Friday, February 11, 2011

අනාගතය සැපවත් කරගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පින්වතුනි, අපි කව්රුත් ආයුෂයට කැමතියි. ඒ කියන්නෙ බොහෝ කලක් ජීවත්වෙන්ට කැමතියි. ඒ වගේම ලස්සන ශරීරයක් ලබන්ට කැමතියි. ඒ කියන්නෙ වර්ණයට කැමතියි. සැපයට කැමතියි, බලයට කැමතියි. නමුත්, අපි මේවට කැමති වුනාට, කැමති වූ පමණින්ම, මේ දේවල් ලැබෙන අකාරය, ලබාගන්න ආකාරය දන්නෙ නැත්නම්, මෙවැනි සැපක් ලබාගන්ට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.


දවසක් භාග්‍යවතුන් වහන්සේ සුප්පාවාසා කියන උපාසිකාවගේ නිවසට වැඩමකරල, දන්පැන් වළඳළ, ඒ උපාසිකාවට මේ විදිහට කියා දෙනව, "පින්වත් සුප්පාවාසා, ඔබ දානය පූජාකරනකොට එමඟින් ආයුෂය පූජාකළා. ඒ වගේම වර්ණය ලබාදුන්නා. සැපය ලබාදුන්නා. බලය ලබාදුන්නා. ඔබ යමක්ද ලබාදුන්නේ, ආන්න ඒ දේ ඔබට අපස්සට ලබාගන්ට පුළුවන්කම තිබෙනව. ලැබෙනව." මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. 


බලන්න එතකොට හොඳට කල්පනා කරල, අපි හිතන්නෙ යමෙකුට දන්පැන් දෙනකොට, අපි බත් වෑංජන පූජා කළා කියල. නමුත් ඇත්තෙන්ම කල්පනා කරල බලන්න, අපි යමෙකුට දන්පැන් පූජාකරනකොට අපි විසින් මොනවද දෙන්නෙ කියල.


අපි යමෙකුට දන්පැන් දෙනකොට ඇත්තෙන්ම අපි එයාට ආයුෂය දුන්නා වෙනව, ඒ වගේම තමයි වර්ණය දුන්නා වෙනව, ඒ වගේම තමයි සැපය දුන්නා වෙනව. ඒ වගේම තමයි බලය දුන්නා වෙනව. ඒ කියන්නෙ අපි යමෙකුට ආහාර දෙනවානම්, කන බොන දේවල් දෙනවානම්, එමඟින් අපි එයාට ආයුෂ, වර්ණ, සැප බල කියන මේ හතර ආකාරයක දේවල් පරිත්‍යග කළා, ලබාදුන්නා, වෙනව.


භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, යම් කෙනෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව, දන් පැන් පිළියෙල කරල, ඒ දන්පැන් සිල්වතුන්ට පූජාකරනවා නම්, ඒ ලබාදුන්න දේ එයාට ඊළඟ ජීවිතයේදී ඒ ආකාරයෙන් ලැබෙනවා කියල. 


යමෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විදිහට පින් දහම් කර ගත්තහම, එයා කය බිඳිල මළාට පස්සෙ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත්, එයාට සැපවත් ජීවිතයක් ලැබෙනව. එතකොට එයාට ආයුෂය ලැබෙනව, වර්ණය ලැබෙනව, සැපය ලැබෙනව, බලය ලැබෙනව. 


ඒ වගේම තමයි කය බිඳිල මළාට පස්සෙ එයා දිව්‍ය ලෝකයක ඉපදුනොත්, ඒ ජීවිතයේදීත් එයාට ඒ දිව්‍ය ආයුෂය ලැබෙනව, දිව්‍ය වර්ණය, ලැබෙනව, දිව්‍ය සැපය ලැබෙනව, දිව්‍ය බලය ලැබෙනව, මේ විදිහට අයුෂ, වර්ණ, සැප, බල කියන දේවල් ලැබෙන්නේ, එයා දන් පැන් දුන්න එකේ විපාකයක් විදිහටයි.

යමෙක් දන් පැන් දුන්නොත්, ඒකට විපාකයක් විදිහට තමන් දුන්න දේවල් එයාට ලැබෙනව.

එනිසා අපි කවුරුත් අයුෂයට කැමතියි නම්, වර්ණයට කැමතියි නම්, සැපයට කැමතියි නම්, බලයට කැමතියි නම්, අන්න ඒවා ලබාගන්න විදිහ, ඉපදෙන විදිහ ගැන ඉගෙන ගන්ට ඕනැ. ඒව ඉගෙනගෙන අපි ජීවිතයට පුරුදුකරගන්නට ඕනැ. 


එනිසා ඒ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වාදී තියෙන විදිහට, දන් පැන් දෙන්ට අපි කව්රුත් පුරුදුවෙන්ට ඕනැ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව දන් පැන් දෙනවා නම්, අන්න ඒ විදිහට දන් පැන් දෙන කෙනාට බොහෝ පින් රැස්වෙනව. ඒ පිනෙන් එයා කය බිඳී මළාට පස්සේ සැපවත් වූ ජීවිතයක, සැපවත් වූ ලෝකයක එයාට උපදින්න පුළුවන්කම ලැබෙනව. සැපවත් වූ ලෝකයක ඉපදුන කෙනාට එයා දුන්න දේ එයාට ලැබෙනව.


එනිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්තොත්, ඒ ධර්මයට අනුව මේ ජීවිතය සැපවත් කර ගන්නටත්, මතු ජීවිතය සැපවත් කරගන්ටත්, අපිට පුළුවන්කම ලැබෙනව.

මේ විදිහට ධර්මය නොදන්නවා නම්, ධර්මයෙන් තොරව අපි කටයුතු කරනවා නම්, අපි සැප කැමතිව වෙනත් ධර්මානුකූල නොවන දේවල් කරනවා නම්, අපි හිතන සැපය, ප්‍රාර්ථනා කරන සැපය, එමඟින් ලබාගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. 


නමුත්, යම් කෙනෙක් ධර්මය ඉගෙනගෙන, ධර්මයට අනුව කටයුතු කරනවා නම්, එයාට ඒ සැප ප්‍රාර්ථනා කරන්ට අවශ්‍යවන්නේ නෑ. ප්‍රාර්ථනා නොකළත් ධර්මානුකූලව කටයුතු කරන කෙනාට සැප ලැබෙනව. ඒක ධර්මතාවයක්. 


නමුත් ප්‍රාර්ථනා කළත් එයා ධර්මානුකූලව කටයුතු කරන් නැත්නම්, එයාට සැප ලැබෙන්නේ නෑ. ඒකත් ධර්මතාවයක්.


ඒ නිසා මේ ජීවිතයේ ඉතාම සැප සේ වාසය කරන්ට කැමතිකෙනාත්, මතු ජීවිතයේ සැපසේ වාසය කරන්න කැමතිකෙනාත්, ධර්මය ඉගෙනගෙන ධර්මයට අනුවම කටයුතු කරන්ට කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට ධර්මානුකූලව ජීවත්වනකෙනාට සැප සහිත ජීවිතයක් උපදවගන්ට පුළුවන්කම ලැබෙනව.

සියලු දෙනාටම ධර්මානුකූලව ජීවත්වෙමින් සැපවත් ජීවිතයක් ගතකරන්ට වාසනාව උදාවේවා!

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment