Friday, February 11, 2011

සොඳූරු දිවියකට සත්පුරුෂ ඇසුර

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, යම් කෙනෙක් කැමතිවෙනවනම් තමන්ගෙ ජීවිතය සුන්දර දෙයක් බවට පත්කරගන්ට, ඒ කියන්නෙ ඉතාම සැපවත් ජීවිතයක්, සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට, අන්න එයා කැමතිවෙනව සත්පුරුෂ ඇසුරට. සත්පුරුෂ ඇසුරට පත්වෙන කෙනාට ආරක්ෂාවක් තියෙනව. අනාරක්ෂාවක් ඇතිවෙන්නෙ නෑ. එනිසා ඒ සත්පුරුෂ ඇසුරේ වටිනාකම මෙච්චරයි කියල ප්‍රමාණ කරන්ට බෑ, අගය මෙච්චරයි කියල ප්‍රමාණ කරන්ට බෑ. සත්පුරුෂ ඇසුර එතරම් ම වටිනා දෙයක්. ඒ නිසා අපි ඒ සත්පුරුෂ ඇසුරට කැමතිවෙන්ට ඕනැ.


තමාගේ ජීවිතයට සැප කැමතිකෙනා, ඒ ජීවිතය ආරක්ෂාකරගන්ට ඕනැ. තමාගේ ජීවිතයට සැප කැමති කෙනා, සුන්දර ජීවිතයක් ඇතිකරගන්ට කැමති කෙනා, ජීවිතේ ආරක්ෂ කරගන්ට ඕනැ. ජීවිතේ ආරක්ෂා කරගැනීම පිණිස සත්පුරුෂ ඇසුරට එයා පත්වෙන්ට ඕනැ. සත්පුරුෂ ඇසුරට පත්වෙන්ටනම් එයා මොකක්ද කරන්ට ඕනැ. තමන් සත්පුරුෂයෙක්බවට පත්වෙන්ට ඕනැ. තමන් සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට පත්වෙන්ට බෑ. ඒනිසා අපි අපේ ජීවිතයට සැප ඇතිකරගන්ට කැමතිනම්, ජීවිතේ ආරක්ෂාකරගන්ට කැමතිනම්, සත්පුරුෂයින්ගේ ඇසුරට කැමතිවෙන්ට ඕනැ. 

සත්පුරුෂ ඇසුරට කැමතිනම් සත්පුරුෂයෙක් නොවුනොත් සත්පුරුෂ ඇසුර එයා ඇතිකරගන්නෙ නෑ. උරුමකරගන්නෙ නෑ. තමා සත්පුරුෂයෙක් නොවුනොත් ලැබුන සත්පුරුෂ ඇසුර එයා බැහැරකර දානව. වැඩි කාලයක් යන්ට කලින් ඒක අතහැර දානව. ඒක එයාට වදයක් බවට පත්වෙනව, මිහිරි නෑ. අසත්පුරුෂයාට සත්පුරුෂ ඇසුර මිහිරි දෙයක් වෙන්නෙ නෑ. එයා සත්පුරුෂ ඇසුර වර්ණනා කරන්නෙ නෑ. එයාට ඒක කරදරයක්. ඒ නිසා අපි ලැබුන සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට සමීපකරගන්ට නම් අපි සත්පුරෂයින් බවට පත්වෙන්ට ඕනැ.


තමන් සත්පුරුෂබවට පත්වෙන්ට ඕනැ. තමන් කොහොමද අපි සත්පුරුෂයින් බවට පත්වෙන්නෙ? අපි සත්පුරුෂ ගුණ ඉගෙනගන්ට ඕනැ. සත්පුරුෂ ගුණ ඉගෙනගෙන, ඒ සත්පුරුෂ ගුණ අපි අපේ ජීවිතයට පුරුදුකරගන්ට ඕනැ. අසත්පුරුෂ ගුණ ඉගෙනගෙන, අසත්පුරුෂ ගුණ බැහැරකරන්ට ඕනැ. අන්න එතකොට අපිට සත්පුරුෂභාවය ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව. අසත්පුරුෂයාගේ ගතියක් තමයි, අන් අයගේ අඩුපාඩු කියන එක. ඇහුවත් නැතත් අන් අයගේ අඩුවම යි කියන්නෙ. වැරදිම යි කියන්නෙ. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. 

ඒ වගේ ම අනිත් අයගේ හොඳ කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හංග හංගා කියන්නෙ. යාන්තම් කියන්නෙ. ඒකත් අසත්පුරුෂයාගේ ගතියක්. ඊළඟට ඒ අසත්පුරුෂා තමන්ගේ යම් හොඳක් තියෙනවනම් ඇහුවත් නැතත් තමන්ගේ හොඳ කියනව. ඇහුවොත් එහෙම තමන්ගේ හොඳ විස්තර කර කර කියනව. ඒක අසත්පුරුෂ ගතියක්. ඊළඟට අසත්පුරුෂයා තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම්, වැරැද්දක් තියෙනව නම් ඒක කියන්නෙ නෑ, හංග ගන්නව. ඇහුවොත් එහෙම හංගගෙන තමා කියන්නෙ. අන්න ඒව අසත්පුරුෂ ගති. අසත්පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ. අපි ඒව ඉගෙනගන්න ඕනැ. ඒව ධර්මයේ කියාදෙනව. 

අන්න ඒ ධර්මයන් ඉගෙන ගෙන එබඳූ චරිත ලක්ෂන අපි ලඟ තිබෙනවනම් අපි ඒව බැහැරකරන්ට ඕනැ. ඒවගේම සත්පුරුෂයාගේ චරිත ලක්ෂණ තියෙනව. සත්පුරුෂයාගේ ලක්ෂණ තමයි අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. යම් කෙනෙක් ඇහුවොත් එහෙම අනුන්ගේ අඩුපාඩු, මොනව හරි වැරැද්දක්, එතකොට සම්පූර්ණයෙන් කියන්නෙ නෑ. සඟවලා තමා කියන්නෙ. ඊළඟට ඒ සත්පුරුෂයාගේ චරිත ලක්ෂණයක් තමයි අනිත් අයගේ හොඳ කියනව, ගුණ කියනව. ඇහුවත් නැතත් අනුන්ගේ ගුණ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර විස්තර කර කර කියනව. 

හොඳ ට මතකතියාගන්න මේ කාරණා. මේව සරල දේවල් විදිහට ගන්න එපා. අපි සමහරවිට අහල ඇති, කියවලත් ඇති. නමුත් අපේ ජීවිතේ සත්පුරුෂභාවය ඇතිකරගන්ට බැරිවුනේ, මේව නොවටිනා දේ විදිහට කල්පනාකල නිසා. මේ තමයි ජීවිතේ දියුණුකරගන්ට තිබෙන පදනම. ඒ නිසා මේක අතිශය වැදගත් උතුම් කාරණයක් විදිහට සළකල පිළිගන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment