Friday, February 11, 2011

පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන්න

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


හැකි සෑම වෙලාවකදි ම පින් සිතුවිළි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. නරක සිතුවිලි වලට ඉඩදෙන්න එපා.


ඊරිසියාව, කුහකකම, එකට එක කරන ගතිය, රාග සිතුවිලි, තරහ සිතුවිලි, ඇද කුද හොයන ගති. සිතේ සිතුවිලි විදිහටයි මේව එන්නෙ. තමන් හුවාදක්වන ස්වභාවය, අනුන් හෙලාදක්වන ස්වභාවය සිතේ සිතුවිලි ස්වභාවයට තමයි මේව එන්නෙ.


ඉතින් ඒව අකුසල සිතුවිලි කියල හඳූනගෙන, අන්න ඒවට ඉඩදෙන්ට එපා. ඒවට ඉඩ නොදී අපි ඒ වෙනුවට මෙත් සිත පවත්වන්න, කරුණාව පවත්වන්න, මුදිතාව පවත්වන්න, උපේක්ෂාව උපදවාගන්න, එකිනෙකාට උපකාර කිරීමේ කැමැත්ත උපදවාගන්න, ඒ විදිහේ පින් සිතුවිලි උපදවා ගන්න උත්සාහ කළ යුතුයි.

පින් සිතුවිලිවලින් යුක්ත ව වාසය කරනකොට අපිට නිතර ම පින් රැස්වෙනව. හැම වෙලාවෙ ම පින් රැස්වෙනව. ඊළඟට සමඟියෙන් යුක්තව කටයුතු කරන්න කැමතිවෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා "පිරිසක් සමඟ සමඟියෙන් වාසය කරන්න". අන්න එහෙම කැමතිවීමෙන් ම එයාට පින් රැස්වෙනව කියල, සමඟියට කැමතියි නම්, සමඟියෙන් වාසය කරනවා නම්, ඒ අය මුදිතා චේතෝ විමුක්තියෙන් වාසය කරන්නෙ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. 

ඉතින් මුදිතා චේතෝ විමුක්තියෙන් යුක්තව වාසය කරනකොට, ඒ අයගෙ ජීවිතයට බොහෝ පින් රැස්වෙනව කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව.


ඒ විදිහට වාසය කරනකොට එයාගේ සිතේ ප්‍රමුදිත බව ඇතිවෙනව. තවදුරටත් ඒ විදිහට වාසය කරනකොට එයාට ප්‍රීතිය ඇතිවෙනව. ප්‍රීති සිතින් යුක්තව වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඇතිවෙනව. එයා සැපසේ වාසය කරන කෙනෙක් බවට පත්වෙනව. එසේ සැපසේ වාසය කරන කෙනාගේ සිතේ සමාධිය උපදිනව. සමාධියක් සහිතව වාසය කරන කෙනෙකුට යම් කලකදී පරිපූර්ණ සැප අත්කරගැනීමේ භාග්‍ය උදාවෙනව.


මහත් සැප අත් කරගන්න මූලිකවුණේ මොකක්ද? පින් උපදවා ගැනීම. පින් උපදවා ගැනීමෙන් තමයි මෙලොව සැප, පරලොව සැප, සියලු දුක් දුරුවී ගිය ඒ නිවන් සැප මේ සියලු සැප උදාවෙන්නෙ.

ඒ නිසා සැපට කැමති අය විදිහට පින් රැස්කරගන්න කැමතිවෙන්න. පින් රැස්වෙන්නෙ, පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන කෙනාට යි, යහපත් සිතුවිලි උපදවාගෙන වාසයකරන කෙනාටයි. නරක සිතුවිලි උපදවාගෙන මොන දේ කළත් අපිට ඒකෙන් බලවත් පින් රැස්වීමක් වෙන්නෙ නෑ. එයාට පව් තමා රැස්වෙන්නෙ. අකුසල් රැස්වෙන්නෙ. එයාට දුක් විපාක විඳින්ට සිද්ධවෙනව. ඒ නිසා අපි කවුරුත් දුකට අකමැති වෙන්ට ඕනැ. සැපට කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට දුකට අකමැති වෙලා, සැපට කැමති වෙන කෙනෙක් විදිහට හොඳ සිතුවිලි උපදවාගෙන වාසය කරන්න.


ඉතින් මේ විදිහට කිවුවහ ම හිතෙන්න පුළුවන්, ඉතින් අපිට මේ රාගික සිතුවිලි එනවනෙ. තරහ සිතුවිලි එනවනෙ. ඊරිසියාව එනවනෙ. මොකද කරන්නෙ කියල. ඒ සිතුවිලි වලට අකමැති සිත උපදවාගෙන වාසය කරන්න. ඒක කුසල් සිතක්. ඒක පින් සිතක්. දැන් රාගය තියෙන කෙනාට රාගික සිතුවිලි එනව. එතකොට ඒ රාග සහිත සිතින් වාසය කළොත්, එයාට පින් රැස්වෙනවද? නෑ.


එයා මොනදේ කළත් එයාට මහත්ඵල පින් රැස්වෙන්නෙ නෑ. අර රාග සහිත සිතට යටවෙලා ම වාසය කළොත් පව් රැස්වෙනව. අකුසල් රැස්වෙන්නෙ. පිනක් රැස්වුණත් ඒ පින මහත්ඵල වෙන්නෙ නෑ, රාගයෙන් යටවෙලා නම්. එහෙනම් අපි කොහොමද රාග සිත තියෙද්දි වුණත් පින් සිත උපදවා ගන්නෙ. ඒ රාග සිතට අකමැති සිතක් උපදවාගන්ට ඕනැ. අකුසල් සිතුවිලි එනකෙනා ඒ අකුසල් වලට අකමැති සිත උපදවා ගත්තොත්, ඒ අකුසල් ප්‍රහාණය කරන්න කැමැත්ත උපදවාගත්තොත්, අන්න එයා තුළ කුසල් සහගත සිතුවිලි පින් සිතුවිලි ඉපදිලා. එයා වාසය කරන්නෙ පින් සිතින්.


එතකොට එයා කරන කියන දේ මහත්ඵල පින් රැස්වෙන්න හේතුවෙනව. එනිසා දැන් කෙළෙස් සහිත කෙනාට, කෙළෙස් සහිත සිතුවිලි එනව. රාගය සහිත කෙනාට, රාගය සිහිත සිතුවිලි එනව. ඒක ස්වභාවයක්. අපි ඒ අකුසල් තිබෙද්දී වුණත්, කුසල පැත්තට හිත නවාගන්නෙ කොහොමද? ඒ අකුසලයට අකමැති සිත උපදවා ගැනීමෙන්. ඒ අකුසල් දුරුකරන්න කැමැත්ත උපදවාගැනීමෙන්. ඒ ඉපදෙන පින් සිත බලවත් එකක්, අතිශයින් බලවත් පින් සිතක්.


එනිසා අකුසල් දුරුකිරීමට කැමති සිත් උපදවාගන්න. නිතර සිහිකරන්න, "මගේ සිත බොහෝ කලක් තිස්සේ මේ රාග, ද්වේෂ, මෝහ වලින් කිළිටි වෙලා තියෙන සිතක්. මේ රාග, ද්වේෂ, මෝහ නිසා සිත කිළිටිවෙනව, දුක් උපදිනව. ඒ නිසා මම රාග, ද්වේෂ, මෝහ දුරුකරපු සිතින් වාසය කරන්ට ඕනෑ" කියන මේ සිත උපදවාගන්න. අන්න ඒ සිත බලවත්ව පුරුදුකරගන්න කෙනාට බලවත් සැප උපදවාගන්ට පුළුවන් පින් රැස්වෙනව. එනිසා දැන් දැන් ඉඳල ම සිහිකරන්න පුරුදුවෙන්න, සිත හොඳින් පිහිටුවාගන්ට, කෙලෙස් දුරුකරන්ට කැමති සිතක් උපදවගන්ට. 

අපි මේ සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි සැප අතර අග්‍ර වූ සැප උපදවාගැනීමට සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment