට පුළුවන්කම තිබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment