Saturday, December 25, 2010

ජීවිතේ ඇත්ත තේරුම් ගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


යම් කෙනෙක් ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම් නොගෙන සිටින තාක්, එයාට අකුසල් දුරුකරගන්ටත්, කුසල් දියුණුකරගන්ටත් සැලසෙන්නෙ නෑ. ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගත්තොත් එයාට කුසල් දියුණුකරගන්ටත්, අකුසල් දුරුකරගන්ටත් අවස්ථාව උදාවෙනව.


ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්නව කියන එක ගොඩාක් අමාරුයි. ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගැනීම පිණිස උපකාරවෙන වැදගත් ම කාරණය මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය. ඒ ධර්මය අදහාගැනීම. එහෙම නැත්නම් ඒ ධර්මය කෙරෙහි පැහැදීම, ශ්‍රද්ධාව. ඒක තමයි ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න වුවමනා කරන්නේ.


අපිට ගොඩාක් පාඩම් තිබුණත්, කොච්චර දේශනා කියවල තිබුණත්, එපමණකින් ම ජීවිතේ ඇත්ත ස්වභාවය වැටහෙන්නෙ නෑ. අපි යම් ධර්මයක් කියවල හෝ අහල හෝ තියෙනව නම්, ඒ ඇසූ හෝ කියවා තිබෙන ධර්මය පිළිගත්තනම්, ඒ ධර්මය අදහා ගත්තනම්, එපමණකින් ම එයාට ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම්ගන්න පුළුවන් වෙනව. අපි පොත පත බැලූ පමණින් ජීවිතේ ඇත්ත ස්වභාවය තේරෙන්නේ නෑ.


ධර්මය කෙරෙහි විශ්වාසයකට එනවනම් අපිට අර්බුධ තියෙයිද? අර්බුධ දුරුවෙයිද? ප්‍රශ්ණ නිරවුල්වෙන්ට පටන්ගන්නව නේද? දැන් හොඳට බලන්න මේ ජීවිතේ ප්‍රශ්ණ අර්බුධ ඇතිවෙලාද, අඩුවෙලාද? හොඳට බලන්න තම තමන්ගෙ ජීවිත දිහා. කලින් නොතිබූ ප්‍රශ්ණ ඇතිවෙලා.


එතකොට තේරෙන දෙයක් තමයි ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයකට ආවනම්, නිරවුල් බවකට ආවනම්, එහෙම නැත්නම් ඒ ධර්මය අදහාගත්තා නම්, එයාට ප්‍රශ්ණ අලුතින් හටගන්න හේතුවක් නෑ. එතකොට පරණ ප්‍රශ්නෙ විතරයි තියෙන්නෙ. මොකක්ද තියෙන ප්‍රශ්නෙ? රාග, ද්වේෂ, මෝහ. ආයෙ ඉපදි ඉපදි මැරි මැරී යන එක. ඒක මොකක් මුල්කරගෙනද තියෙන්නෙ? රාග, ද්වේෂ, මෝහ මුල්කරගෙනයි.


ඒක නේද අර්බුධය. අලුතින් අර්බුධ හටගන්න පුළුවන්ද අපිට. අලුත් අර්බුධ නෑ. මේ රාග ද්වේෂ මෝහ මුල්කරගෙන හටගන්නා වූ දේ තමයි තියෙන්නෙ. ඉතින් අපිට ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයකට ආවොත්, මේ අර්බුධය විසෙඳන්ට පටන්ගන්නවද නැද්ද? පටන්ගන්නව. එහෙනම් අපි විසින් කලයුතු එක ම දේ තමයි ධර්මය ඉගෙනගනිමින් ඒ ඉගෙනගන්න ධර්මය කෙරෙහි බලවත් පැහැදීමක් ඇතිකරගන්ට වෑයම් කිරීම, කැමැත්ත උපදවා ගැනීම, ඒ දහම අදහාගැනීම.


එපමණකින් ම එයාට ජීවිතය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමේ හැකියාව උපදිනව. අන්න එපමණකින්ම කුසල් දියුණුකරගන්ටත්, ඒ උපදවගත්ත කුසල් වැඩිදියුණු කරගන්ටත්, නොනැසී පවත්වගන්ටත් හැකියාව උපදිනව. ඒ වගේම අකුසල් අඳූනගෙන, අකුසල් දුරුකරගැනීමට හැකියාව උපදිනව, ඒ ධර්මය අදහාගැනීමෙන් ම. ධර්මය අදහාගැනීමෙන් ජීවිතේ පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකගන්ට අපිට හැකියාව උපදිනව. අන්න ඒ හැකියාව මුල්කරගෙන අකුසල් දුරුකරගන්ටත් කුසල් උපදවගන්ටත් අවස්ථාව උපදිනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment