Saturday, December 25, 2010

රාග ගින්නෙන් නිදහස්වෙමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


යම් කෙනෙකුගෙ හිත රාගයෙන් වෙලාගත්තා ම එයාට තමන්ගේ යහපත පිණිස හිතන්නත් බෑ. අනුන්ගෙ යහපත පිණිස හිතන්නත් බෑ. දෙපැත්තට ම යහපත පිණිස හිතන්න එයාට බෑ. නමුත් රාගය දුරුවුනහම, ම තමන්ට යහපත පිණිසත් හිතන්ට එයාට පුළුවන්. අනුන්ට යහපත පිණිස හිතන්නත් එයාට පුළුවන්.


ඒ දෙපැත්තටම යහපත පිණිස හිතන්න එයාට පුළුවන්. ප්‍රහාණය වුනහ ඒ වගේම තමයි, හිත රාගයෙන් යටවුනහ ම, රාගයෙන් වෙලාගත්තහ ම එයා කායිකව දුෂ්චරිතයේ යෙදෙනව, වාචසික දුෂ්චරිතයෙත් යෙදෙනව, මානසික දුශ්චරිතයෙත් යෙදෙනව. නමුත් රාගය ප්‍රහාණය වුනහම එයා කායික දුශ්චරිතයේ යෙදෙන්නෙ නෑ, මානසික දුශ්චරිතයේ යෙදෙන්නෙත් නෑ, වාචසික දුශ්චරිතයෙ යෙදෙන්නෙත් නෑ.


නමුත් රාගය ප්‍රහාණය කරපු කෙනා, රාගය දුරු කරපු කෙනා සුචරිතය මේකයි, දුශ්චරිතය මේකයි කියල දන්නව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ හැරුනුවිට රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය අපිට වෙන දිහාකින් ඉගෙනගන්න පුළුවන්ද? බෑ. මේ දේශනාවල් ඉගෙනගෙන එයා පිළිගත්තොත්, එයා මේ කාරණාව අදහාගත්තොත් එයා යම් පැහැදීමකට එනව.


අපේ හිතට රාගය ආපුවාම හිත ගිනිගන්නව යටවනව, ඒ වෙලාවට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතන්න තේරෙන්නෙ නෑ. එයාට කායික දුෂ්චරිතය, වාචසික දුශ්චරිතය, මානසික දුශ්චරිතය තෝර බේරගන්ට බෑ. සුචරිතය තෝරබේර ගන්ට බෑ. තමන් තුළ සිදුවෙන මේ ස්වභාවය එයාට තේරුනොත් එහෙම, එයා ඉගෙන ගත්ත ධර්මය කෙරෙහි පහදීද, නැද්ද? පහදිනව.


දැන් මේ ධර්මයන් තෝර බේරගෙන හිටියෙ නැත්නම්, අදහගෙන හිටියෙ නැත්නම්, මොකද වෙන්නෙ? එයා රාගය ඇවිල්ල හිත ගිනිගන්නවා එක. එතකොට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතන්න බැරිවෙනවා, රාගයට හිත යටවෙන එක අමුතු දෙයක්ද? ස්වභාවයද? ඒ රාගයේ ස්වභාවය. ඇත්ත ස්වභාවය. මෙබඳූ ස්වභාවයක් තියෙන නිසා තමයි රාගයෙන් නිදහස්වෙන්ට කියල අපිට පෙන්වා දෙන්නෙ. මේ රාගයේ මෙබඳූ ආදීනවයක් තිබෙන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් රාගයේ ප්‍රහාණය පනවන්නෙ.


රාගයේ මෙබදු ආදීනවයක් නැත්නම්, ද්වේෂයේ මෙබඳූ ආදීනවයක් නැත්නම්, මෝහයේ මෙබඳූ ආදීනවයක් නැත්නම් රාග, ද්වේෂ, මෝහවල ප්‍රහාණය පනවන්ට වුවමනා කරන්නෙ නෑ. මේ ආදීනවය තියෙන නිසා තමයි රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්ට කියල භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ රාග, ද්වේෂ, මෝහ වල ස්වභාවය පිළිගන්න, තේරුම්ගන්න. ඒක තේරුම්ගන්නෙත්, පිළිගන්නෙත් මේ ධර්මයේ කියා තියෙන දේ අහල, එහෙම නැත්නම් කියවල ඒක ඇත්තයි පිළිගත්තොත්. එතොකට ඒක අපේ දැනුමක්.


ඒ දැනුම කුමක් මුල්කරගෙනද ඇතිවුනේ? ශ්‍රද්ධාව මුල්කරගෙන. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීමෙන් තමයි අපිට ඒ දැනුම ආවෙ. අන්න ඒ දැනගත්ත ධර්මය යම් දවසක අපිට දකින්න පුළුවන් පොඩිකාලේ අම්ම තාත්ත කියනව, "දරුවො ගින්දර අල්ලන්න එපා, පිච්චෙනව" කියල. "ලාම්පුව අල්ලන්න එපා පිච්චෙනව" කියනව. ඉතින් මේ දරුව ඒක පිළිගන්නෙ නෑ.


හැබැයි එයාට පිච්චෙනව කියල යම්තම් මතකයක් තියෙන්න පුළුවන්. එයා ගිහිල්ල ලාම්පුවට අත තියෙනව. එතකොට පිච්චෙනව. එතකොට එයා කලින් දැනගෙන හිටපු එක දකින්න පුළුවන්වෙනව. නේද? එදාට එයා තේරුම්ගන්නව අම්ම ඇත්තයි කිව්වෙ කියල. ඊට පස්සෙ අම්ම යමක් කිව්වොත් එහෙම එයා පිළිගන්නව. "එදා අම්ම කිව්ව ගින්දර අල්ලන්න එපා කියල. මම ගිහිල්ල ඇල්ලුව, පිච්චුනා. මීට පස්සෙනම් අම්ම එපා කිව්ව එකක් මම කරන්නෙ නෑ" කියල එයා පිළිගන්නව.


එතකොට අම්ම කෙරෙහි විශ්වාසය වැඩිවුනාද? අඩුවුනාද? ඒ විශ්වාසය වැඩිවුනේ කුමක් මුල්කරගෙනද? එදා දැන ගත්ත දේ දැක්කට පස්සෙ. කියනකොට දැනගත්ත. ඒක සිද්ධවුනාට පස්සෙ දැක ගත්ත කාරණාව. "අම්ම එපා කිව්වොත් මම ආයෙ කරන්නෙ නෑ" කියල නුවණ තියෙන දරුව අන්න ඒ වගේමයි නුවණ තියෙන ශ්‍රාවකයා මේ ධර්මය අදහාගන්නව. අදහාගෙන තමා තුළ ඒක හටගන්නකොට ඒ අදහාගැනීම බලවත් වෙනව. ධර්මය දැකගන්නව. වැටහුණා නේද? එයා කලන්තෙ දාන්නෙ නෑ.


 එයා සතුටට පත්වෙනව, " මේ ධර්මය ඇහුවෙ නැත්නම් මට මේක දැක ගන්ට ලැබෙන්නෙ නෑ. එහෙම නොවුනනම් මට කවදාවත් මේකෙන් නිදහස්වීමක් ගැන හිතාගන්නවත් බෑ. එහෙනම් මම මේ ගින්නෙ පිච්චි පිච්චිම වැනසෙනව නේද?" කියල එයා කල්පනා කරනව. එතකොට එයා ඒ ධර්මය කෙරෙහිත්, ධර්මය කියා දුන් අය කෙරෙහිත් පහදිනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!




උපුටා ගැනීම : http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment