Friday, February 11, 2011

සැප සතුට පිරුණු දිවියක්....

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි කවුරුත් ඉතාමත්ම සැපවත් වූ ජීවිතයක් ගතකරන්න කැමතියි.
සැපසේ වාසය කරන්න කැමති කෙනාට, ඒ සැප උපදින ආකාරය ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නෑ. ප්‍රාර්ථනාවකින් ලබාගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. සැප උපදින ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕන.
යම් කෙනෙකුට සැප ලැබෙන්ට නම්, එයාගෙ සිතේ පිරිසිදු භාවයක් උපදින්නට ඕනැ. සිතේ පිරිසිදුභාවයක් උපදින්නෙ නැත්නම්, එයාට දුක සේ වාසය කරන්ට සිද්ධ වෙනව. 

ඒක මේ වගේ, දැන් බලන්න ශරීරය අපිරිසිදු වුනාම සුවපහසුවක් දැනෙන්නෙ නෑ. දාඩිය ඇවිල්ල දූවිලි බැඳූනම, ශරීරය අපිරිසිදු වුනාම සුවපහසුවක් දැනෙන්නේ නෑ. දාඩිය ඇවිල්ල දූවිලි බැඳූනහම ශරීරය අපිරිසිදුයි. ඒ අපිරිසිදු ශරීරයෙන් වාසය කරනකොට ඉතාම අපහසුයි. දුක් සහිත ස්වභාවයක් තමයි තිබෙන්නේ. යම් කෙනෙක් ඒ ශරීරය හොඳට පිරිසිදු වතුරෙන් පිරිසිදු කරගත්තහම, යම් සුවපහසුවක් ඇතිවෙනව. 

අන්න ඒ වගේ තමයි සිත, නරක දෙවල් වලින් අපිරිසිදු වුනහම, ඒ අපිරිසිදු වූ සිතින් ඇතිවන්නේ අපහසුව ම තමයි. දුක් පීඩාම යි දැනෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේ අපිරිසිදු වූ සිත අපිරිසිදු වෙන්ට නොදී, පිරිසිදු භාවයට පත්කර ගත්තොත්, ඒ ආකාරයට පිරිසිදු වූ සිතින් ඉතාම සුවපහසුවක් ඇතිකරගන්ට පුළුවන්කම තිබෙනව. සිත පිරිසිදු කරගන්නෙ නැතිව සුවපහසුවක් ඇතිකරගන්ට පුළුවන්කම ලැබෙන්නෙ නෑ. 

ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ආකාරයට සිතේ අපිරිසිදු භාවය ඇතිවෙන ආකාරයත්, සිත පිරිසිදු වෙන ආකාරයත්, ඉගෙනගෙන, ඒ සිත අපිරිසිදු වෙන ආකාරයන් බැහැර කරමින්, සිත පිරිසිදු වෙන ආකාරය පුරුදුකර ගත්තොත්, අපි කාටත් පුළුවන්කම ලැබෙනව, සිතේ අපිරිසිදුභාවය බැහැර කරල, ඒ සිතේ අපිරිසිදුභාවය දුරු කරගෙන, පිරිසිදු වූ සිතක් උපදවගන්ට. 

පින්වතුනි, යම් කෙනෙක් කයින් වැරදි දේවල් කරනවා නම්, ඒක මුල් වෙලා එයාගේ සිත අපිරිසිදු වෙලා යනව. ඒ වගේම තමයි, වචනයෙන් නරක දේවල් කරනවා නම්, ඒක මුල්වෙලා එයාගෙ සිත අපිරිසිදු වෙන්ට පටන් ගන්නවා. ඒ වගේම තමයි මනසින් වැරදි දේවල් කළොත්, ඒක මුල්වෙළත් එයාගේ සිත අපිරිසිදු වෙන්ට පටන් ගන්නව. 

යම් කෙනෙක් කයෙන් හොඳ දේවල් කරනව නම්, නරක දේ අතහැරල බැහැර කරල, යහපත් දේ කරනව නම්, එයාගෙ සිත පිරිසිදු වෙන්ට පටන් ගන්නව. ඒ වගේම තමයි, වචනයෙන් නරක දේවල් බැහැර කරල, හොඳ දේවල් කළොත්, එයාගෙ සිත පිරිසිදු වෙන්ට පටන් ගන්නව. මනසින් කරන නරක දේවල් බැහැර කරල හොඳ දේවල් කළොත්, සිත පිරිසදු වෙන්ට පටන් ගන්නව. 

මේ විදිහට අපි මේ ධර්මය හොඳින් පුරුදු කර ගත්තොත්, අපිට පිරිසිදු සිතකින් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. එතකොට එයාට මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනාව උදාවෙනව. ඒ නිසා අපි කවුරුත් මේ ධර්මය හොඳින් ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන, කායික දුෂ්චරිතය බැහැර කරන්ට පුරුදු වෙන්ට ඕන, ඒ වගේම මානසික දුෂ්චරිතය බැහැර කරන්ට පුරුදුවෙන්ට ඕන. මේ විදිහට මේ දුෂ්චරිතය බැහැර කරල, සුචරිතය පුරුදු කරගන්ට අපි කැමති වෙන්ට ඕන. 

යම් කෙනෙක් සුචරිතය පුරුදුකර ගත්තොත් එයා නියත වශයෙන් ම සැපවත් වූ ජීවිතයක් උපදවගන්න කෙනෙක් බවට පත්වෙනව. සුචරිතය පුරුදු කරගත්ත කෙනා, මේ ජීවිතය ඉතාම සැපසේ වාසය කරනව. මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන කෙනාට මරණින් මත්තේ කය බිඳිල මළාට පස්සේ, ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට සුගති ලෝකවල ඉපදුනායින් පස්සේ, එයාට ඉතාමත් සැප සේ වාසය කරන්ට පුළුවන්කමක් ලැබෙනව. 

ඒ නිසා සැපට කැමති කෙනා, ඒ සැප උදාකරගන්න ප්‍රතිපදාව හඳූනගන්නට ඕන. ඒ ප්‍රතිපදාව ඉගෙනගන්ට ඕන. ඉගෙනගෙන ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්ට ඕන. ඒ නිසා හොඳින් මතක තබාගන්න, සැප කැමති කෙනාට අනුගමනය කළ යුතුව තිබෙන්නේ සුචරිතය පුරුදු කිරීමයි, දුෂ්චරිතය බැහැර කිරීමයි. 

ඒ නිසා සියලු දෙනාට ම සුචරිතය පුරුදු කරමින් දුෂ්චරිතය බැහැර කරමින් සැපවත් ජීවිතයක් ගතකිරීම පිණිස දුර්ලභ වූ භාග්‍ය උදාවේවා! කියල අපි සෙත් පතනව. 

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment