Saturday, December 11, 2010

යහපත් සමාජයක් බිහිකරමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


මෙයයි යහපත මෙයයි අයහපත කියල අපිට හඳුනගන්න බැරිනම්, ඒ යහපත අයහපත තෝරා බේරගන්ට අපිට බැරිනම් තව කෙනෙකුට ඒක කියා දෙන්න, තව කෙනෙකුව එහි සමාදන් කරවන්න අපිට පුළුවන්ද? අපිට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.


එහෙනම් මේ ලෝකයට යහපත කරන්ට කැමති කෙනෙක් විසින් මේ ලෝකයට කියා දිය යුත්තේ කුමක් ද? මේ ලෝකය තුළ උපන් මනුෂ්‍යයාට යහපත ඇතිකරන්ට කැමති කෙනෙක්, සැප උපදවල දෙන්ට කැමතිකෙනෙක් විසින් ලෝකයාව සුචරිතය තුළ සමාදන් කරන්ට කැමතිවිය යුතුයි, දුෂ්චරිතයෙන් නිදහස්කරගත යුතුයි.


අන්න ඒ කරුණු දෙක තුළ ලෝකයා සමාදන් කරන්න පුළුවන් නම්, ඒ සඳහා වෑයම් කරන්ට පුළුවන්නම්, අපි මේ ලෝකයට විශාල උපකාරයක් කළ අය බවට පත්වෙනව නේද? අපි තුළ මේ ලෝකයේ අනාගතය බාරගන්න සිටින දරුවන් කෙරෙහි මහත් වූ සෙනෙහසක් තිබිය යුතුයි, මහත් වූ කරුණාවක් තිබිය යුතුයි, මහත් වු ප්‍රේමයක් තිබිය යුතුයි.


ඒ දරුවන් උදෙසා මහා කැපකිරීමකින් අපි ඒ දරුවන්ට උපකාර කරන්ට කල්පනා කළ යුතුයි. අන්න ඒ විදිහට අපි මේ ලෝකයට උපකාර කළොත්, මේ සමාජයට උපකාර කළොත්, අපිට මේ ජීවිතය ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කරන්න පුළුවන් වෙයිද? බැරිවෙයිද? ආපසු හැරිල බැලුවොත් අපේ ජීවිතේ ගැන සතුටුවෙන්න පුළුවන්වෙයිද? බැරිවෙයිද? පුළුවන්වෙයි.


එහෙනම් මේ පින්වතුන් හොඳට මතක තියාගන්න, අපි විසින් කළ යුත්තේ, සුචරිතයට යොමුකිරීමයි. සුචරිතයේ සමාදන් කරවීමයි. දුෂ්චරිතයෙන් නිදහස්කරවන්ට උපකාර කිරීමයි.


එපමණකින් ම ඒ දරුවන්ට මනාකොට ආදරය කළ අය බවට පත්වෙනව. එයමයි ඒ දරුවන්ට දක්වන ඉතාම බලවත් වූ සෙනෙහස. එයමයි ඒ දරුවන් කෙරෙහි දක්වන කරුණාව. එයම යි ඒ දරුවන් කෙරෙහි දක්වන අතිශය විශ්මිත වූ සෙනෙහස. ඒ දරුවන්ට කළයුතු හොඳම, අතිශය උතුම්ම උපකාරය වන්නේ ඒ දරුවන්ට සුචරිතය මෙයයි, දුෂ්චරිතය මෙයයි කියල කියාදීල, දුෂ්චරිතයෙන් ඒ අය මුදාගන්ට වීරිය ඇතිකරල දීමයි, මග පෙන්වීමයි. එය තමයි අපි විසින් කළ යුතු ලොකුම උපකාරය.


අන්න ඒ විදිහට අපි කටයුතු කළොත්, අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් බවටත් පත්වෙනව. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළ අය බවටත් පත්වෙනව. අපි මේ ලෝකයට ණය නැති අය බවටත් පත්වෙනව. මේ ලෝකයට අපි යහපත කළ අය බවට පත්වෙනව. ලෝකයට යහපත කරන කෙනෙක් තමාට අයහපත කරගන්නෙ නෑ. තමාට යහපත කරගන්නවම යි.


එහෙනම් උපන් මනුෂ්‍යයා විසින් කල්පනා කළ යුත්තේ තමාට වැඩ පිණිස කටයුතු කරන්ටත්, තමාට යහපත පිණිස කටයුතු කරන්ටත්, ලෝකයට වැඩ පිණිස ලෝකයට යහපත පිණිස කටයුතු කිරීමටත්ය. ඒක තමයි උපන් මනුෂ්‍යයාගේ කටයුත්ත විය යුත්තේ. එවිට මේ ලෝකය යහපත් තැනක් බවට පත්වෙන්නෙ.


යමක් කමක් තේරෙන හෑම කෙනෙකුගේම වගකීමක් වියයුත්තේ, අපි මේ වාසය කරන සමාජය මීට වඩා යහපත් තැනක් බවට පත්කිරීම පිණිස අපේ කාලය, ශ්‍රමය, අපේ දැණුම, පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමයි.
එහෙම නොවෙනම්, අපි මේ උපන් මනුෂ්‍යය ජීවිතය හිස් එකක් විදිහට අපි ගතකරන අය. මේ ලෝකයට අපි යහපත කරන්නෙ නැත්නම්, මේ ලෝකයට අපි යහපත කරන්ට පෙළඹෙන්නේ නැත්නම් අපේ ජීවිතය හිස් එකක් බවට පත්වෙනව. ඒ නිසා අපි හිස් ජීවිතයක් ඇතිකරගන්ට කවදාවත් කල්පනා නොකළ යුතුයි.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


 උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment