Saturday, December 25, 2010

තිසරණය තුළ ස්ථාවර වෙමු

  ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපි දුක ගැන හොඳ වැටහීමක් උපදවගත්තොත්, ඒ දුක මගෙ ජීවිතයට අදාලයි කියල තේරුම්ගත්තොත්, එයා ඒ දුකට අකමැතිවෙනව. අන්න එයා කැමතියි, ඒ දුකෙන් නිදහස්වෙන්ට. ඒකට තමයි ඡන්දය කියල කියන්නෙ. දුකෙන් නිදහස්වෙන්ට ඕනෑ කියන එකයි ඡන්දය කියල කියන්නෙ.


තේරුම්ගත්තෙ කොහොමද? "ඒ දුක තමන්ට අයිති දෙයක්. තමන්ට විඳින්ට තියෙන දෙයක්. ඒකෙන් පැනල යාමක් නෑ. විඳින්ට සිද්ධවෙනවා" කියල තේරුම් ගැනීමෙන්. ඒක ඒකාන්ත වශයෙන් දුකක් කියල තේරුම්ගන්න කෙනා ඒ දුක විඳින්ට කැමතිවෙන්නෙ නෑ. ඒ ඡන්දය ඉපදුනේ, දුක තේරුම්ගැනීමෙන්.
දුක ඒ විදිහට ඒකාන්ත වශයෙන් මේක දුකක් කියල තේරුම්ගන්නෙ කොහොම කෙනාද? ආර්ය සත්‍යය නුවණින් තේරුම්ගන්න පුළුවන් කෙනා. ආර්ය සත්‍යය අහල ඒ කෙරෙහි පැහැදීම උපදවගෙන සිහිකරන කෙනා. ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට ගළප පළපා බලන කෙනා තමයි දුක තේරුම්ගන්නෙ.


අන්න එයා දුකේ වැටෙන්ට කැමති වෙන්නෙ නෑ. එයා ඒකාන්ත වශයෙන් ම "දුකෙන් නිදහස්විය යුතුයි" කියන කැමැත්ත උපදවගන්නව. ඒකට භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නෙ ඡන්දය කියල. ඒ දුකෙන් නිදහස්වීම සිද්ධවෙන්නේ කොතනදීද? භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව, "ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස" මේ ආදී වශයෙන් ඉපදීම නිසා දුක හටගන්න බවත් ඒ වගේම ඉපදීම නිරුද්ධවීමෙන් දුක නිරුද්ධවෙනබවත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව.


දැන් බලන්න දුක ගැන තේරුම්ගත්ත කෙනා, දුකේ නිරුද්ධවීම ගැන තේරුම්ගත්ත කෙනා, දුකට අකමැති වෙලා දුක් නිරෝධයට කැමතිවෙනව. දැන් එහෙනම් එයා කැමතිවෙන්නෙ මොකටද ඒ? ඉපදීමෙන් නිදහස්වෙන්ටයි එයා කැමතිවෙන්නෙ. ඉපදීම නිරුද්ධවීමටයි එයා කැමතිවෙන්නෙ. ඉපදීම නිරුද්ධවෙන්නේ අරහත්වයට පත්වෙනකොටයි. එහෙනම් ඉපදීම නිරුද්ධවෙන්නේ රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් ක්ෂය වුනහම, තණ්හාව ක්ෂය වුනහ ම.


ඉතින් ඒ විදිහට තේරුම්ගන්න කෙනා තණ්හාව සම්පූර්ණයෙන් Cෂය කරගන්න කැමතිවෙනව. අන්න ඒ විදිහට ඉපදීම නිරුද්ධකරගන්ට, එහෙම නැත්නම් තන්හාව Cෂය කරගන්ට, රාග, ද්වේෂ, මෝහ දුරුකරගන්ට කැමැත්ත ඉපදුණ කෙනා තණ්හාව Cෂය වෙන මග පුරුදුකරගන්න කැමතියි. ඒ සඳහා එයා වීරිය කරනව.
වීරිය නොකර නිවන් මගට එන්ට බෑ. එයා වීරිය උපදවාගන්නව. ඒ විදිහට කැමතිවුන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදුකරගන්න කැමතියි. ඒ විදිහට අපි තමන්ගෙ ජීවිතය ගැනම විමස විමසා බලනව නම්, යම් කැළඹිලි ස්වභාවයන් තියෙනව නම් ඒවා Cෂය වෙනව. ඒ නිසා කවුරුත් ආර්ය සත්‍යය ඉගෙනගෙන, ආර්ය සත්‍යය ජීවිතයට ගළපමින්, තමාගේ ජීවිතය තේරුම්ගන්න බලන්න.


එතකොට තේරෙයි අපි සසරේ අසරණ ස්වභාවයට වැටිල ඉන්නෙ කියල. වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතුවීම, කැමති දේ නොලැබීම මේ ආදී දුකට අයිති දේවල් හොඳට තේරුම් අරගන්න.


"තමන්ගෙ ජීවිතය පුරාවට තිබෙන්නෙ මේ දුකට අයිති දේවල් නේද? එයින් බැහැර තැනක මගේ ජීවිතය නෑ නේද" කියල යමෙකුට කල්පනා වුනොත්, තේරුනොත්, එයාට හිතෙයි "මා සසරේ මොනතරම් අසරණ කෙනෙක්ද? මේ සංසාරේ මම කොයිතරම් අසරණවද ආවේ" කියල තේරෙයි.


මේ ධර්මය ඇහුවෙ නැත්නම්, මට මේ අසරණභාවය තුළම ඉන්ට වෙනවා කියල එයාට තේරෙයි. එතකොට තේරෙයි "බුදුරජාණන් වහන්සේ මුණගැහීමෙන් මගේ අසරණ බව තේරුමගන්න පුළුවන් වුනා නේද?" කියල. එහෙනම් "බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නෑනෙ" කියල එයාට තේරෙයි.


"මේ සද්ධර්මය මුණ නොගැහුනානම්, මට සරණක් නෑ, මම අසරණයි" කියල එයාට තේරෙයි. එහෙනම් එයා තේරුම්ගන්නව, "ධර්මයේ සරණ හැර මට සරණක් නෑනෙ" කියල.


"මේ ධර්මය පුරුදුකරන්නා වූ සඝරුවනේ සරණ හැර මට සරණක් නෑනෙ" කියල එයාට තේරෙයි. අන්න එසේ තේරුම්ගන්න කෙනාට තෙරුවන් සරණ තියෙනව. එයා තිසරණය අතහරින්නෙ නෑ. එතකොට බලන්න මේ විදිහට ධර්මය ජීවිතයට ගලපනවනම්, එයා තෙරුවන් කෙරෙහි නැඹුරු වූ සිතින් නේද ඉන්නෙ? ඒ විදිහට වාසය කරන අය ඉතා ම සුව පහසු හිතක් උපදවගනිමින් ඉන්නෙ. ඒ අය පීඩා කරන සිත ටික ටික දුරුකරමින් ඉන්නෙ.


ධර්මයට නැඹුරු වූ සිතින් ඉන්නෙ. ඒකයි සරණක් තියෙනවා කියල කියන්නෙ. එහෙම නැති තැන තියෙන්නේ පීඩාවන්, අසරණකමක් විතරයි. එයාට ගැලවෙන්න බෑ.


හිතේ පීඩා එනවනම් එයාට සරණක් නෑ නේද? අසරණයි නේද එයා? ගැළවීමක් නෑ. එහෙනම් ඒ හිත සුවපත්බවට පත්කරගන්නේ, බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ කෙනා, ධර්මයේ සරණ ලැබූ කෙනා, සඝ රුවනේ සරණ ලැබූ කෙනා.


එකට තමයි තෙරුවන් සරණ ලැබුවා කියල කියන්නෙ.


ඒ නිසා අපිට මුණගැහුන, අපිට තේරුම්ගන්න පුළුවන්වුණ, තිසරණය, ජීවිතයට හොඳට සම්බන්ධකරගෙන, ස්ථිර විදිහට තිසරණය තුළ පිහිටා සිටින්ට අපි කව්රුත් උත්සාහවත් විය යුතුයි.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!



No comments:

Post a Comment