Saturday, December 11, 2010

බැඳී යන දේවල්වල ආදීනව සිහිකරමු

***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ 


අපි කවුරුත් කැමතිවෙන්ට ඕනෑ තම තමන්ගේ ජීවිතවලට යහපතක් ඇතිකරගන්ට. අපේ ජීවිතේට ඇතිකරගත යුතු ඉහල ම යහපත තමයි දුකෙන් නිදහස් වෙන්ට කල්පනා කිරීම, දුකෙන් නිදහස්වීම.


එතකොට දුකෙන් නිදහස්වෙන්න නම්, ඒ දුක ඇතිවෙන්නෙ කොහොමද කියල අපි දැනගෙන, ඒ දුක ඇතිවෙන විදිහ අපි දුරුකරගන්ට ඕනැ. දුක ඇතිවෙන ස්වභාවය තේරුම් නොගත්තොත් දුකෙන් නිදහස්වීමක් ගැන කථා කරන්ට තියා හිතන්ටවත් පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. අපි කව්රුත් ඒ දුකෙන් නිදහස්වෙලා, ඒ මහා යහපත අත්කරගන්ට කැමතිවෙන්ට ඕනැ.


ඒ සඳහා ප්‍රමාදවුනොත් අපිට කවදාවත් ඒ යහපත සලසගන්ට පුළුවන්වෙයි කියල හිතන්ට එපා.
ඉතින් අපි ඒ කටයුත්ත අද අද ම ආරම්භ කරන්ට කැමතිවෙන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, යම් දෙයකට බැඳිල යනව නම් ඒ බැඳිල යන දේ මුල්කරගෙන තමයි දුක ඇතිවෙන්නෙ. ඉතින් අපි ඒ බැෙඳන ස්වභාවය තේරුම්අරගෙන, බැඳෙන ස්වභාවය අපි දුරුකරගත්තොත් දුක හටගන්න ස්වභාවය නැතිවෙලා යනව.


එනිසා ඒ කාරණා තේරුම් අරගෙන දුක ඇතිවෙන ස්වභාවය දුරුකරගන්ට අපිට පුළුවන් වුනොත් අපි ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකළ අය බවට පත්වෙනව. අපි භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විදිහට පිළිඅරගෙන, උන්වහන්සේ වදාළ ධර්මය පුරුදුකරන්ට කැමතිවෙනවා නම්, අපි දුකෙන් නිදහස්වෙන්න කැමති අය බවට පත්වෙනව. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ කියල දීල තියෙන විදිහට ධර්මය පුරුදුකරන්ට කල්පනා කරන්ට ඕනැ.


භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව, බැඳිල යන දේවල් ගැන ආශ්වාදය අනුව හිත හිතා ඉන්නව නම්, බල බලා ඉන්නව නම් එයාට තණ්හාව වැඩෙනව. මේ ස්වභාවය අපේ ජීවිතයේ තියෙනවද කියල තේරුම්ගත්තොත්, අපිට පුළුවන් මේකෙන් නිදහස්වෙන පැත්තට ජීවිතය හැඩගස්සගන්න. ඒකටයි ධර්මය ඉගෙන ගන්නවා කියල කියන්නෙ.


මේ ධර්මයේ කියල තියෙන දේ ඉගෙන ගෙන, ඒ කියා තියන දේ අපේ ජීවිත තුළ තියෙනවද කියල බලන්න ඕනැ. ඒකයි ධර්මය ගළපගන්නවා කියල කියන්නෙ. අපිට කියනව දර ගොඩාක් ගිණි තියෙල තියෙනව. ඒ ගින්නට තව වේලිච්ච දේවල්, තණකොළ, දර, මේවගේ දේවල් මනුෂ්‍යයෙක් දානව.


එහෙම දාන්ට දාන්ට ඒ මගින් ගින්න වැඩිවෙලා යනව. ඒ ගින්න බොහෝ කලක් තියෙනව. ඒක නිවිල යන්නෙ නෑ. අපිට කියනව, ඔය විදිහම යි බැඳිල යන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවමයි වැඩෙන්නෙ. මේ ස්වභාවය අපි තේරුම්ගන්න ඕනැ. අපේ ජීවිතය තුළ මේක තියෙනවද නැද්ද කියල බලන්න? තියෙනව.


මොනවද බැඳීයන දේවල්. ඇසට, ඇසට පේන රූප වලට. කණට, කණට ඇසෙන ශබ්ද වලට, මේවට අපි බැඳිල යනව. අපි ඇහෙන් බලපු දේවල්, කණෙන් අහපු දේවල්, නාසයට දැණුනු ගඳ සුවඳ, ඊළඟට දිවට දැනෙන රස, මේව ගැන නේද අපි හිත හිතා ඉන්නෙ. ඒ බැ‍ඳෙන දේවල් ගැන ආශ්වාදයෙන් අපි හිත හිතා ඉන්නව, කතා කර කරා ඉන්නව.


එතකොට බැඳිල යනව. මේක තමා අපිට කියා දෙන්නෙ. ඊට පස්සෙ කියා දෙනව, පින්වත් මහණෙනි, බැඳී යන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නෙ. අපිට මේ ධර්මයෙන් කියා දුන්නෙ මොකක්ද? දුක හට හටගන්නෙ මෙහෙමයි, දුක නැතිවෙන්නෙ මෙහෙමයි කියන කාරණාව.


යම් කෙනෙක් මේ ධර්මය අහල අන්න ඒකට පැහැදුණොත් එයා තුළ උපදින්නෙ මොකක්ද? එයා තුළ උපදින්නෙ සම්මා දිට්ඨිය. යමෙක් දක්ෂ වුනොත් එයාට වැඩි කාලයක් ගතවෙනවද ඒකට? නෑ.
එහෙනම් එයා සිහිය පිහිටුවගෙන, මම මේ ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ කියන අදහසින් කියවල හරි, අහල හරි මේ ධර්මය ඒ ආකාරයෙන් ම දරා ගත්තොත්, එයා තුළ ඇතිවන අවබෝධය මොකක්ද? දුක ඇතිවෙන්නෙ මෙහෙමයි, දුක නැතිවෙන්නෙ මෙහෙමයි කියන වැටහීම.


එහෙනම් අන්න ඒ කාරණය ඇතිකරගන්න අපි කැමතිවෙන්න ඕනැ. මේ ධර්මය කෙරෙහි අපි බලවත් විශ්වාසයක් ඇතිකරගත්තොත්, බලවත් පැහැදීමක් ඇතිකර ගත්තොත්, එපමණකින් ම එයා තෙරුවන් කෙරෙහි පැහැදීමට එනව. එනිසා හොඳින් මේ ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගෙන ඒ ධර්මය පිළිගන්න කැමතිවෙන්න.


තමාගේ ජීවිතයට වෙන දේ සිතන්න. ලෙඩවෙන ස්වභාවය, මරණයට පත්වෙන ස්වභාවය, වයසට යන ස්වභාවය, ප්‍රිය අයගෙන් වෙන්වෙන්න සිදුවන ස්වභාවය, ඒව අනාගතේ අපට සිද්ධවෙන දේවල්. අන්න ඒව ගැන හිතනකොට බැඳෙන ස්වභාවය අඩුවෙලා යයි. සංසිඳීමෙන් ඉන්න පුළුවන්කමක් එයි. මට පුළුවන් ද? බැරිද? කියල හිත හිතා ඉන්න කෙනාට මොකද වෙන්නෙ? එයා ඒක හිත හිතා ම අර ගින්නට වැටෙනව. එදාටත් එයා හිතන්නෙ මට පුළුවන්ද බැරිද කියල.


එදාට එයාට ඒක හිතාගන්න බැරිවෙනව. එදාට එයා දුකෙන් පීඩා විඳිනව. ඒනිසා අපි මට පුළුවන්ද, බැරිද කියල කවදාවත් හිත හිතා ඉන්න එපා. මේ බැඳිල යන දේවල් වල ආදීනව අනුව කල්පනා කරන්න. මේ ආදීනව තමයි වයසට යාම, දිරල යාම, අබල දුබල වෙලා යාම, ලෙඩ වීම, මරණයට පත්වීම. අන්න ඒව හිතන්න.


ඒව හිතන්න හිතන්න මේවට තියෙන ආශාව තණ්හාව ගෙවිල යන්ට පටන්ගන්නව. අන්න එතකොට බැඳීම නිරුද්ධවෙලා යනව. එතකොට භවය නිරුද්ධවෙනව. ඉපදීම නිරුද්ධවෙනව. එතකොට සියලු දුක් නිරුද්ධවෙනව.


ජීවිතේ බැඳිල යන දේවල්ගැන ආදීනව අනුව බලන්න පුළුවන්කම ඇතිවේවා කියල සියලු දෙනාටම සෙත් පතනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!






 උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment