Saturday, December 11, 2010

අවබෝධය තුලින් සංවර බවට පත්වෙමු

***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


ජරා-මරණ තිබෙන නිසා තමයි බුදුවරු ලෝකයේ පහළ වෙන්නෙ. අපි කෙළවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සංසාරෙක මේ ජරා-මරණ වලින් දුක් දුක් විඳ පැමිණියා. නමුත් අපිට මේ ජරා-මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබුනෙ නෑ.


ඇයි නිදහස්වෙන්න පුළුවන්කමක් නොලැබුනේ? ඒ ජරා-මරණ වල ස්වභාවය අපි දන්නෙ නෑ. නොදන්නා නිසා ම තමයි ජරා මරණ තිබෙත්දී ම ඒ දුක් විඳ විඳ මේ සසර මෙතෙක් පැමිණියෙ. ජරා මරණ වලින් යුක්ත මනුෂ්‍යයාට ඒ ජරා-මරණ අවබෝධ නොකිරීම නිසා ඇයි සසරෙ සැරිසරන්න සිද්ධ වෙන්නෙ? දැන් අපි කතා කළා ජරා-මරණ කියන්නෙ ඉතා ම දුක් සහිත දෙයක්.


දැන් අපි පීඩා විඳිනවද නැද්ද? එහෙනම් විඳිද්දීත් ඇයි එබඳූ සසරක ආයෙ යන්නෙ. අන්න ඒකටයි කියන්නෙ ජරා-මරණ අවබෝධ නොකළ නිසා, ජරා-මරණ වල ස්වභාවය අවබෝධ නොකළ නිසා, අනවබෝධයෙන් තමා එයා වාසය කරන්නෙ. ජරා-මරණ ගැන අවබෝධයක් නෑ. වයසට යන ස්වභාවය තිබෙද්දීම, වයසට යන ස්වභාවය ගැන වැටහීමක් නෑ.


එයා තුළ තිබෙන වැටහීම මොකක්ද? මම වයසට යන කෙනෙක් නෙවෙයි කියන අදහසයි තියෙන්නෙ. මේක සිත අභ්‍යන්තරයේ තිබෙන දෙයක්. හොඳට මතක තියාගන්න. උපන් මනුෂ්‍යයා වයසට යනව. වයසට යද්දී ම සාමාන්‍ය මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයේ තිබෙන අදහස තමයි මම තරුණ විදියට හැමදාම ඉන්නව, වයසට යන්නෙ නෑ කියන එක.


ඊළඟට මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉන්නව. නමුත් මරණයට පත්වෙන ස්වභාවය තිබෙද්දීම එයාගෙ අභ්‍යන්තරයේ මොකක්ද තිබෙන්නෙ? මම හැමදාමත් සිටී කියන අදහස තමයි එයා ළඟ තිබෙන්නෙ. මරණයට පත්වෙනව කියන අදහස එයා ළඟ නෑ.


එතකොට මේ වයසට යන ස්වභාවයත්, මරණයට පත්වෙන ස්වභාවයත් තිබෙත්දී ම ඒ ගැන වැටහීමක් නැතිකෙනා තුළ, මගේ තරුණ බව හැමදාම තිබෙනව, මගේ ආයුෂ දීර්ඝව තිබෙනවා, මැරෙන්නෙ නෑ කියන අදහස තමයි අභ්‍යන්තරයෙ තියෙන්නෙ. ඒ අදහසින් ඉන්න තාක් එයාගෙ සිත කය වචනය සංවර වෙන්නෙ නෑ. අන්න එතනයි අර්බුධය තිබෙන්නෙ.


ජරා-මරණ ගැන වැටහීමක් නැති කෙනා, ජරා-මරණ ගැන තේරුමක් නැති කෙනාගේ සිත කය වචනය සංවර වෙන්නෙ නෑ, සංවර කරගන්න බෑ. සිත කය වචනය සංවර කරගන්න බැරිවුනොත් මොකද වෙන්නෙ? කය සංවර කරගන්නත් බැරිනම් යම්කෙනෙකුට, වචනය සංවර කරගන්නත් බැරිනම් යම් කෙනෙකුට, සිත සංවර කරගන්නත් බැරිනම් යම් කෙනෙකුට, එයා හැසිරෙන්නෙ කොහොමද? යහපත කරන්න එයා දන්නෙ නෑ.
යහපත විදිහට අයහපතයි එයා කරන්නෙ. හරි දේ එයා දන්නෙ නෑ, වැරදි දේ දන්නෙත් නෑ. එයා සුචරිතය දන්නෙ නෑ. දුෂ්චරිතයයි එයා කරන්නෙ. ඒ කොහොම කෙනාද? සිත, කය, වචනය සංවර කරගන්න බැරි කෙනා, සංවරකරගන්න දන්නෙ නැති කෙනා. සංවර නොවන කෙනා සුචරිතය දුෂ්චරිතය හඳූනන්නෙ නෑ. එයා දුෂ්චරිතය කරනව සුචරිතය බැහැර කරනව. සුචරිතයට ගරහනවා.


ඒ විදිහට ඒ හරි වැරදි හඳුනගන්න බැරි, සුචරිතය, දුෂ්චරිතය හඳුනගන්න බැරි ස්වභාවය ඇතිවෙන්නෙ කොහොම කෙනා තුළද? තමාගේ ජීවිතයේ සත්‍ය තෝරා බේරගන්න බැරි කෙනා තුළ. කුමක්ද තමාගේ ජීවිතයේ ඇත්ත? ජරාවට පත්වෙන ස්වභාවයත්, මරණයට පත්වෙන ස්වභාවයත්. ජරාවට පත්වෙන ස්වභාවය, මරණයට පත්වෙන ස්වභාවය අවබෝධ කරපුකෙනා, ඒ තේරුම්ගත්ත කෙනා තුළ සංවරබව උපදිනව. සංවරබව උපදින කෙනා තුළ සිත, කය, වචනය සංවරයි. අන්න එයා තුළින් දුෂ්චරිතය කෙරෙන්නෙ නෑ, සුචරිතය කෙරෙන්නෙ.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment