Saturday, December 25, 2010

දුක් පීඩාවන්ට යටනොවී සිටිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


සිත්වල යම් යම් අපහසුකම් එන්න පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදුවෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවලට යට නොවී ඉඳීම ම තමයි ධර්මය පුරුදුකරනවා කියල කියන්නෙ. වෙන අද්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා පීඩා විඳිමින් ඉන්නවා නම්, එතන ධර්මය පුරුදුකිරීමක් නෑ.


හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යටනොවී, ඒක බැහැර කරගන්ට උනන්දු වෙනවානම්, ඒක තමයි ධර්මය පුරුදුකරනවා කියල කියන්නෙ. එතකොට අපි ඒ විදිහට කටයුතු කරන්ට නම්, අපිට විශ්වාසයක් තියෙන්ට ඕනැ, "හිතේ හටගත් ඒ අපහසුව හටගත් එකක්, ඒක වෙනස්වෙලා නැතිවෙලා යන එකක්" කියල.
අන්න එතකොට එයා ඒ අපහසුව අයින් කරගන්ට, නැතිකරගන්ට උත්සාහ කරනව. ඒ උත්සාහ කරද්දීත් එයාට බැරිනම්, උත්සාහ කරන්ට තේරෙන්නෙත් නැත්නම්, එයා ඉවසගෙන පාඩුවෙ ඉන්නව. ඇයි එයා දන්නව "මේක හටගත්ත එකක්, මේක නැතිවෙනව". අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්.


නමුත් හිතේ යම් අපහසුවක් ආපුවා ම ඒකට යටවෙලා, බයවෙලා, තමන්ට හානි කරගන්නවනම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල කියන්ට බෑ. තමාගේ හිත තමාමයි සකස්කරගත යුත්තේ. යම් යම් අවස්ථාවලදී අකුසල් ඇවිඳින් අපේ සිත තුළ යම් යම් පීඩා ස්වභාවයන් ඇතිකරන්ට පුළුවන්.
අන්න එතකොට අපි ඒ අකුසලයට යටනොවී, ඒක බැහැරකරන්ට කටයුතුකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩනගන විදිහක්, අඬන අය නොවෙයි. අඬන ස්වභාවය නැති කරන එකක්.


මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ හැංඟිලා ඉන්න ස්වභාවයක්ද? පිරිසක් එක්ක සුවපහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ. ඒ නිසා අපි මේ ධර්මයේ තිබෙන මහා යහපත, ලාභය තේරුම්ගන්න ඕනැ. තේරුම්අරගෙන ඒ ධර්මයේ තිබෙන යහපත අපි ඇතිකරගන්න මහන්සිවෙන්ට ඕනැ.
ධර්මයෙන් අපිට තිබෙන ලොකු ම යහපත තමයි, අපිට සුවපහසු ජීවිතයක් උපදවගන්න පුළුවන්කම. ඒකටනෙ අපි වෑයම් කරන්නෙ. සාමාන්‍ය මනුෂ්‍යයා කනව, බොනව ඔක්කොම දේවල් කරන්නෙ සුවපහසුව සඳහා. අපි සාමාන්‍ය මනුෂ්‍යයා කරන දේට වඩා දෙයක් කරන්ට කල්පනා කරනව. මොකක්ද එA? හිත සුවපහසුවට පත්කරගන්ට ධර්මය පුරුදුකරනව.


එහෙම කරන්ට පුළුවන්කම තියෙන්නේ, හිතේ එන අපහසුකමට යටවෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කිරීමෙන්. හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන්කම තියෙන්නෙ, "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හටගත්ත දේ නැතිවෙනවා කියල දන්න කෙනාට පමණයි.
ඒක නේද දහම් දැනුම කියල කියන්නෙ? ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ? එහෙම නැත්නම් පුංචි අපහසුවක් ආපුවා ම කලෙන්තෙ දාන එකයි, අපහසුව ගියායින් පස්සෙ ආයෙත් ආඩම්බරෙන් ඉන්න එක ද ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ? ඒ දෙකම තියෙන්නේ ධර්මයෙන් ගොඩාක් ඈත.


පුංචි තියා ලොකු අපහසුවක් ආවත්, ඒ අපහසුවට යට නොවී ඉන්නවා නම්, "ඒක නැතිවෙලා යන එකක්" කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකරගැනීම පිණිස කටයුතු කරනවා නම්, උපක්‍රමශීලීව කටයුතු කරනවානම්, එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ.


ඒ වගේ තමාගේ හිතට පීඩාවෙන් ගලවගන්න මහන්සිවෙන කෙනා, අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් වලට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නව දැන් මෙහෙම හිටියට මේ හිතට අපහසුවක් අපුවා ම යටවෙනව. "මේ හිතේ අකුසල් තියෙනව" කියල එයාට අවංකව තමන්ගැන වැටහීමක් තියෙනව.


එයා දන්නව, ඒ වගේම එයා කල්පනා කරනව, මේ හිත පොඩ්ඩ ඇත්නම් මට පීඩාවක් ඇතිකරන එකක්. මේ හිතේ රාගය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. මේ හිතේ ද්වේෂය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. මේ හිතේ මෝහය ඇවිල්ල මාව පීඩාවට පත්වෙනව. ඒ නිසා මගේ හිත කෙලෙස් සහිත හිතක්.


මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල. ඒ නිසා අඩම්බරය ගෙවිල යනව ටික ටික. ආඬම්බර වෙන්න දෙයක් නෑ එයාට. ඒ නිසා ඒ තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම්ගන්න. තේරුම් අරගෙන මේ හිතේ එන අපහසුකම් බැහැරකරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න. හිතේ යම් යම් අපහපුකම් එන්න පුළුවන්.
ඒවට කලබල වෙලා තමන්ගෙ ජීවිතය නාස්තිකරගන්ට එපා. මේ ධර්මයේ තිබෙන යහපත, ලාභය අපි තේරුම්අරගෙන, ඒ ධර්මයෙන් තිබෙන යහපත ඇතිකරගන්ට අපි මහන්සිවෙන්ට ඕනැ.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment