Friday, February 11, 2011

වීරියෙන් දුරුකළ යුතු නීවරණ

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පින්වත්නි


නීවර්ණ පහක් තිබෙනව. ඒ පහම දරුණුයි. බාධා කිරීම පිණිසයි තියෙන්නෙ.
වෙලාවකට නිදිමත වෙන්ට පුළුවන් අපිට පීඩා උපද්දවන්නෙ. වෙලාවකදි කාමචඡන්දයෙන් වෙන්ට පුළුවන්. ඉතින් විටින් විට ඒ හටගන්නෙ කුමන නීවර්ණයද කියන එක අඳූනගන්ට ඕනැ. සමහර කෙනෙකුට නීවර්ණ පහම එච්චර බලවත්ව පීඩා කරන්නෙ නෑ, දුබලයි. එයාට බණ භාවනා කිරීම සුවපහසුයි.


ඒ විදිහට නීවර්ණ වලින් පීඩා නොවන කෙනාට, නීවර්ණ වලින් පීඩා අඩු කෙනාට කියනව "සුඛා පටිපදාව" අනුගමනය කරන කෙනා කියල. එයා සුවපහසු ප්‍රතිපදාවකින් යුක්තව තමයි නිවන් මඟ පුරුදුකරන්නෙ. නීවර්ණ වලින් බලවත් පීඩා විඳින කෙනා දුකසේ භාවනාව පුරුදුකරනව. ඒකට කියනව "දුක්ඛා පටිපදාව" කියල.


ඉතින් මේ විදිහට නිදිමත ආදී නීවර්ණ වලින් බලවත් සේ දුක් පීඩා විඳින කෙනාට එයින් නැගී හිටින්ට තිබෙන එකම දේ වීරිය. නිදිමත, ථීනමිද්දය, නැතිකර ගැනීම පිණිස තිබෙන්නෙ වීරිය යි. එබඳූ වීරියක් උපදවා ගන්ට අපිට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රද්ධා බලය මුල්කරගෙන.


භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව "පින්වත් මහණෙනි, මේ අකුසල් දුරුකරන්ට බැරි නම්, දුරුකරන්ට කියල මම කියන්නෙ නෑ" කියනව. "අකුසලය දුක් විපාක රහිතයි නම්, ඒක දුරුකරන්ට කියල මම කියන්නෙ නෑ" ආදී වශයෙන් අකුසලය ගැන කියා දෙනව.


ඒ වගේ ම "අකුසලය දුරුකරන්ට බැරි නම්, මම දුරුකරන්ට කියල කියන්නෙ නෑ" කියනව. ඒකෙන් අදහස්වෙන්නෙ අකුසලය දුරුකරන්ට පුළුවන්. දුක් විපාක රහිතයි නම් ඒත් දුරුකරන්ට කියල කියන්නෙ නෑ කියල කියනව. එහෙනම් අපි තේරුම්ගන්ට ඕනැ අකුසලය දුක් විපාක සහිතයි, අකුසලය දුරුකරන්ට පුළුවන්, අකුසලය දුරුකළ යුතුයි කියල.


ඉතින් ඒ විදිහට අකුසලය දුරුකිරීම පිණිස අපි බලවත් කැමැත්තක් උපදවගන්ට ඕනැ. ථීනමිද්ධය වේවා, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී මේ කුමන නීවර්ණය වුනත් පීඩා සහිතයි, දුක් සහිතයි. මහත් වූ දුක් පීඩා උපදවනව. ඉතින් අපි ඒක තේරුම් අරගෙන ඒ අකුසල් දුරුකරගෙන සුවපහසු හිතක් උපදවගන්ට ඇත්නම් කියල හිතේ සුවපහසු භාවයට කැමැත්තක් උපදවගන්ට ඕනැ. ඒ දුක් පීඩා සහිත අකුසල් සහිත හිතට අකමැත්ත උපදවගන්ට ඕනැ.


අන්න ඒ විදිහට අකුසලය දුරුකරන්ට කැමැත්ත, දුරුකිරීම පිළිබඳ විශ්වාසය ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන ඇතිකරගන්ට ඕනැ. ඉන්පසුව වීරිය කරමින් ක්‍රම ක්‍රමයෙන් ඒව දුරුකරගන්ට මහන්සිවෙන්න ඕනැ. දැඩි විදිහට වීරිය කරන්ට එපා. දැඩි වීරිය නොකර හීන වීරියත්, එහෙම නැත්නම් මඳ වීරියත් නොකර, තමන් තේරුම්ගන්ට තමාට ඔරොත්තුදෙන, හිතට පීඩා නොකරන ස්වභාවයකට වීරිය පවත්වගන්න.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


No comments:

Post a Comment