Friday, February 11, 2011

කුමක්ද අපේ වගකීම?

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔබ අපි මේවන විට පැමිණ තිබෙන්නේ අතිශයින් තීරණාත්මක වූ කාලයකට. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වසර දෙදහස් හයසීයක් සපිරෙමින් තිබෙන ඉතා ම සුන්දර වූ කාලයක් එළඹෙමින් තිබෙන අවදියක තමයි අපි වාසය කරන්නේ. 

ඒ වගේ ම අපි දීර්ඝ සාංසාරයක් ගෙවාගෙන ටික කලකට මේ ලෝකයට ඇවිල්ල තිබෙන්නෙ. එතකොට මේ තීරණාත්මක කාලයක්. මේ වෙනකොට බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙන්න ආසන්නයි. දීර්ඝ සංසාර ගමනක් ගෙවාගෙන, තාවකාලිකව මනුෂ්‍යය ලෝකයට ඇවිල්ල ඉන්නෙ. 

එතකොට ඒ දුර්ලභ අවස්ථා දෙකක් අපිට මුණගැහිල තිබෙනව. තීරණාත්මකයි නේද?
බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පවතින්නෙ නෑ ලෝකෙ. භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වසර දෙදහස් හයසීයක් ඉක්මයන්ට ඔන්න මෙන්න. අපේ ආයුෂයත් එක්ක බලපුවා ම භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහලවෙලා දීර්ඝ කාලයක් ගෙවිල අවසානයි. අපි සසර සැරිසරමින් ආපු කාලය කොතෙක්ද කියල කියන්ට බෑ. ඉතාම ටික කලකට අපි මනුෂ්‍යය ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.


ඒ පුංචි කාලෙදී, මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්ට ආසන්න කාලයක අපි මේ ලෝකයට ඇවිල්ල ඉන්නෙ. ඒකයි මේක තීරණාත්මක කාලයකට සම කලේ. 

ඒ අනාගත ලෝකය උදෙසා ඔබ විසින් ඉටු වියයුතු වගකීම ඔබ තේරුම්ගත යුතුයි. අපේ වගකීම විය යුත්තේ ලෝකයේ පරම දුර්ලභ දෙයක් තිබෙනවනම් එය සුරැකීම. අප වාසයකරන යුගයේදී යම් වටිනා දෙයක් තිබෙනව නම් එය නැසෙන්ට නොදී රැකගැනීම ඒ යුගයේ වාසයකරන නැණවතුන්ගේ වගකීම කියලයි අපි කල්පනා කරන්නෙ. 

යම් යුගයක වටිනා දෙයක් තියෙනවනම්, එය සුරැකිව තමාගේ යහපත පිණිස පරිහරණය කිරීමත්, අනාගත වර්ගයාගේ යහපත උදෙසා ඒ වටිනා දේ සුරක්ෂිතකර ගැනීමත්, ඒ යුගයේ වාසයකරන නැණවතුන්ගේ ගුණවතුන්ගේ කාරණයක්. එතකොට ඔබ හමුවේ තිබෙන වගකීමත් එයම යි. ඊට වඩා දෙයක් ඔබට පැවරෙන්නෙ නෑ. එබඳූ වගකීමකට ඔබ කැමතිද? ඔබගේ යහපත පිණිස ඔබ වාසය කරන යුගයේ තිබෙන දුර්ලභ ම දේ පරිහරණය කරන්ටත්, ඒ දුර්ලභ ම දේ අනාගත වර්ගයා උදෙසා සුරැකිව රැකගන්නත් ඔබ කැමතිද? එය වගකීමක් නේද? අපි විසින් ඉටුකලයුතු වගකීමක් නේද? 

අන්න එබඳූ වගකීමක් සහිත ජීවිතයක් අසුන්දරයිද, සුන්දරයිද? සුන්දරයි. එයාට සතුටු සිතින් වාසයකරන්ට පුළුවන්. වගකීමක් සහිත චරිතය, වගකීමක් සහිත කෙනා සතුටු සිතින් වාසය කරන්නෙ. එයා දන්නව "මා හිස් පුද්ගලයෙක් නොවේය" කියල. තමා ගැනම තමා සතුටුවෙනව. ඒ වගකීමක් සහිත කෙනාට තිබෙන භාග්‍යයක්.
වගකීමක් උසුලන කෙනාට තිබෙන භාග්‍යය තමයි, "තමා ලෝකයට යහපත කරන කෙනෙක්, හිස් කෙනෙක් නෙවෙයි" කියල තමා ගැන තමාට ම වැටහීමක් තිබෙනව. එතකොට තමා ගැන තමාට ම තිබෙන වැටහීම නිසා තමා තුළ සතුටක් උපදිනව. 

ඒ සතුට තව කෙනෙකුට නසන්ට බෑ. තමා තුළම ඉපදිච්ච සතුටක්, එබඳූ සතුටකින් වාසයකරන්ට ඔබ කැමතිද? ඔබට එබඳූ සතුටකින් වාසයකරන්ට හැකිවේවා කියල අපි සෙත්පතනව. 

ඒ නිසා අපි කල්පනාකල යුත්තේ සැබවින් ම මේ ලෝකයට යහපත ඉටුකරන්ට පුළුවන් අය බවට පත්වෙන්ටයි. ලෝකයට යහපත ඉටුකරන්ටනම් අපි යහපත් අය බවට පත්විය යුතුයි නේද? අපි යහපත් අය බවට පත්නොවී ලෝකයට ඉටුකරන යහපත කවරක්ද? අපි යහපත් නොවී ලෝකයට කවර යහපතක් ඉටුකරන්ටද, පෙන්වා දෙන්ටද? නේද? ඒ නිසා අපි යහපත් අය බවට පත්වෙන්ට ඕනැ. 

ගෞතම බුදුරජාණන් වහන්සේ මේ උතුම් දුර්ලභ වූ ඒ සම්බුද්ධත්ව ජයන්තිය සමරන්ට පෙළගැසෙන අපි විසින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා කල යුතු, කල හැකි පරම පූජනීය උපහාරය වන්නේ එයයි. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment