Saturday, December 11, 2010

ධර්මය දරාගනිමු

 ***පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ***
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


සුව පහසුවෙන් ඉන්නකොට ධර්මය පුරුදුකරන්ට ඕනැ. එතකොට අපහසුවෙන් ඉන්නකොට ඒ පුරුදුකරගත්ත ධර්මයෙන් පිහිට පිළිසරණ තියෙනව.


ඒක මේ වගේ, දක්ෂ ගොවියො ඉන්නව කාලගුණය දේශගුණය යහපත් වෙනකොට හොඳට ගොවිතැන් කරල අස්වැන්න නෙළාගෙන, අටු කොටු පුරවා ගන්නව. කාලගුණය දේශගුණය නරක අතට හැරෙනකොට ඒ ගොල්ලො නෙළාගත්ත අස්වැන්න පරිහරණය කරමින් ඉතා සුවපහසුවෙන් ඉන්නව.


අපි සුවපහසුවකින් ඉන්න වෙලාවල් තියෙනව. අන්න එතකොට අපි ධර්මය හුරු කරන්ට ඕනැ. එතකොට එසේ හුරුකරගත්ත ධර්මය භාවිතා කරන්න පුළුවන් අපහසුකම් එනකොට.


වැඩි වෙලාවක් අසනීපෙන් ඉන්නෙ නෑනෙ. අපි පහසුවෙන් ඉන්න වෙලාවල් තියෙනව. එතකොට ලෙඩවීම ගැන හිතන්න, මම ලෙඩවෙන කෙනෙක්, ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල නෑ කියල. එයා බහුලවශයෙන් පුරුදුකරනව. ඔන්න එහෙම ඉන්නකොට එයා ලෙඩවෙනව. දැන් එයා බය වෙයිද? එයා බයවෙන්නෙ නෑ.


ඔන්න කෙනෙක් ගමනක් යනව. ඒ යනකොට එයා වැස්ස වහී කියල කුඩයක් අරගෙන යනව. දැන් මගදි වහිනව. එයාට පහසුවක් ද එන්නෙ අපහසුවක්ද? එයාට කුඩේ අටවගන්න විතරයි තියෙන්නෙ.


අන්න ඒ වගේ හොඳට ඉන්නකොට එයා කල්පනා කරනව මම ලෙඩවෙන කෙනෙක්, ඒ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල නෑ කියල එයා හිත හොඳට පුරුදුකරනව. ඔහොම ඉන්නකොට එයා ලෙඩවෙනව. එයාට තේරෙනව මම හිත හිතා හිටපු දේ මේ තියෙන්නෙ කියල. ඇත්තනේ කියල හිතනව. එයාගෙ පැහැදීම අඩුවෙයිද? බලවත් වෙයිද? බලවත් වෙනව.


ඔන්න කෙනෙක් ස්වීප් එකක් ගන්නව. ඒක ඇදෙයි ඇදෙයි කියල හිතනව. එතකොට ඒක ඇදෙනව. එතකොට ඒ ගැන සතුට අඩුවෙයිද? වැඩිවෙයිද? වැඩිවෙනව.


එයා ධර්මය ඉගෙන ගෙන, ඒ ධර්මයට අනුව කල්පනා කරනව. එහෙම ඉන්නකොට එයාට ඒ ධර්මයම දකින්න පුළුවන් වෙනකොට එයාගේ පැහැදීම වැඩිවෙනව නේද?


ධර්මය පුරුදු නොකරන කෙනෙකුට ඔන්න ධර්මයේ කියන දේ සිද්ධවෙනව. එයා බයවෙනව.


මේ ධර්මයේ කියා දී තිබෙන දේ දරා ගත්තොත්, ඒ දරා ගත්ත දේ අපි පුරුදුකරනව. අන්න එයාට ඒ ධර්මය ජීවිතය තුළ දකින්න පුළුවන් අවස්ථා නිතර එනව. ඉඳගෙන ඉඳල කකුළ රිදෙනකොටත් එයාට තේරෙනව කායික දුක් නේද කියල. අර්ය සත්‍යය තුළ කියා දෙනව නේද කායික දුකක් තියෙනව කියල. ඒ නිසා කය කෙරෙහි ඇල්ම දුරුකරගන්ට එයාගෙ හිත නැවෙනව.


කය වදකයෙක් කියල එයාට තේරෙනව, ඇයි එයා ධර්මය හුරුකරන කෙනා. භාග්‍යවතුන් වහන්සේ මෙයයි කායික දුක කියල කියා දුන්න. එහෙනම් ඒකාන්තයෙන් මේ කය දුක උපදන එකක්.


මේකෙන් ගැලවෙන්න මෙහෙම බෑ. කයක් නැත්නම්, කය නැති වූ කලක තමයි දුක නැතිවෙන්නෙ. එහෙනම් එයා කය කෙරෙහි ඇල්ම දුරුකරන්ට කැමතිවෙනව. දුක නැති තැනකට එයා කැමතිවෙනව. දුක නැතිවෙන්නේ ඒ දුක හටගන්න ස්වභාවය දුරුකරපු නිසා.


එනිසා අපි මේ ධර්මය ඉගෙනගෙන, ඉගෙන ගත්ත ධර්මය කටපාඩම් කරගත් පමණින් මොකක්ද තිබියයුතු අනිවාර්ය වැදගත් ම අංගය. ඒ ධර්මය දරා ගැනීම, අදහා ගැනීම, පිළිගැනීම. ඇඳේ වැතිරිලා ඉන්න, නැගිටගන්න බැරි ලෙඩක් එනව. එයාට සිහිවෙනව නම් භාග්‍යවතුන් වහන්සේ දුක කියල කියා දුන්නෙ මේකයි කියල. එයාට මහත්ඵලයි ඒ දරාගැනීම.


ඒ නිසා වචනයක් ඇහුවත් කමක් නෑ, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කල සත්‍යය තමයි මේ තියේනේ කියල ඒ වචනය දරාගන්න. ඒ දරාගත්ත වචනයෙන් අප්‍රමාණ පිහිටක් අපිට තියෙනව. එනිසා වැදගත් ම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේ දරාගැනීම, ඇත්තයි කියල පිළිගැනීම. ඒක තමයි ශ්‍රද්ධාව.


එපමණකින් ම අපිට කුසල් දියුණුකරගන්නත්, අකුසල් දුරුකරගන්නත් වුවමනාකරන හැකියාව උපදිනව.


සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


උපුටා ගැනීම : අමා දම් විල 
http://www.dinamina.lk/kalanamithuro

No comments:

Post a Comment