Saturday, December 11, 2010

ජීවිතයට සැප උදාකර ගනිමු

***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි උපන් දා ඉඳන් මේ වෙනකල් කයින් කටයුතු කළා, වචනයෙන් කටයුතු කළා, සිතින් කටයුතු කළා. මේ තිදොරින් ම අපි කටයුතු කලේ සැප විඳින්ට කියල හිතල නේද? සැප විඳින්ට කියල හිතලයි කළේ. මේ ලෝකයේ උපන් සෑම සත්වයෙක් ම මේ සිත, කය, වචනය මෙහෙයවමින් කටයුතු කරන්නෙ කුමකටද? සැප විඳින්ට හිතලම යි.


නමුත් මෙතෙක් අපි ආපු ජීවිතය දිහා ආපස්ස හැරිල බලන්න, අපි හිතූ සැප අපිට ලැබුනානම්, අපේ ප්‍රාර්ථනාවන් අවසන් වෙලා තියෙන්න ඕනැ. ප්‍රාර්ථනා පොදිය එකතුවෙනවද, ක්ෂයවෙනවද? ප්‍රාර්ථනා වැඩිවෙලා යනව. ප්‍රාර්ථනා වැඩිවෙන්ට වැඩිවෙන්ට ප්‍රාර්ථනා ඉටුවෙනවද? ඉටුවෙන්නෙ නෑ. එහෙනම් අපි සැප විඳින්න කියල හිතල නොයෙකුත් දේ කළා.


ඒත් හිතපු සැප ලැබිල නෑ. ඒ ඇයි? මේ ලෝකයේ උපන් සත්වයා සැප විඳින්න කියල හිතාගෙන කරන්නෙ ඇහැ පිනවන්න මහන්සිවෙනව, කන පිනවන්න මහන්සිවෙනව, නාසය පිනවන්න මහන්සිවෙනව, දිව පිනවන්න, ශරීරය පිනවන්න, හිත පිනවන්න මහන්සිවෙනව. ඒක නේද? කරන්නෙ. ඒ මහන්සිවෙන පළියට ඒව පිනවල ඉවරකරගන්ට බෑ.


ඉතින් ඒ නිසා එයා මොකද කරන්නෙ? හිතෙන හිතෙන ඔක්කොම දේ කරනව. අන්න එතකොට එයා මේක හොඳයිද? මේක නරකයිද? කියල තෝර බේර ගන්නෙ නෑ. මේ ඉන්ද්‍රියන් ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත පිනවමින් සතුටු වෙන්න කල්පනා කරන කෙනා, හිතෙන හිතෙන හැම දෙයක්ම කරනව.


මේක හොඳයිද නරකයිද කියල කල්පනා කරන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. මේ නිසා මේ ලෝකයේ උපන් බොහෝ දෙනෙක් හොඳ කියල නරක දේ කරනව. නරක කියල හොඳ දේවල් බැහැර කරල දානව. මේක සත්‍යයක්ද නැද්ද කියල බලන්න. මේ ලෝකයේ මිනිස්සු සැප විඳින්න කියල හිතාගෙන සතුන් මරණව, සොරකම් කරනව, වැරදි කාම සේවනය කරනව, බොරු කියනව, මත් ද්‍රව්‍ය බොනව, කේලාම කියනව, පරුෂ වචන කියනව, හිස් වචන කියනව.


මේව මොකටද කරන්නෙ? ඒකෙන් සැපක් ලබන්න කියල හිතාගෙන නේද කරන්නෙ? ඒකෙන් සැපක් ලැබෙන්නෙ නෑ. මිනිස්සු හොරකම් කරන්නෙ, සල්ලාලකම් කරන්නෙ, බේබදුකම් කරන්නෙ මේ ඇස, කන, නාසය, දිව, කය, හිත පිනවන්න නේද? පිනවන්න. ඇයි ඒ විදිහට පිනවන්න ඒ වගේ දේවල් කරන්නෙ? ඒක හොඳයිද නරකයිද කියල දන්නෙ නැති නිසා. මේක නරක දෙයක්, මේකෙන් දුක් විපාක තියෙනවා කියල දන්නව නම් එයා ඒක කරයිද? කරන්නෙ නෑ.


එතකොට උපන් කෙනා සැප විඳින්න කියල හිතාගෙන සැප පස්සේම දුවනකොට, ඒ සැප විඳින විදිහ දන්නෙ නැතිව, සැප හොයාගෙන යනකොට කරන බොහෝ දේවල් අතර තමාටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දේවල් කරනව. අන්න ඒ තමාටත් අනුන්ටත් අයහප පිණිස පවතින දෙවල් වලට තමයි දුෂ්චරිතය කියල කියන්නෙ.
එතකොට කයින් කරන දුෂ්චරිතය, වචනයෙන් කරන දුෂ්චරිතය, මනසින් කරන දුෂ්චරිතය තියෙනව. දුෂ්චරිතය කරනකොට ඒ දුෂ්චරිතය කිරීම නිසා එයාට සැප ලැබෙනවද? සැප ලැබෙන්නෙ නෑ. නමුත් එයා හිතන්නෙ සැප ලැබෙනව කියල. සැප ලැබෙනව කියල හිතාගෙන කරනව.


ඔන්න යම් කෙනෙක් හිතනව මට රත්‍රං මාලයක් නෑ. නැත්නම් සල්ලි බාගෙ නෑ. ඉතින් මේව නැති නිසා මට දුකයි. මේව හොයා ගත්තොත් මට සැප තියෙනව කියල මෙයා කල්පනා කරල, මට ලේසියි කාගෙ හරි තියෙන එකක් ගත්තොත් කියල හොරකම් කරන්න කල්පනා කරනව. එතකොට ඒ හොරකම් කරන්න හිතනකොට එයාට සැප දැනෙනවද? හොරකම් කරන්න හිතනකොටම එයාට බය, තැතිගැනීම උපදිනව.
එයා අතහරිනවද ඒක? නෑ. එයා හොරකමට සැළසුම් කරනව. එහෙම සැළසුම් කරද්දි කරද්දීත් එයාට මොනවද දැනෙන්නෙ? බය තැති ගැනීම දැනෙනව. එයා හොරකම් කරන්න ලැහැස්තිවෙනව. එතකොට එයාට මොනවද දැනෙන්නෙ? භය තැතිගැනීම. දැන් එයා හොරකම කරනව, එතකොට මොකක්ද දැනෙන්නෙ? ඒත් භය තැතිගැනීම.


දැන් එයා හොරකම කරල. දැන් මොනවද දැනෙන්නෙ? ඒත් භය තැතිගැනීම. දැන් හොරකම කරල කළක් ගතවෙලා, දැන් මොකක්ද දැනෙන්නෙ? ඒත් භය තැතිගැනීම. දැන් එයා හොරකම් කරපු බඩුමුට්ටු පරිහරණය කරනවද නැද්ද? කරනව. නමුත් බලන්න හිතුවෙ මොකක්ද කියල. මම මේකෙන් සැපක් අත්කරගන්නම් කියල තමයි එයා කළේ.


නමුත් එයා ඒ පුංචි සැප අත්කරගන්න ගිහිල්ල කොතරම් දුකකට පාත්‍ර වුනාද? හිතා ගන්න බැරිතරම් දුක් පීඩා වලට එයා ගොදුරුවෙලා ගියා. එතකොට ඒ විදිහට එයා දුක් විඳ විඳ ඉන්නකොට එයාගේ හිත පිරිසිදුයිද? අපිරිසිදුයිද? අපිරිසිඳූයි එයාගෙ හිත අපිරිසිදු වෙන්ට වෙන්ට තව තවත් එයාට දුක් පීඩා උපදිනව.


එහෙනම් බලන්න සැප ලබන්ට කියල හිතාගෙන ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස ම උත්සාහ කරන කෙනා සුචරිතය මෙයයි, දුෂ්චරිතය මෙයයි කියල අඳූනගන්න බැරි නිසාම දුෂ්චරිතය කරන්ට පෙළඹීමෙන් එයාට මොකක්ද සිද්ධ වුනේ? විශාල දුක් ගොඩකට එයා කඩන් වැටෙනව. එයාට භය තැතිගැනීමෙන් වාසය කරන්ට සිද්ධවෙනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


 
උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment