Saturday, December 11, 2010

සත්පුරුෂ ගුණ දහම් ඇතිකර ගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අසත්පුරුෂභාවය කියන එක මනු්‍යයාගේ සිත විනාශයට පත්කරන එකක්.
අසත්පුරුෂබව පවත්වන්ට සුදුසු දෙයක් නෙවෙයි කියල තේරුම්ගත යුතුයි. අසත්පුරුෂබව අපි ඉක්මනින් දුරුකරගන්ට ඕනැ. අසත්පුරුෂබව තියෙනතාක් මනුෂ්‍යයා භයානක කෙනෙක් බවට පත්වෙන්ට ඉඩකඩ වැඩියි.


එහෙනම් සත්පුරුෂබවම යි වටින්නෙ. සත්පුරුෂයෙකු වීමෙන්මයි මනුෂ්‍යයා යහපත් වෙන්නෙ. සත්පුරුෂයෙකු වීමෙන් ම තමයි කරුණා, මෛතී‍්‍ර ආදී ගුණධර්ම දියුණුකරගෙන, උපකාර සහිත මනුෂ්‍යයෙක් බවට පත්වෙන්ට පුළුවන්කම තියෙන්නෙ.




එහෙනම් ඒ සත්පුරුෂබව ගැන මහත් වූ කැමැත්ත උපදවගන්ට. අසත්පුරුෂබව ගැන මහත් වූ බිය උපදවගන්ට. අසත්පුරුෂබව දියුණුවෙලා ගියොත්, බලවත් වුනොත් අසත්පුරුෂ බවෙන් නිදහස්වෙන්ට බෑ.
එහෙම වුනොත් තමනුත් නැසිල, අනුන්වත් නසනව. එනිසා අපි අසත්පුරුෂබව ගැන දැනගෙන ඒ අසත්පුරුෂ බවෙන් ගැලවෙන්ට ඕනැ, ඒ අසත්පුරුෂබව දියුණුවෙන්ට පෙර. එනිසා අපි ඉතා ඉක්මණින් ඒ අසත්පුරුෂබව කියන බිහිසුණු දෙයින් නිදහස්වීම පිණිස, අසත්පුරුෂබව දුරුකරගැනීම පිණිස වුවමනා ධර්මයන් පුරුදුකරගන්ට ඕනැ.


එයම තමා කළ යුත්තේ. එපමණකින් ම අනිකුත් සියලු ගුණ ධර්මයන් පුරුදු කරගැනීමට දොර විවර වෙනව. අසත්පුරුෂබව තුළ ඉඳිමින් ම ගුණ ධර්ම දියුණු කරනවා කියන එක සිද්ධවෙන්නෙ නෑ. අසත්පුරුෂබව එතරම් ම භයානක එකක්. අසත්පුරුෂබව තුළ ඉඳගෙන ගුණධර්ම වගේ දේවල් දියුණුවෙනව.


කපටිකම, මායාව, සටකපට මායා, ඉච්ඡා, ලෝකය මුලා කරන ස්වභාවය මේවා තමයි අසත්පුරුෂ ස්වභාවය තුළ ඉඳගෙන දියුණුවෙන්නෙ. එතකොට අසත්පුරුෂයාට ලෝකයා රැවටෙනව. ගුණධර්ම වගේ කියල කියන්නෙ, ඒව තියෙනකොට බාහිරට ගුණධර්ම වගේ පේනව, නමුත් ඒව ගුණධර්ම නෙවෙයි.
එනිසා ඒ අසත්පුරුෂබව කියන ස්වභාවයේ ඇති භයානක බව තේරුම්අරගෙන, ඒ අසත්පුරුෂබවෙන් නිදහස්වෙන්ට අපි කටයුතු කරන්ට ඕනැ.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


No comments:

Post a Comment