Saturday, December 11, 2010

රාග ගිනි නිවා දමමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


රාග, ද්වේෂ, මෝහ වලින් බොහෝ කලක් තිස්සේ මේ හිත කෙළෙසිලා තියෙන්නේ කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව. භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවබෝධය අපි දරා ගත්තොත්, අදහාගත්තොත් අන්න එයා ධර්මය දන්න කෙනා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව මනුෂ්‍යයාගේ හිතේ රාගය කියල දෙයක් තියෙනව.


ඒ රාගයේ ස්වභාවය මේකයි කියල බුදුරජාණන් වහන්සේ කිව් දේ අපි දරාගත්ත. අන්න ඒ විදිහට ඒ ධර්මය දරාගත්ත කෙනාගේ හිතේ යම් වෙලාවක රාගය හටගන්නව. දැන් අර ධර්මයෙන් ඉගෙනගත්ත දේ, දැනගත්ත දේ එයාට දකින්ට පුළුවන් වෙනව. කොයින්ද එයා දැක්කෙ? තමන් තුළින්. ධර්මයෙන් ඉගෙන ගත්ත.


දැන් එයා ධර්මය දන්න කෙනා. ඉගෙන ගත්ත ධර්මය තමන් තුළම දකිනව. මොකක්ද දකින්නෙ? රාගය හටගන්නව. හටගත්තයින් පස්සෙ ඒ රාගයේ ස්වභාවය එයා දකිනව. එතකොට එයා රාගය ගැන දන්නව. දැන් රාගය ගැන දකිනව.


අන්න එයා ධර්මය දන්න කෙනා ධර්මය දකින කෙනා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව, යම් කෙනෙක් මගේ හිතේ රාගය තියෙනවා කියල දැකගන්නව නම් එපමණකින් ම ධර්මය සන්දිට්ඨිකයි කියල. දැන් ඔන්න අපිට ගමනක් යන්ට ඕනැ. අපි ඒ ගමන යන්ට පාර දන්න කෙනෙකුගෙන් අහනව.


එයා කියනව අසවල් පාරෙන් යන්න, ඒ පාරෙ යනකොට මෙන්න මෙහෙම හන්දියක් හම්බවෙනව. ඒ හන්දියෙන් දකුණට හැරෙන්න. එහෙම යනකොට මෙහෙම විශාල ගහක් හම්බවෙනව. ඔය ආදී වශයෙන් මග සළකුණු කියනව.


එයා කෙරෙහි විශ්වාසයක් තියාගෙන ඒ පාරෙ යනව. යනකොට ඒ හන්දිය හම්බවෙනව, දකුණට හැරිල යනව, ඒ කිව්ව විදිහට ගහක් හම්බවෙනව. එතකොට එයා කලින් ඒ මග දන්න කෙනා. දැන් මග දකින කෙනා.


එහෙම යන්ට යන්ට අර පාර කිව්ව කෙනා කෙරෙහි විශ්වාසයක් එයාට එයිද නැද්ද? එනව. එයාට ඒ ගමන ගැන විශ්වාසයක් එයිද නැද්ද? එනව. අන්න ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට ජීවිතයේ ඇත්ත ගැන කියා දෙනව. දීර්ඝ කාලයක් තිස්සේ රාග, ද්වේෂ, මෝහ වලින් මේ හිත කිළිටිවෙලා තියෙන්නේ කියල නිතර හිතන්න කියල අපිට කියා දීල තියෙනව.


ඊළඟට අපිට කියල දීල තියෙනව, මේ රාගය කියන්නෙ ගින්නක්, ද්වේෂය කියන්නෙ ගින්නක්, මෝහය කියන්නෙ ගින්නක් කියල. ඉතින් මේ ධර්මය ඉගෙනගෙන දරාගත්තොත්, දහම දන්න කෙනා බවට පත්වෙනව.


ඒ දන්න දේ දැකගන්න පුළුවන් වෙන්නේ අපි තුළම රාගය හටගන්න කොට. එතකොට එයාට තේරෙනව භාග්‍යවතුන් වහන්සේ මේ කියා දුන් දේ ඒකාන්තයෙන් ඇත්තක් කියල. එහෙනම් එබඳූ සත්‍යයක් ප්‍රකාශ කරන්ටනම් ඒකාන්තයෙන් ඒක දැකල තියෙන්ට ඕනැ. රාගය ගැන දන්න කෙනෙක් තමයි අපිට එහෙනම් මේක කියා දුන්නෙ.


එහෙනම් භාග්‍යවතුන් වහන්සේ රාගය දැකල, රාගය දුරුකළා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං, සම්මා සම්බුද්ධයි කියල එයාට තේරුම්ගන්න පුළුවන්. එහෙනම් ඒ ධර්මය ගැන එයාට තේරුම්ගන්න පුළුවන්, ඒ ධර්මය මනාකොට දේශණා කරල තියෙන්නේ, ස්වාක්ඛාතයි කියල.


ඒ වගේම තමයි, ඒ ධර්මය පිළිපදින කෙනෙක්, මේ රාගය දුරු කරගැනීමට මහන්සි වෙන කෙනෙක්, ද්වේෂය, මෝහය දුරුකරගන්ට කටයුතු කරන අය කියල එයා පිළිගන්නව. එහෙනම් ඒ ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නයි කියල එයාට වැටහෙනව. ඒ විදිහට වැටහෙන්නෙ කෙහොම කෙනාටද? ඒ භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න, පෙන්වා දුන්න ධර්මය දරාගෙන තමා තුළින් ඒ ධර්මය දකින කෙනා.


එයාට තේරෙනව භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං, සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ධර්මය පුරුදුකරන්නා වූ අය සුපටිපන්නයි කියල. එපමණකින්ම එයා ශ්‍රද්ධාව දියුණුකරනව නේද? එහෙනම් බලන්න අපිට කොහෙන්ද පටන්ගන්න තියෙන්නෙ කියල. මුලින්ම ඒ දේශණාව ඉගෙන ගන්නව.


ඉගෙන ගත්තා වූ ධර්මය දරාගන්ට ඕනැ. පිළිගන්ට ඕනැ. අදහගන්ට ඕනැ. ඒක තමයි ශ්‍රද්ධාව කියල කියන්නෙ. එසේ ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කරන කෙනා තමාගේ ජීවිතයෙ තුළ විමසල බලනව ඒක. එතකොට තේරෙනව රාගය මා තුළ හටගන්නව. ඒ හටගන්න රාගය ගින්නක් නේද කියල එයාට තේරෙනව.


ඒ රාගය ආපුවාම හිත වැහෙනව. කිසි දෙයක් කරගන්ට බෑ නේද කියල එයාට තේරෙනව. එතකොට එයාට තේරෙනව ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ හරි නේද කියල. එතකොට ඒ රාගය මඟින් හිත කෙළෙසන ස්වභාවය, වැනසෙන ස්වභාවය දකිනකොට ඒකෙ අපහසුව, දුක් ස්වභාවය, කර්කෂ ස්වභාවය දකිනකොට එයා රාගය පවත්වන්න කැමතිවෙයිද? එයා රාගයට අකමැතිවෙනව.


එහෙනම් එපමණකින් ම එයා අකුසලය දුරුකරන්ට කැමතිවෙනව නේද? එයා රාගයේ තියෙන ගිනි නිවාගෙන ඉන්න එයාට කැමැත්ත උපදිනව. එපමණකින්ම එයා කුසල් වඩන්න කැමතිවෙනව නේද? එහෙනම් කොහෙන්ද අපි පටන්ගන්නෙ? ඒ ධර්මය අහල ඒ ඇසූ ධර්මය දරාගැනීමෙන්. ඒ ධර්මය පිළිගැනීමෙන් අන්න එතෙන්ට එන්න.


එතෙන්ට එන කෙනාට ප්‍රශ්ණ අර්බුධ නිරාකරණය වෙනවා මිසක අලුතින් හටගන්නෙ නෑ. එයාට මේ හිතේ රාගය එනවා කියන එක අද්භූත ගුප්ත දෙයක් නෙවෙයි. ඒකෙ ස්වභාවය පෙන්වා තියෙනව. ඉතින් ඒක තමා තුළ දකින්ට දකින්ට එයා පහදින්නෙ භාග්‍යවතුන් වහන්සේට. "ඇත්ත නේද මේ කිව්ව ධර්මය" කියල එයා හිතනව.


මේ රාගය ගින්නක් කියල කියා දුන්න. මේක ඒකාන්තයෙන් සත්‍යයක් නේ කියල රාගය මතුවෙනකොට එයාට පේනව. ඒ රාගය ඒකාන්තයෙන් දුරුකල යුතුයි දුරුකරන්ට ඕනැ කියන කැමැත්ත එයා තුළ හටගන්නව. ඇයි එයා දකිනව මම තුළ රාගය හටගන්නව. ඒක දුක් සහිතයි, කර්කෂයි ගිනි ගන්න එකක් කියල එයා තුළම වැටහීමක් ඇතිවෙනව.


ඒ වැටහීම අතිවුනේ කුමක් මුල්කරගෙනද? තමා අදහගත්ත ධර්මය මුල්කරගෙන. එතකොට එයා ධර්මය දන්නව ධර්මය දකිනව. අන්න එයා රාගය දුරුකරන්ට කැමති කෙනෙක් බවට පත්වෙනව.


ඒ නිසා අපි ධර්මය නැවත නැවත ඉගෙන ගන්න ඕනැ. ඉගෙන ගෙන ඒ ඉගෙන ගන්න ධර්මය කෙරෙහි පැහැදීම විශ්වාසය ඇතිකරගන්න. ඒ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයක් කියල අදහගන්න. එතකොට අපිට පුළුවන්කම ලැබෙනව මේ ජීවිතයේ ඇත්ත ස්වාභාවය තේරුම්ගන්න.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


 උපුටා ගැනීම : අමා දම් විල

No comments:

Post a Comment