Saturday, December 25, 2010

ශ්‍රද්ධා ලාභ‍යෙන් සමාධිමත් වෙමු!

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


ශ්‍රද්ධාව ඉපදුනු කෙනා කණගාටුවට පත්වෙන්නෙ නෑ. ශ්‍රද්ධාව ඉපදුනු කෙනාගෙ ස්වභාවයක් තමයි එයා ප්‍රමුදිත භාවයට පත්වීම. ඒක හරි විශ්මිත දෙයක්.


එතකොට ශ්‍රද්ධාව උපදින්නේ කුමක් මුල් කරගෙනද, දුක තේරුම් ගැනීමෙන්. ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම මේ ආදී දුක පිළිබඳව කියා දී තිබෙන කාරණා තේරුම් ගැනීමෙන් ශ්‍රද්ධාව උපදිනවා.
ඒ තේරුම් ගත්නෙ අපේ ජීවිතය තුල මේක ක්‍රියාත්මක වෙනවා අපි විමසල බලන්න ඕන. ඒක බහුල වශයෙන් කරන්න ඕන. එතකොට එයාට තේරෙනවා මගේ ජීවිතය දුකට අයිති දෙයක්. ඒ දුක ඉදිරියේ මට කිසිදු පිළිසරණක් නෑ කියල. කාටත් ඒක ගලවලා ගන්න බෑ. ඔය දුක මං ගන්නම් කියල කිසි කෙනෙකුට කියන්න බෑ. ආන් ඒ විධියට තේරුම් ගන්න කෙනා වැටහෙන කෙනා පිළිගන්නවා තේරුම් ගන්නවා තෙරුවන් සරණ හැරෙන්නට වෙන සරණක් මට නෑ.


සරණක් තියෙනවා කියල කියන්නෙ එමගින් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියල. ඒකයි සරණක් තියෙනවා කියල කියන්නෙ. ලෝකයේ වෙන තැනක වෙන දෙයකින් ඒක කෙරෙන්නෙ නෑ. ආන් ඒ විධියට තෙරුවන් සරණ ගැන විශ්වාසය ඇතිකරගත්ත කෙනා සතුටින් ඉන්න කෙනෙක්. එයා දන්නවා මට ප්‍රශ්නයක් තියෙනවා අර්බුධයක් තියනවා ඒකට විසඳුම දැන් මා කරා පැමිණිලා තියෙන්නෙ.


විසඳුම එයා ළඟ තියෙන්නෙ. ඒ තමා තිසරණය. එයා තුල සතුට ඉපදිලා ඒක නසන්න බෑ කාටවත් එයා තුළ ඉපදුනු ප්‍රමුදිත භාවය නැතිකරන්න බෑ කාටවත් ඇයි එයා ඇත්ත දැනගෙන ඒක වළක්වන්න පුළුවන්ද ආපස්සට ගන්න පුළුවන්ද දුක දැනගත්තොත් අවබෝධ කරගත්තොත් ඒ වැටහීම ආපස්සට ඇදල ගන්න කාටවත් බෑ.


ශ්‍රද්ධාවෙ පිහිටියොත් ඒක නැතිකරන්න බෑ කාටවත් එයා තුල පිහිටපු එකක්. එසේ ශ්‍රද්ධාව පිහිටිය කෙනා තුල ප්‍රමුදිත භාවය ඇතිවෙනවා. එහෙමනම් ඒක නැතිකරන්නත් බෑ කාටවත්. එසේ ප්‍රමුදිත වූ කෙනා බන භාවනා කරන්න එයා මැලි වෙන්නෙ නෑ එයා තුල උපන් කැමැක්තක් තියෙනවා බන භාවනා වලට. කවුරුත් පොළඹවන්න බල කරන්න උවමනාවක් නෑ. මෙසේ උපන් කැමැත්තෙන්ම බන භාවනා කරනකොට නීවරණ පහසුවෙන් යටපත් කරන්න එයාට හැකියාව තියෙනවා.


නීවරණ දුබල වෙලා යනවා. හිතේ විවේකය හට ගන්නවා. එසේ විවේකයෙන් යුතුව බන භාවනා කරන කෙනා තුල ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් යුක්තව බන භාවනා කරන කෙනා තුල කායික සැහැල්ලුව ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. ඒ සුව පහසුවෙන් බනභාවනා කරන කෙනා තුල සිතේ සැප ඇති වෙනවා. සැපසේ භාවනාව කරගෙන යනවා. එසේ සැපසේ භාවනාව කරන කෙනා තුල ධ්‍යාන ආදී බලවත් සමාධි උපදිනවා. ඒ විධියට සමාධි උපදවාගත්තොත් එයාට මේ ධර්මය තුල විශාල ප්‍රතිලාභයක් කරා යන්න පුලුවන්.
එතකොට බලන්න කොහෙන්ද පටන් ගන්නෙ කියලා. ආර්ය සත්‍යය ජීවිතයට ගලපලා බැලීම. තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය වටහා ගැනීම. තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය වටහා ගන්න කෙනා බොරු ආඩම්බරයට ඉඩක් දෙන්නෙ නෑ. එයා දන්නවා මට වැඩක් නෑ ඒකෙන්. එයා දන්නවා වයසට යෑම ලෙඩවීම ආදිය දුක උපද්දන දුකම ඉපදෙන දේවල් වලින් යුක්ත මම මේ පොඩි දෙයක් ගැන ආඩම්බර වෙලා ඇති වැඩක් තියෙනවද එයාට මේ ලෝකෙම රජකම හම්බ උනත් ඒක වැඩක් නෑ.


එයා දන්නවා මම මැරිල යනවා, මම වයසට යනවා. අබල දුබල වෙලා යනවා. ටික කලයි ලෝකෙ මම ජීවත් වෙන්නෙ කියල එයා දන්නවා. එයාට මේ ලෝකෙම රජකම දුන්නත් එයාට ඒක වටින්නෙ නෑ. එයාට වටින්නෙ මොකක්ද. මේ දුකින් නිදහස් වීම පමණයි.


යමෙක් තේරුම් ගත්තොත් මම ළඟ දුකක් කියෙනවා. ඒ දුකේ නිදහස් වීමකුත් තියෙනවා කියල තේරුම් ගත්තොත් එයා දුකින් ඉන්න කැමති වෙයිද, දුකින් නිදහස් වෙන්න කැමති වෙයිද දුක නැති ස්වභාවයට කැමතියි. දුක නැතිවීමට කැමති කෙනා ඒ දුක නැතිකරන විධිය අනුගමනය කරන්න කැමතියි.  ඒ දුක නැතිකරන විධියට කැමති කෙනා තුල සංවර භාවය හටගන්නවද නැද්ද, හටගන්නවා එයාව බලෙන් සංවර කරන්න ඕනද, දැන් යම් කෙනෙක් ඉන්නවා දුක හඳුනනව දුක දන්නවා දුකට හේතුවත් දන්නවා දුකේ නැති වීමත් දන්නවා දුක නැතිකරන විධියත් දන්නවා.


ආන් එහෙම දන්න කෙනා දුක තුල ඉන්න කැමතියිද දුකේ නැතිවීම තුල ඉන්න කැමතියිද දුකේ නැතිවීමට කැමතියි එයා. දුක නැතිවීමට කැමති කෙනා ඒ දුක නැතිකරන විධිය අනුගමනය කරන්න කැමතියි නේද. එහෙනම් නිතැතින්ම එයා තුල සංවරකම පිහිටනවා. වීරිය බලහත්කාරයෙන් පිහිටුවන්න ඕනෙද එයා තුල වීරිය පිහිටනවා.


ඇයි එයා දුකේ නැතිවීමට කැමතියි. දුක තුල ඉන්න කැමති නෑ එයා දුකේ නැතිවීමට කැමතියි එයා තුල වීර්යය උපදිනවා. එයා එහෙනම් එසේ වීරිය උපදින කෙනා බන භාවනා කරගන්න පෙළඹෙනවා. එයා ප්‍රබෝධයෙන් වාසය කරනවා. ප්‍රබෝධයෙන්  යුක්තව ඉන්නෙ. ඉතින් ඒ විධියට සතුටින් ඉන්න කෙනා ප්‍රබෝධයෙන්  ඉන්න කෙනා තමා තුල උපන් කැමැත්තෙන් බන භාවනා කරනවා පොත පත බලනවා ධර්මය ඉගෙන ගන්නවා ධර්ම කතාවක් කරනවා.


ආන්න ඒ විධියට ඉන්න කෙනා තුල තමයි සමාධිය උපදවා ගන්න පුළුවන් හැකියාව ඇතිවෙන්නෙ. ඒ විධියට සමාධිය උපදවාගත්තු කෙනා ධර්මයෙන් ලබාගන්න පුළුවන් ඉහල ප්‍රතිලාභ‍ උපදවාගන්නවා.  ඒ නිසා අපි කව්රුත් කැමති වෙන්න ඕන ආන්න ඒ විධියට අපට ලැබුණු  ලාභ‍ය ජීවිතයට සම්බන්ධ කරගන්න.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment