Saturday, December 11, 2010

නොගැටී සිටින්නට නම්......

***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පින්වත්නි, මේ සිතේ ප්‍රණීතබව නසලදාන, අපිව මහත් සේ දුක් පීඩා වලට ඇද දමන බිහිසුණු අකුසලයක් තමයි තරහ, වෛරය, ක්‍රෝධය, හැප්පෙන ගතිය. මේ ස්වභාවය හිතක තිබෙනව නම්, ඒ හිත තුළ ප්‍රණීත බවක් තියෙනවද? එබඳූ සිතකින් දුක් පීඩාම යි ඉපදෙන්නේ.


ඔබ කැමතිද එබඳූ සිතක් සහිතව වාසය කරන්න? ඔබ එයට අකමැති විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් කැමති වුනේ නෑ. අපි ඒ වගේ දුක් පීඩා විඳින සිතකින් වාසය කරනවට.


එනිසයි භාග්‍යවතුන් වහන්සේ අපට තරහ, වෛරී ස්වභාවය, ක්‍රෝධ කරන ස්වභාවය, ගැටෙන ස්වභාවය බැහැරකරගෙන හිත සංසිඳවගන්න කියල අවවාද කලේ, අනුශාසනා කලේ. යම් පුද්ගලයෙක් ගැන තරහක් ඇතිවුණොත්, තරහක් ඉපදුණොත් ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත උපදවගන්න, මෛතී‍්‍ර සිත උපදවගන්න ඕනැ.
ඒ කෙනා ගැන හිතල, ඒ කෙනා වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඊරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වේවා කියල කල්පනා කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ යම් කෙනෙක් ගැන තරහ හිතක් ඇතිවෙලා තියෙනව නම්, වෛරයක් තියෙනව නම් ඒ කෙනා ගැන කරුණාව උපදවගත්තොත් අන්න ඒ කරුණාව උපදවගැනීම මගින් ඒ තරහ, වෛරය දුරුවෙලා යනව.


කොහොමද කරුණාව උපදවගන්නෙ? ඒ කෙනාගේ දුක දුරුවේවාæ කියල හිතන්න. යම් කෙනෙක් ගැන නම් අපේ හිතේ තරහ තියෙන්නේ, ඒ කෙනාගේ කායික දුක් දුරුවේවා, මානසික දුක් දුරුවේවා, සියලු දුක් දුරුවේවා, සංසාර දුකෙන් නිදහස්වේවා කියල හිතන්න. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට අපිට කියල දෙන්නේ, යම් කෙනෙක් ගැන තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඉපදිලා තියෙනව නම්, එයා කෙරෙහි උපේක්ෂාවට පත්වෙන්ට ඕනැ.


අපි එයා කෙරෙහි හිතවත් බවත්, අහිතවත් බවත් ඒ දෙකම අතහැරල එයා කෙරෙහි උපේක්ෂාවට පත්වෙන්ට ඕනැ. කොහොමද උපේක්ෂාවට පත්වෙන්නෙ? එයා කෙරෙහි අනුකම්පාවක් උපදවගත්තොත්, එයා කෙරෙහි උපේක්ෂාවට එන්න පුළුවන්.


ඊළඟට අපි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන කල්පනා කලොත් ටික කලක් ඉන්න අපිට මේ අමනාප කම් අහිතවත් කම් මොකටද? මේ රණ්ඩු සරුවල් අපිට වැඩක් නෑ ඒවා අපිට විපතක් කියල කල්පනා කරල උපේක්ෂාවට එනව.


ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ, ඒ තරහව, අමනාපය, ක්‍රෝධය යම් කෙනෙක් කෙරෙහි ඇතිවෙලා තියෙනව නම්, ඒ ගැන සිහිකරන්න එපා. ඒ ගැන හිත හිතා ඉන්න එපා. ඒ ගැන හිත හිතා හිටියොත් මොකද වෙන්නෙ? අර තරහ, අමනාපය වැඩිවෙනව. ඒ කෙනා හෝ ඒ කෙනා කළ ක්‍රියාව හෝ අමතක කරන්න ඕනෑ.
දැන් සාමාන්‍ය කෙනා තුළ වෙන්නෙ මොකක්ද? ඒක ම මතක්වෙනව. බලන්ටත් යනව. එනිසා යම් කෙනෙක් තරහ, වෛරය, ක්‍රෝධය අපේ හිතේ තියෙනව නම්, අපි ඒ කෙනා, ඒ සිද්ධිය අමතක කරන්න ඕනැ, සිහි නොකර ඉන්ට පුරුදුවෙන්ට ඕනැ. අන්න ඒකෙනුත් ඒ තරහ, වෛරය සම්පූර්ණයෙන් දුරුකකරගන්ට පුළුවන්කම තියෙනව.


භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, යම් කෙනෙක් කෙරෙහි තරහ, ක්‍රෝධය ඉපදිලා තියෙනව නම් ඒක කලින් විදිහට මෛත්‍රී වඩල කරුණාව පුරුදුකරල බැහැරකරන්න උත්සාහ කරනව. තවදුරටත් මේක තියෙනව නම් අපිට කියා දෙනව කර්මයේ ස්වභාවය ගැන සිහිකරන්න කියල. කොහොමද සිහිකරන්න කියල කියන්නෙ.


ඒ කෙනා කර්මය තමන්ගේ දේ කරගෙනයි ඉන්නේ, එයා කර්මය උපන් ස්ථානය කරගෙනයි ඉන්නේ. එයා කර්මය ඥාතියා කරගෙනයි ඉන්නේ, එයා කර්මය පිළිසරණ කරගෙනයි ඉන්නේ.


යහපත් වූ, අයහපත් වූ යමක් කළොත් ඒකෙ විපාකය විඳින්ට වෙන්නේ එයාටම යි කියල සිහිකරන්ට කියල කියනව. අන්න ඒ විදිහට අපි කල්පනා කළොත්, අපේ සිතේ යමෙක් කෙරෙහි තරහක් තිබුණොත්, ඒ තරහ බැහැරකරගන්ට පුළුවන්කම තියෙනව. එනිසා මේ ධර්මය තේරුම් ගන්න.


තේරුම් අරගෙන ඔබ ඔබේ නිවස සාමයෙන් පිරුණු, සෙනෙහසින් පිරුණු, ආදර කරුණාවෙන් පිරුණු, අනුකම්පාවෙන් පිරුණු, නිවුණු හිත් වලින් යුත් ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන සාමාජිකයින්ගෙන් යුතු නිවසක් බවට පත්කරගන්න. එතකොට ඔබ සියලු දෙනා ම නිවන කියන දිණුම් කණුව දෙසට හැරී වාසය කරන අය බවට පත්වෙයි.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment